මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 26, 2026

නේපාලයට කඩා වැදුණු 'සුනාමිය'

August 26, 2026
නේපාලය පමණක් නොව, චීන පාලනය යටතේ පවතින ටිබෙටය ද ස්වාභාවික ව්‍යසනයකට මුහුණ දුන්නේය. හද කම්පා කරන ඒ ව්‍යසනයේ බිහිසුණුකම විදෙස් මාධ්‍ය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබුණි. මුහුදක් අහලකවත් නැති නේපාලයට සුනාමියක් සේ, කඩා වැදුණේ ප්‍රචණ්ඩ ජල පහරකි. 

නිවාස, ගොඩනැගිලි, පාලම්, මහා මාර්ග සුනුවිසුණු කළ ඒ ප්‍රචණ්ඩ රළ පහර ජීවිත බිලි ගත්තේය. බොහෝ දෙනා මඩ තට්ටු සමග ආ, එම සැඩ රළ පහරට හසුවෙද්දී, විලාප නගමින් රළ පහරින් බේරීමට උස් බිම් බලා දුවන පිරිස් ද විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. මෙම මහා ව්‍යසනය සිදුවූයේ ටිබෙටය හරහා නේපාලයට ගොස් ඉන්පසු ඉන්දියාව හරහා මූදට ගලා බසින ගංගාවක් පිටාර ගැලීමෙනි. 

නේපාල වැසියන්, භෝටේකෝෂි ලෙස හඳුන්වන මෙම ගංගාව හිමාල කඳුවැටියේ, ශීෂපාන්ග්මා කන්ද ආසන්නයේ ඇති ෂැංෂැංබෝ ග්ලැසියරයෙන් ආරම්භ වෙයි. මෙය නේපාලයට ගලා එන්නේ ටිබෙටය පසු කරමිනි. ටිබෙට් වැසියන් මෙම ගංගාව හඳුන්වන්නේ පොයිකූ යනුවෙනි. 

ටිබෙටය හරහා එන ගංගාව, චීන-නේපාල දේශසීමාවේ කෝඩාරි පළාතෙන්, නේපාලයේ සිංධුපාල්චොක් දිස්ත්‍රික්කයට ඇතුළු වෙයි. ඉන්පසු භෝටේකෝෂි ලෙස එය ඉතා තද බෑවුම් සහිත පටු මාර්ග ඔස්සේ දකුණු දෙසට අධික වේගයෙන් ගලා බසී. භෝටේකෝෂි ගංගාව, තතෝපානි, බාරබිසේ සහ ලමොසංගු වැනි ප්‍රදේශ පසු කරමින් ගලා බසී. සුදු පෙන කැටි විහිදුවමින්, වේගයෙන් ගලන මෙම ගංගාව සුළං පිරවූ විශේෂ රබර් බෝට්ටු (රෆ්ටිං) භාවිතයෙන් ගංගාව තරණය කිරීමේ ත්‍රාසජනක ක්‍රීඩාවට ලොව පුරා ප්‍රසිද්ධියක් උසුළයි. 

භෝටේකෝෂි ගංගාව, බාලේෆි සහ ලමොසංගු ආසන්නයේදී සුන් කෝෂි ගංගාව සමග එක් වෙයි. පසුව සප්ත කෝෂි ගංගා පද්ධතිය හරහා ගලා ගොස් ඉන්දියාවේදී ගංගා නදියට මුසුවෙයි. ගංගාව දිගේ ආ ප්‍රචණ්ඩ රළ කඩා වැදීමෙන්, ටිබෙටයේ ගයිරොං ප්‍රාන්තයේ අතුරුදහන් වූ ගණන 600 ක් යැයි චීන බලධාරීහු පවසති. ටිබෙටයේ දී අතුරුදහන් වූවන් අතර ද විදේශිකයන් 260 දෙනකු සිටින බව පැවැසෙයි. චීනය සහ නේපාලය අතර සංචාරකයන් සහ ගමනාගමනය සඳහා වන ප්‍රධාන පිවිසුම වැටී ඇත්තේ මෙම ගයිරොං ප්‍රාන්තයේය.
චීන බලධාරීන් පැවැසුවේ, ටිබෙටයෙන් මරණ 50 ක් වාර්තා වන බවය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සදහාත්, විපතට පත්වූවන්ට පිහිට වීමටත් චීන රජය හමුදාව යොදවා ඇත. ටිබෙටය පසු කරමින්, ගංගාව දිගේ ම‌ඩ සහ පස් තට්ටු තල්ලු කරගෙන ආ සැඩ පහරින් බලපෑම් එල්ල වූයේ නේපාලයේ රසුවා පළාතටය. රසුවා ඇත්තේ නේපාලයේ ටිබෙට් දේශසීමාව අසලය. භෝටේකෝෂි ගංගාව, නේපාලය හරහා ගලා බසින්නේ රසුවා පළාත හරහාය. ගංගාවට හිටිහැටියේ මෙතරම් විශාල ජල කඳක් එක් වූයේ කෙසේද? මෙයට තවමත් පැහැදිලි පිළිතුරක් ලැබී නැත. 

ඊයේ (26) උදෑසන හටගත් රික්ටර් පරිමානයේ ඒකක 4.4 ක් සටහන් කළ භූ චලනයක් නිසා ග්ලැසියර නායයෑමක් සිදුවන්න ඇති බවත්, ග්ලැසියරයේ ජලය ගංගාව හරහා පහළට වේගයෙන් ආ බවත්, නේපාල භූවිද්‍යාඥයන්ගේ අදහසය. නේපාල රජය ද මේ බව තහවුරු කර ඇත. 

කෙසේ නමුත්, ඇමෙරිකන් භූ විද්‍යාඥයන්පැවැසුවේ, තමන්ට එම පළාතෙන් කිසිදු ආකාරයක භූ චලනයක් ගැන තොරතුරු ලැබී නැති බවය. චන්ද්‍රිකා ඡායාරූප ද භාවිතයට ගනිමින් මේ ගැන වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇමෙරිකන් විද්‍යාඥයන් වැඩිදුරටත් පවසා ඇත. සැඬ රළ පහරට හසුවීමෙන් අතුරුදන් වුණු ගණන 1500 පසු කර ඇතැයි නේපාල රජය පැවැසීය. 

නේපාල සංචාරක මණ්ඩලය ප්‍රකාශ කළේ එරට රසුවා පළාතේ වැසියන්ට අමතරව‍, දෙස් විදෙස් සංචාරකයන් 500 කට වැඩි පිරිසක් අතුරුදන් බවය. ඔවුන් අතර විදේශිකයන් 291 දෙනකු සිටින බව පැවැසෙයි. අතුරුදන් වූ විදෙස් සංචාරකයන් අතර ඉන්දියානුවන් 300 දෙනකු, ඇමෙරිකානුවන් 54 දෙනකු, ඕස්ට්‍රේලියානුවන් 34 දෙනකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 33 දෙනකු, යුක්රේන ජාතිකයන් 53 දෙනකු, මැලේසියා ජාතිකයන් 50 කට වැඩි දෙනකු සහ කැනඩා ජාතිකයන් 24 දෙනකු සිටින බව නේපාල රජය පවසා ඇත. ඊට අමතරව අතුරුදන් වූවන් අතරේ දකුණු කොරියා, දකුණු අප්‍රිකා, පෘතුගාල සහ නෙදර්ලන්ත සංචාරකයෝ ද සිටිති. 

ජල පහරට සහ මඩ තට්ටුවලට හමුවී අතුරුදන් වුණු ඉන්දියානුවන් වන්දනාකරුවන්ය. මොවුන් හිමාල අඩවියේ කෛලාශ කන්ද වන්දනාවකට යමින් සිටි පිරිසක් බව පැවැසෙයි. අද (27) උදෑසන වෙද්දී, මළසිරුරු 165 ක් සොයා ගැනීමට නේපාල දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ හමුදාව සමත් විය. මඩ තට්ටු අතරින් 200 දෙනකු බේරා ගැනීමට ද හමුදාව සමත් වූ බව විදෙස් මාධ්‍ය පැවැසීය. 
මාර්ග අවහිර වීම, පාලම් කැඩී යෑම හේතුවෙන්, සහන සේවා කටයුතු මන්දගාමීව සිදුවෙයි. හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුණු, නේපාලයට අවශ්‍ය සහාය කඩිනමින් ලබා දිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත. මේ වනවිට ඇමෙරිකාව, චීනය, යුරෝපා සංගමය සහ නේපාලයේ අසල්වැසියා වන ඉන්දියාව කඩිනමින් සහාය දැක්වීමට ඉදිරිපත් විය. 

විපතට පත්වුණු ජනතාව සඳහා හදිසි නවාතැන්, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ වෙනත් සහනාධාර ද්‍රව්‍ය ලබා දීම වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 500,000 ක ආධාර ලබා දෙන බව ඇමෙරින් රජය පවසා ඇත. ඉන්දීය සහ චීන දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් ද නේපාලයට යෑමට සූදානමින් සිටින බව ද පැවැසෙයි. ඊට අමතරව, ඉන්දීය රජය ටොන් 10 ක ආධාර තොගයක් ද ගුවන් මගින් කත්මණ්ඩු බලා යැවූ බව වාර්තා විය. 

සිදුවුණු විපත සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වුණු නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා, විපතට පත්වූවන් වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කරන බවට ප්‍රතිඥා දී ඇත. නේපාලයේ සහායට ඉදිරිපත් වුණු විදේශවලට නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා ස්තුති කළේය.
තව කියවන්න

අගමැතිනියගේ ඉන්නා

August 26, 2026
ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩෙරික්සන්ගේ නාසය අසල පැහැදිලිව පෙනෙන ඉන්නකු සිටින අතර, එම ඉන්නා මේවනවිට පුවත් මැවීමට සමත් වී ඇත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක වන48 හැවිරිදි ෆ්‍රෙඩෙරික්සන්, ඩෙන්මාර්කයට නායකත්වය දෙන්නේ 2019 වසරේ සිටය. 

ෆ්‍රෙඩෙරික්සන් ඩෙන්මාර්කයේ දෙවන අග්‍රාමාත්‍යවරිය වන අතර දැනට තෙවන ධුර කාලය හොබවන යුරෝපයේ අත්දැකීම් බහුල නායිකාවක ද වෙයි. ෆ්‍රෙඩෙරික්සන්ගේ නාසය අසල ඇති මේ ඉන්නා ප්ලාස්ටික් සැත්කමකින් ඉවත් කළ හැකි බවත්, එම ඉන්නා ඉවත් කර ගන්නේ නම් එය මැනවි බවත් එය අග්‍රාමාත්‍යවරියගේ පෙනුම තවත් වැඩි කරනු ඇති බවත් පසුගිය දා අග්‍රාමාත්‍යවරියගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් පළ විය. 

එම සටහන පළ කළේ ඩෙන්මාර්කයේ නමක් දිනාගත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකි. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ කළ මෙම ප්‍රකාශය අග්‍රාමාත්‍යවරියගේ අප්‍රසාදයටත් කෝපයටත් හේතුවක් විය. ‘මා මගේ ශරීරය ගැන තෘප්තිමත්. මාගේ පෙනුම ගැන, මගේ ඉන්නා ගැන තීරණ ගන්න ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරයකුගේ උපදෙස් මට අවශ්‍ය නැහැ.’ යැයි අග්‍රාමාත්‍යවරිය පිළිතුරු සටහනක් පළ කර තිබේ.

NDTV ඇසුරිනි
තව කියවන්න

අගමැති නිවසේ හොල්මන

August 26, 2026
ජපාන අග්‍රාමාත්‍ය සනායි තකායිචිගේ නිල නිවස සහ කාර්යාලය වන ‘කන්ටෙයි’ මන්දිරයේ හොල්මන් කළ කැරපොත්තකු පණ පිටින් අල්ලා පිටමන් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ කාර්ය මණ්ඩලය සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 

‘කන්ටෙයි’ මන්දිරය, 1929 වසරේ ඉදිකළ, විටින් විට අලුත්වැඩියාවට ලක්වුණු ඉපැරණි මන්දිරයකි. 1930 දශකයේ බලය වෙනුවෙන් සිදුවුණු කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස මෙම මන්දිරය තුළ ලේ වැගිරීම් සිදුවිය. මන්දිරය තුළ මියගිය බොහෝ දෙනකුගේ ආත්ම තවමත් මන්දිරය තුළ සැරිසරන බවට රාවයක් පවතී. 

65 හැවිරිදි අග්‍රාමාත්‍ය තකායිචි, අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ‘කන්ටෙයි’ මන්දිරයේ පදිංචියට ගිය අතර, ඇය රාජකාරිය වෙනුවෙන් කැපවී සිටින තැනැත්තියක ලෙස ප්‍රකටය. ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත් පළමු කාන්තාව වන්නේ ද තකායිචිය. අග්‍රාමාත්‍යවරිය, නිදා ගන්නේ පැය 4 ක් වැනි කෙටි කාලයක් බව පැවැසෙයි. 

ඇය නිවසේ සිට ද රාජකාරි කරයි. මැදියම් රෑ සහ අලුයම් කාලයේ පවා ඇය රාජකාරි කරන බව පැවැසෙයි. එසේ රාජකාරි කරද්දී, පසුගිය දිනවල ඇයට නොයෙකුත් සද්ද බද්ද ඇසෙන්න විය. මේ සම්බන්ධයෙන් ඇය ඇගේ සමාජ මධ්‍ය ගිණුම ඔස්සේ ද සටහනක් පළ කර තිබේ. 

ඊට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනකු පැවැසුවේ, ‘කන්ටෙයි’ මන්දිරයේ හොල්මන් අවතාර ඇති බවය. කෙසේ නමුත් දින කීපයක් යද්දී, අග්‍රාමාත්‍යවරිය යළි ඇගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තැබුවේ, තමන් හොල්මන් විශ්වාස නොකරන බවත්, මහ රෑ සද්දබද්ද කරන්නේ මන්දිරයේ සිටින එකම එක කැරපොත්තකු බවත්ය. 

එම කැරපොත්තා ‘අඩපණ කර’ ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය තකායිචිගේ ලේකම්වරිය සහ කාර්ය මණ්ඩලය සූදානම් වූ අවස්ථාවේදී, අග්‍රාමාත්‍යවරිය උපදෙස් දී ඇත්තේ කැරපොත්තා නොමරා අල්ලා මන්දිරයෙන් ඉවත් කරන ලෙසටය.

ඒ අනුව, මහත් පරිශ්‍රමයක් දරා කැරපොත්තා පණ පිටින් අල්ලා ගැනීමට කාර්ය මණ්ඩල සාමාජිකයන් සමත් වුණු අතර ඌ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නිදහස් කළ බව පැවැසෙයි.

BBC ඇසුරිනි
තව කියවන්න

Aug 23, 2026

හිස් කබලේ අලුත් අවයවයක්

August 23, 2026
මිනිස් සිරුර තුළ ඇති අවයව ගැන වසර සිය ගණනක් තිස්සේ විද්‍යාඥයන් පර්යේෂණ සිදුකර ඇත. හෘදය, පෙනහලු, වකුගඩු, අක්මාව, මොළය ඇතුළු ප්‍රධාන අවයව පිළිබඳව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිඳව, අපට මේ වනවිට හොඳ දැනුමක් ඇත. ඒත්, මිනිස් සිරුර පිළිබඳ සියලු රහස් අප හෙළි කරගෙන අවසන් යැයි සිතුවොත් එය වැරදිය. මිනිස් සිරුර තවමත් අබිරහසකි. 

පසුගිය දා, මීයන් යොදා ගනිමින් කළ පර්යේෂණයකින් අනාවරණය වූයේ, අප මනුෂ්‍ය සිරුරේ මෙතෙක් හඳුනා නොගත් නව ව්‍යුහයක් (අවයවයක්) ඇති බවය. මේ ව්‍යුහය (අවයවය) කුමක්දැයි සහ එහි කාර්යය කුමක්දැයි අවබෝධ කර ගැනීමට විද්‍යාඥයෝ මේ වනවිට සමත් වී සිටිති. මේ අපූරු අවයවය ඇත්තේ අප හිස් කබල තුළය. 

 හිස් කබල තුළ ඇටමිදුළුවලට ආශ්‍රිතව මෙම ව්‍යුහය පිහිටන බව, ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ ඇමෙරිකාවේ, වොෂිංටන් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ විද්‍යාඥයෝ පවසති. මෙය සුවිශේෂ කාර්යයක් ඉටු කරන ප්‍රතිශක්තිකරණ ව්‍යුහයක් යැයි විද්‍යාඥයන් විසින් හදුනා ගනු ලැබ ඇත. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල, ප්‍රකට ‘නේචර්’ විද්‍යා සඟරාවේ සවිස්තරව පළ වී ඇත. විද්‍යාඥයන්ට මුලින්ම මෙම ව්‍යුහය ගැන හෝඩුවාවක් ඇති වූයේ මිනිස් හිස් කබල කපා පරීක්ෂා කරද්දී නම් නොවෙයි. 

මුලින් ඔවුන් මීයන්ගේ හිස් කබල සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න විය. ඔවුන් අලුත් ව්‍යුහයක් දකින්න ලැබේවි යැයි අපේක්ෂා කර නැත. එසේ වුවත්, මීයන්ගේ හිස් කබලේ ඇති මෙම ව්‍යුහය මනුෂ්‍ය අපේ ද හිස් කබලේ ඇති බව විද්‍යාඥයන්ට අවබෝධ විය. මෙම නව ව්‍යුහයේ වැදගත්කම, එය මොළයට ඉතා ආසන්නව පිහිටා තිබීමය. මීයන්ගේත් මනුෂ්‍ය අපේත් එය එසේමය. විද්‍යාඥයන්ගේ අදහස එය මොළය ආශ්‍රිත ආසාදන සහ පිළිකා වැනි තත්ත්වවලදී ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ ආරක්ෂක මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන බවය. 

සරලව පැහැදිලි කළොත්, මොළයට සිදුවන අනතුරු හඳුනාගෙන, ඒවාට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ආරක්ෂක සෛල සූදානම් කර තැබෙන ස්ථානය මෙම ව්‍යුහයයි. අප ශරීරය නිරන්තරයෙන් බැක්ටීරියා සහ වයිරසවලට පමණක් නොවෙයි වෙනත් හානිකර විෂබීජවලට නිරන්තරයෙන් මුහුණ දෙයි. 

ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා සිරුරේ සංකීර්ණ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇත. සුදු රුධිරාණු ඇතුළු විවිධ ප්‍රතිශක්තිකරණ සෛල එහි ප්‍රධාන ආරක්ෂකයෝ ලෙස ක්‍රියා කරති. මෙම සෛල, රෝග ඇති කරන විෂබීජ හඳුනාගෙන ඒවා විනාශ කරයි. ඒත්, විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, මොළය සම්බන්ධයෙන් මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්ණය. 

 මොළය සහ සුෂුම්නාව ඇතුළත් මධ්‍යම ස්නායු පද්ධතිය ශරීරයේ අනෙකුත් කොටස්වලින් යම් ආකාරයකින් වෙන්ව ආරක්ෂා වී පවතී. මොළය ඉතා සංවේදී බැවින්, ශරීරයේ වෙනත් ස්ථානවල රෝගවලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලීන් සියල්ලම මොළය තුළ ඒ අයුරින්ම සිදුවන්නේ නැත. ඇතැම් අවස්ථාවල, ප්‍රතිශක්තිකරණ සෛල මොළයට ඇතුළු වී සිදුකරන ප්‍රබල ප්‍රතිචාර නිසා මොළයේ සියුම් පටකවලට හානි සිදුවිය හැකිය. 

 පසුගිය කාලයේ සිදු කළ පර්යේෂණවලින් මොළය සහ ශරීරයේ අනෙක් ප්‍රතිශක්තිකරණ පද්ධති අතර සම්බන්ධතාවක් පවතින බවට සාධක වැඩි වශයෙන් විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබුණි. මෙම නව පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයන් ද මීට පෙර සිදු කළ පර්යේෂණවලදී මොළයේ පටකවල සිට හිස් කබල දක්වා දිවෙන ඉතා කුඩා නාලිකා හඳුනාගෙන තිබුණි. මෙම නාලිකා මොළය වටා ඇති ආරක්ෂක පටලයක් වන ‘ඩියුරා මැටර්’ හරහා ගමන් කර හිස් කබලේ ඇටමිදුළු දක්වා පැමිණෙන බව එදා ඔවුහු සොයා ගත්හ. 

‘ඩියුරා මැටර්’ හෙවත් දෘඪ මස්තිෂ්ක පටලය මොළය සහ සුෂුම්නාව ආරක්ෂා කරමින් ඒවා වටා පිහිටි ඝන, ශක්තිමත් ආරක්ෂක පටල තුනෙන් පිටතම පටලයයි. මෙම නව පර්යේෂණයේදී, කුඩා නාලිකා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට විද්‍යාඥයෝ විශේෂ ආලෝකමත් සලකුණු සහිත ප්‍රෝටීන භාවිත කළහ. එමඟින් මොළයේ සිට නාලිකා ඔස්සේ ද්‍රව්‍ය ගමන් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකි විය. 

එහිදී ඇතැම් ද්‍රව්‍ය මොළයේ ස්නායු සෛලවලින් ආරම්භ වී හිස් කබලේ ඇටමිදුළු දක්වා ගමන් කරන බව ඔවුහු නිරීක්ෂණය කළහ.එම ස්ථාන තවදුරටත් පරීක්ෂා කිරීමේදී විද්‍යාඥයන්ට අලුත් වන්‍යුහය හමුවිය. එම ව්‍යුහය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත් ස්ථාන වන වසා ගැටිතිවල දක්නට ලැබෙන ‘ජර්මිනල් සෙන්ටර්’ නමැති ව්‍යුහවලට සමාන බව පෙනී ගියේය. ‘ජර්මිනල් සෙන්ටර්’ යනු ප්‍රතිශක්තිකරණ සෛල වර්ධනය වී, විශේෂිත රෝගකාරක හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කිරීමට පුහුණු වී සීරුවෙන් සිටින ස්ථානයයි. 

විද්‍යාඥයන් සොයා ගත්තේ කුමක්දැයි යන්න සරල උදාහරණයකින් පැහැදිලි කළහොත්, රටක ආරක්ෂක හමුදා පුහුණු කරන විශේෂ කඳවුරක් ඇතැයි සිතන්න. එහිදී නව සෙබළුන් පුහුණු කර, ඔවුන්ට සතුරා හඳුනාගන්නා ආකාරය සහ සටන් කරන ආකාරය උගන්වා පසුව අවශ්‍ය ස්ථාන වෙත යවනු ලැබේ. ජර්මිනල් සෙන්ටර් ද ඒ හා සමාන ආකාරයකින් ප්‍රතිශක්තිකරණ සෛල සූදානම් කරන ස්ථාන ලෙස ක්‍රියා කරයි. 

නව පර්යේෂණයෙන් හඳුනාගෙන ඇති හිස් කබල ආශ්‍රිත ව්‍යුහය ද මොළය ආරක්ෂා කිරීම සඳහා එවැනි කාර්යයක් ඉටු කරන බව පෙනී යයි. මෙහි තවත් වැදගත් කරුණක් වන්නේ මෙම ප්‍රතිශක්තිකරණ ව්‍යුහය මොළයට ඉතා ආසන්නව පිහිටා තිබීමය. එබැවින් මොළයට යම් අනතුරක් ඇති වූ විට ශරීරයේ දුරස්ථ ප්‍රදේශයකින් ආරක්ෂක සෛල කැඳවීම වෙනුවට, ඒ ආසන්නයේම සිටින ප්‍රතිශක්තිකරණ සෛල ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි විය හැකිය. 

එය මොළයටම වෙන් වූ පළමු පෙළ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරනවා විය හැකිය. විද්‍යාඥයෝ, ඔවුන්ගේ මෙම අදහස පරීක්ෂා කිරීම සඳහා, පර්රයේෂණාගාර තුළ මීයන්ගේ මොළයේ ග්ලියෝමා නමැති පිළිකා වර්ගය ඇති කළහ. ග්ලියෝමා යනු මොළයේ ඇතිවන බරපතළ පිළිකා තත්ත්වයකි. පසුව ඔවුහු හිස් කබල ආශ්‍රිත ප්‍රතිශක්තිකරණ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය අඩපණ කළහ. 

එහිදී ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය අඩපණ වුණු සැණින්, මීයන්ගේ පිළිකා වඩාත් වේගයෙන් වර්ධනය වූ අතර ඔවුන්ගේ ජීවත්වීමේ කාලය ද අඩු විය. දෙවැනුව, මෙම ප්‍රතිශක්තිකරණ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට හැකි විශේෂ ප්‍රෝටීන තුනක මිශ්‍රණයක් ලබා දුන් පසු මීයන් තුළ වඩා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දක්නට ලැබුණු බව පැවැසෙයි. 

මීයන්ගේ සිරුරුවලට පිළිකාවට එරෙහිව වඩාත් හොඳින් සටන් කිරීමට හැකි වූ අතර, උන්ගේ ජීවත්වීමේ කාල සීමාව ද සැලකිය යුතු ලෙස වර්ධනය විය. මෙම නව සොයා ගැනීම අනාගතයේදී මොළයේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදවල විශාල වෙනසක් සිදුවනු නොඅනුමානය. දැනට මොළයේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමේදී ඇතැම් අවස්ථාවල සංකීර්ණ ශල්‍යකර්ම අවශ්‍ය වේ. 

හිස් කබල ආශ්‍රිත මෙම ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන ඖෂධ මඟින් සෘජුවම සක්‍රීය කළ හැකි බව අනාගත පර්යේෂණවලින් තහවුරු වුවහොත්, හිස් කබලට ඉහළින් සමට යටින් ලබාදෙන විශේෂ ඖෂධ ජෙල් වැනි ප්‍රතිකාරයක් මඟින් එම ආරක්ෂක පද්ධතිය තව තවත් සක්‍රීය කිරීමට හැකි වනු ඇත. 

මෙම ව්‍යුහය සොයා ගැනීම, මොළයේ පිළිකාවලට පමණක් සීමා නොවනු ඇත. මොළය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අතර සම්බන්ධතාව පිළිබඳ නව අවබෝධයක්ලබා ගෙන එමගින් ඇල්සයිමර් රෝගය, පාකින්සන් රෝගය සහ තවත් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර සෙවීමට ද වෛද්‍ය පර්යේෂකයන්ට නව මාර්ග විවර වනු ඇත. 

ලුසිත ජයමාන්න 
Science Alert ඇසුරිනි
තව කියවන්න

Aug 20, 2026

දීර්ඝායුෂ ගෙනෙන මිතුරා

August 20, 2026
ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ, හොඳ අවංක මිතුරකු සමඟ එකට ඇවිදීම මනසට හොඳ බවත් එය එය දීර්ඝායු ගෙනෙන බවත්ය. 

නිතරම හොඳ මිතුරකු සමග ඇවිදීම මානසික පීඩනය සහ හුදකලාබව අඩු කරයි. හදවතේ සහ මොළයේ සෞඛ්‍යය වර්ධනය කරයි. එමගින් ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න දිවියක් උරුම වෙයි. 

මනීෂි මංජරී 
The Brain Maze 
තව කියවන්න

ස්ට්‍රෝබෙරි ඇත්තටම සුදු පාටයි

August 20, 2026
ස්ට්‍රෝබෙරි අප කවුරුත් ආසා පළතුරකි. ඒත්, ලොව පළමු ස්ට්‍රෝබෙරි ප්‍රභේදය රතු පාට නැත. වනාන්තරවල ස්වාභාවිකව වැවුණු ස්ට්‍රෝබෙරි අතීතයේදී සුදු හෝ ළා පැහැති විය. 

අද අප දකින විශාල රතු පැහැති ස්ට්‍රෝබෙරි නිර්මාණය වූයේ, ප්‍රංශයෙනි. ඒ, උතුරු ඇමෙරිකානු සහ චිලී ප්‍රභේද එකිනෙක මුසු කිරීමෙනි. 1750 දශකය වන විට ඒවා බහුලව වගා කෙරුණු අතර, 1766 දී උද්භිද විද්‍යාඥ ඇන්ටොයින් නිකොලා ඩුචෙස්න් ඒවා පිළිබඳව ලේඛනගත කළේය. 

මනීෂි මංජරී 
The Brain Maze
තව කියවන්න

උඩු ගුවනේ වී වගාව

August 20, 2026
චීනය ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ, ඔවුන්ටම කියා නිපදවාගත් කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ නැවතුම්පොළක සිටය. මෙම නැවතුම්පොළ ටියැංගොන් ය. 

අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින චීන ගගනගාමීන්, විවිධාකාරයේ පර්යේෂණ සිදු කරයි. ටියැංගොන් නැවතුම්පොළේ හරිතාගාරයක් ද ඇත. චීන මාධ්‍ය වාර්තා කරන්නේ, මේ හරිතාගාරය තුළ සාර්ථකව වී වගා කිරීමට චීන ගගනගාමීන් සමත් වී සිටින බවය. 

අඩු ගුරුත්වයක් යටතේ, සාර්ථක වී වගා කෙරුණු පළමු අවස්ථාව මෙයයි. චීන ගගනගාමීන් වගා කර ඇත්තේ ජපොනිකා නමැති වී වර්ගයයි. ගගනගාමීන් පවසන්නේ කෘත්‍රිම පරිසර තත්ත්වයන් යටතේ වී ඇටවලින් පැළ ලොකු මහත් කර ගැනීමට මාස දෙකක කාලයක් ගත වුණු බවය. 

ලුසිත ජයමාන්න 
NDTV ඇසුරිනි
තව කියවන්න

විටමින් බොන හරි වෙලාව

August 20, 2026
විටමින් සහ ඛනිජ ලවණ අතිරේකවලින් (Supplements) ශරීරයට උපරිම ඵලදායිතාවයක් ලබාගැනීමට නම් ඒවා නිවැරදි වේලාවට භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. සිරුරට අවශ්‍ය පෝෂක කොටස් නිසි වෙලාවට ශරීරගත නොවීමෙන් ඒවායේ සැබෑ ගුණය අපතේ යයි. 

දවස ආරම්භයේදී ශරීරයට අවශ්‍ය ශක්තිය සහ හොඳ අවශෝෂණයක් ලබාගැනීමට උදෑසන ආහාරය සමඟ විටමින් වර්ග ලබාගැනීම වඩාත් සුදුසුය. විශේෂයෙන්ම මේදයේ දියවන විටමින් D සහ E මෙන්ම, ජලයේ දියවන විටමින් C, B-Complex සහ Biotin යන පෝෂක කොටස් උදෑසන ආහාරයත් සමඟ ශරීරගත කරගැනීමෙන් දවස පුරා සක්‍රීයව තබන ශක්තියක් මෙන්ම ඉහළ අවශෝෂණයක් ද හිමිවේ. 

යකඩ (Iron) අතිරේක හිස්බඩ හොඳින් අවශෝෂණය වන බැවින්, ඒවා දහවල් ආහාරයට පෙර ලබාගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ යකඩ අතිරේක, විටමින් C සමඟ එක්ව ලබාගන්නා විට එහි අවශෝෂණතාව වැඩිවෙයි. ආමාශයික අපහසුතා සහ අජීර්ණ තත්ත්වයන් මගහැරීමටත්, සිරුරට හොඳින් අවශෝෂණය වීමටත් සින්ක් (Zinc) සහ ඔමේගා-3 (Omega-3) වැනි පෝෂක අතිරේක රාත්‍රී ආහාරය සමඟ ලබාගැනීම කළ යුතුය. 

ආහාර වේලක් සමඟ ලබාගැනීමෙන් ඒවායින් ඇතිවිය හැකි බඩේ දැවිල්ල වැනි අතුරු ආබාධ අවම කරගත හැකිය. රාත්‍රී නින්දට පැය 1-2 කට පෙර මැග්නීසියම් (Magnesium) ලබාගැනීම සුවබර නින්දකට මඟ පාදයි. මැග්නීසියම් මගින් ශරීරයේ පේශි ලිහිල් කර, මානසික සහ කායික ආතතිය දුරුකරන බැවින්, සන්සුන් සහ ගැඹුරු නින්දක් ලබාගැනීමට එය මහඟු රුකුලක් වේ. 

ලුසිත ජයමාන්න 
The Brain Maze ඇසුරිනි
තව කියවන්න

Aug 17, 2026

බලෙන් ලැබුණු හාදුව

August 17, 2026

ඉන්දියානු සිනමාව සහ විලාසිතා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව සටහන් කළ නිකිතා රාවල් යනු රංගන ශිල්පිනියකි. නර්තන ශිල්පිනියකි. නිරූපිකාවකි. Garam Masala, Black & White වැනි සිනමා නිර්මාණවලින් ඇය රසික ආදරය දිනාගෙන සිටී. 

පසුගිය දා නිකිතාට, අනපේක්ෂි, තරමක අපහසුතාවයට පත්වන්නට සිදු වූ සිදුවීමකට මුහුණ දෙන්න සිදු විය. ඒ ඇය ප්‍රසිද්ධ උත්සවයක රතු පලස මතදී, ඇගේ රසිකාවික ඇයට ළං වීමත් සමගය. තම ආදරණීය නිළිය නිකිතා දුටු එම රසිකාවියක් එකපාරටම ඇය ළඟට ඇවිත් කතාබහ කරන්න පටන් ගත්තාය. 

ඉන්පසු ඇය නිකිතාගේ කම්මුලක් සිප ගත්තාය. ඒත් ඇය එතැනින් නරත වූයේ නැත. ඇය නිකිතා පුදුමයට පත් කරමින් ඇගේ තොල් සිපගන්න වූවාය. රසිකාවියගේ මේ නොසිතූ හැසිරීමෙන් නිකිතා කලබල වූවාය. 

නිකිතා එම රසිකාවියගෙන් මිදෙන්න උත්සාහ ගත් නමුත් රසිකාවිය නිකිතා මුදා හැරියේ හාදුව දී අවසන් කරමිණි. මේ සියල්ල ඇතුළත් වීඩියෝ දසුන් එක රැයින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය විය. 
බොහෝ දෙනකු නිකිතා විවේචනය කරමින් ඇයට දොස් නගන්න විය. ඒ නිකිතා, ඇගේ රසිකාවික් සිපගත් බවත්, ඇය සමලිංගික නිළියක් බව ප්‍රසිද්ධියේ පෙන්වූ බවත් කියමිණි. 

 එම සිද්ධියට අදාළ වීඩියෝ දසුන් වයිරල් වීමත් සමග නිකිතාගේ ආදරණීය රසිකයන් ඇය වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් කරන්න වූයේ එව නිකිතා දැන සිටි දෙයක් නොවන බවත්, ඇය අපහසුවට පත්වුණු බවත්ය. 

වීඩියෝ දසුන් නරඹද්දී ඒ බව පැහැදිලි වන බව ද නිකිතාගේ ආදරණීය රසිකයන් පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් පසුව නිකිතා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබුවේ ඇය වෙනුවෙන් පෙනී සිටි ඇගේ රසිකයන්ට ස්තුති කරමිනි. 

‘ඔයාලා හැමෝම ලබා දුන් ආදරයට සහ සහයෝගයට ගොඩක් ස්තූතියි. මා  එය ගොඩක් අගය කරනවා. මා නිවැරදි බවත්, මා කිසිම වැරැද්දක් කර නැති බවත් ඔයාලා දන්නවා. මට හංගන්න දෙයක් නැහැ, මා සෑම විටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා’ යැයි නිකිතා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. 

NDTV ඇසුරිනි
තව කියවන්න

Aug 16, 2026

කණේ ගල් පෙරළෙන හැටි

August 16, 2026
‘කණ ඇතුළේ ගල් කැට තියෙනවා. ඒවා පෙරළෙද්දී තමයි කැරැකිල්ල හැදෙන්නේ.’ යැයි කවුරුන් හෝ කීවොත්, එය විහිළුවක් ලෙස සිතෙන්න පුළුවනි. ඒත්, මෙහි විද්‍යාත්මක සත්‍යයක් ඇත.

 උදෑසන ඇඳෙන් නැගිටිද්දී, එදිනෙදා වැඩ කටයුතු කරද්දී, හිස ඉහළට පහළට හෝ පැත්තට හරවද්දී සමහරුන්ට එක පාරටම කැරකිල්ලක් දැනෙයි. සමබරතාව නැතිවී වැටෙන්න යනවා සේ දැනෙයි. ඒත් තත්පර කිහිපයකින් සියල්ල යථා තත්ත්වයට පත් වෙයි. වෛද්‍යවරුන්ට අනුව, මෙසේ කැරකිල්ල ඇතිවන්නේ, කණ ඇතුළේ ඇති කුඩා ‘ගල් කැට’ ඒවාට නියමිත තැන වෙනස් වෙද්දීය. 

වෛද්‍ය විද්‍යාවට අනුව මෙය BPPV (Benign Paroxysmal Positional Vertigo) ය. මෙය හිසේ ඉරියව් වෙනස් වීමත් සමඟ හදිසියේ හටගන්නා, ජීවිතයට හානිකර නොවන තාවකාලික කැරකිල්ලකි. ශ්‍රවණයට පමණක් නොවෙයි, අපගේ කණ, ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීමටද ප්‍රධාන වශයෙන් දායක වෙයි. 

කණ අභ්‍යන්තරයේ ඇති කුඩා කෝෂ වැනි කොටස් තුළ අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි අතිශය සියුම් සහ අතිශය කුඩා කැල්සියම් කාබනේට් ස්ඵටික දහස් ගණනක් තැන්පත් වී ඇත. ගල් යනු මේවාය. වෛද්‍ය විද්‍යාවේදී ‘ඔටෝකෝනියා’ (Otoconia) යනුවෙන් හැඳින්වෙන මෙම කැල්සියම් කැට, අප ඉදිරියට, පසුපසට හෝ ඉහළ පහළ යන විට (උදාහරණයක් ලෙස විදුලි සෝපානයක් තුළ ගමන් කරද්දී), ගුරුත්වාකර්ෂණයට අනුව චලනය වී කණ ඇතුළේ ඇති සංවේදක සෛල උත්තේජනය කරයි. 

එමගින් අප ගමන් කරන දිශාව සහ සමබරතාවය පිළිබඳ නිවැරදි සංඥා මොළයට ලබා දෙයි. කෙසේ නමුත්, වයස්ගත වීම, හිසට සිදුවන සුළු පහරදීමක් හෝ කණෙහි ඇතිවන ආසාදනයක් නිසා කැල්සියම් ස්ඵටික, ඒවා තිබිය යුතු තැනින් ගිලිහී, අභ්‍යන්තර කණෙහි ඇති ද්‍රවය පිරුණු අර්ධ වෘත්තාකාර නාල තුළට වැටී පෙරළෙයි. හිස තැනින් තැනට හරවද්දී, කැල්සියම් කැට, නාලය තුළ ඇති ද්‍රවය හරහා තල්ලු වී යිය. 

එවිට කණ තුළ සංවේදක මගින් ‘ඔබ වේගයෙන් කැරකෙනවා’ යන වැරදි සංඥාව මොළයට යවයි. එසේ වුවත් ඔබේ ඇස් සහ සන්ධි මගින් මොළයට සංඥා යවන්නේ, ඔබ එක තැන නිශ්චලව සිටින බවය. මොළයට ලැබෙන මෙම පරස්පර සංඥා නිසා තත්පර 30-60 අතර කාලයකට අධික කැරකිල්ලක් හටගන්නා අතර, කැල්සියම් කැට නැවත නිශ්චල වූ පසු කැරකිල්ල ඉබේම නතර වෙයි. 

මෙම තත්ත්වය ඔබ දිගින් දිගටම පීඩාවට පත් කරන්නේ නම්, ඊට ඇති හොඳම විසඳුම, වෛද්‍යවරයකු ලවා සිදුකරගන්නා ‘එප්ලි ප්‍රතිකර්මය’ (Epley Maneuver) නමැති හිස හැරවීමේ විශේෂ ව්‍යායාමයයි. රෝගියාගේ හිස නිශ්චිත කෝණ කිහිපයකට පිළිවෙලින් හැරවීම මගින්, ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් නාලය තුළ අතරමං වී පෙරළෙන කැල්සියම් කැට නැවත තිබූ ස්ථානයට තල්ලු කර යැවීම මෙම ව්‍යායාමයේදී සිදු වෙයි. බොහෝ විට එක වරක් හෝ දෙවරක් මෙම ව්‍යායාමය කිරීමෙන්ම රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගත හැක. 

ලුසිත ජයමාන්න 
Live Science
තව කියවන්න

කළු කුහර තාරකාව

August 16, 2026
පළමු වරට අභ්‍යවකාශයෙන් අමුතු අපූරු වස්තුවක් සොයා ගැනීමට විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ. මේ සොයා ගැනීම කළේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ (එම්.අයි.ටී.) විද්‍යාඥයන් කණ්ඩායමකි. විශ්වයේ ආරම්භය ගැන මෙතෙක් දැන සිටි කරුණු කාරණා, මෙම නව සොයා ගැනීමත් සමග උඩු යටිකුරු වනු ඇතැයි විද්‍යාඥයන්ගේ මතයයි. විද්‍යාඥයන් සොයා ගත් අමුතු වස්තුව කුමක්ද? එය අබිරහස් කළු කුහරයක්ද? නැතිනම් තාරකාවක්ද? නැතිනම් ඒ දෙකමද? විද්‍යාඥයන් මේ මුතු අපූරු වස්තුව හඳුන්වන්නේ ‘කළු කුහර තාරකාව’ යනුවෙනි. 

 මේ කළු කුහර තාරකාව කුමක්දැයි පැහැදිලි කිරීමට, වසර බිලියන ගණනක් අතීතයට යමු. විශ්වයේ ආරම්භය සිදුවුණු බව පැවැසෙන්නේ මීට වසර බිලියන 13.8 ට පෙරය. තාරකා විද්‍යාඥයන්ට අනුව, විශ්වයේ ආරම්භය සිදුවූයේ මහා පිපිරුමෙනි. විශ්වයේ ආරම්භයට පෙර, අවකාශය හෝ පදාර්ථය කියා දෙයක් තිබුණේ නැත. මුළු විශ්වයේම පැවති සමස්ත ශක්තිය සහ ස්කන්ධය පරමාණුවකටත් වඩා අතිශය කුඩා, අධික ඝනත්වයකින් සම අප්‍රමාණ උෂ්ණත්වයකින් යුත් තනි ලක්ෂ්‍යයක කැටි වී තිබුණි. 

 මෙම අතිශය උණුසුම් ලක්ෂ්‍යය ක්ෂණිකව සහ ප්‍රචණ්ඩ ලෙස අතිවිශාල වේගයකින් ප්‍රසාරණය වීම, ‘මහා පිපිරුම’ ලෙස විද්‍යාඥයෝ හඳුන්වති. ‘පිපිරුම’ යැයි කීවත්, මෙය බෝම්බ පිපිරුමක් වැනි දෙයක් නොවෙයි. මෙහිදී සිදුවුණු බව පැවැසෙන්නේ, හිස් අවකාශය ක්ෂණිකව ප්‍රසාරණය වීම සහ එසැණින් එය සිසිල් වීමය. 

එම සිසිල් වීමත් සමඟම, මුලින් පැවති ශක්තියෙන් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වැනි ක්ෂුද්‍ර අංශු සෑදී, පසුව හයිඩ්‍රජන් සහ හිලියම් වැනි මූලද්‍රව්‍ය නිර්මාණය විය. කාලයත් සමඟ එම වායු එක්රැස් වී ප්‍රථම තරු, මන්දාකිණි, ග්‍රහලෝක නිර්මාණය විය. විද්‍යාඥයන්ට හමුවුණු, ‘කළු කුහර තාරකාව’ මහා පිපිරුමෙන් වසර මිලියන කිහිපයකට පමණක් පසු, එනම් විශ්වයේ ළමා අවදියේ දී, නිර්මාණය වූවක් යැයි ගණන් බලා ඇත. විද්‍යාඥයන්, මේ ‘කළු කුහර තාරකාව’ හඳුන්වන්නේ MoM-BH*-1 යන කේත නාමයෙනි. 

‘කළු කුහර තාරකාව’ අප සූර්යග්‍රහ මණ්ඩලයේ තරම් විශාල යැයි ද පැවැසෙයි. එය සාමාන්‍ය තාරකාවකට නිපදවිය හැකි උපරිම ශක්තිය මෙන් කෝටි 100 ගුණයක ප්‍රචණ්ඩ ශක්තියක් විශ්වයට මුදා හරින බව ද පැවැසෙයි. මෙම නව සොයාගැනීමේ විශේෂත්වය වටහාගැනීමට අප සූර්යයා ද ඇතුළු සාමාන්‍ය තාරකා ශක්තිය උපදවන ආකාරය තේරුම් ගත යුතුය. 

සාමාන්‍යයෙන් තාරකාවක් ජීවත් වන්නේ ‘න්‍යෂ්ටික සංලයනය’ නමැති පරමාණුක ක්‍රියාවලිය මගිනි. ‘න්‍යෂ්ටික සංලයනය’ යනු සැහැල්ලු පරමාණුක න්‍යෂ්ටි දෙකක් එකිනෙක ගැටී එකතු වී, වඩා බරින් වැඩි තනි පරමාණුක න්‍යෂ්ටියක් බවට පත්වීමේ ක්‍රියාවලියයි. අප සූර්යයාගේ සහ අනෙකුත් තාරකාවල අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය සහ දැඩි පීඩනය නිසා හයිඩ්‍රජන් පරමාණු එකිනෙකා සමග තදින් ගැටෙයි. 

මෙම ගැටීමේදී හයිඩ්‍රජන් න්‍යෂ්ටි එකතු වී හිලියම් පරමාණු බවට පත්වේ. මෙහිදී සිදුවන ආශ්චර්යය නම්, සංලයනයෙන් පසු සෑදෙන හිලියම් පරමාණුවේ ස්කන්ධය, එකතු වූ හයිඩ්‍රජන් පරමාණුවල මුළු ස්කන්ධයට වඩා තරමක් අඩු වීමය. මහා විද්‍යාඥ අයින්ස්ටයින්ගේ න්‍යායයට අනුව, මෙසේ අතුරුදහන් වන ස්කන්ධය අතිවිශාල තාප සහ ආලෝක ශක්තියක් බවට පරිවර්තනය වී එළියට විහිදෙයි. සූර්යයා වසර බිලියන ගණනක් තිස්සේ පෘථිවියට අඛණ්ඩව ආලෝකය සහ තාපය සපයන්නේ මෙම න්‍යෂ්ටික සංලයන ක්‍රියාවලියෙනි. 

 ඒත්, විද්‍යාඥයන් සොයාගත්, කළු කුහර තාරකාව සාමාන්‍ය තාරකාවන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් හා අපූරු ආකාරයකට ක්‍රියා කරයි. මෙම වස්තුව මධ්‍යයේ න්‍යෂ්ටික සංලයනය සිදුවන්නේ නැත. ඒ වෙනුවට එහි මධ්‍යයේ පිහිටා ඇත්තේ අපගේ සූර්යයා මෙන් 100,000 ගුණයක ස්කන්ධයකින් යුතු යෝධ කළු කුහරයකි. කළු කුහරය වටා අධික ඝනත්වයකින් යුත් අතිවිශාල හයිඩ්‍රජන් වායු වලාකුළක් (ගෑස් ආවරණයක්) පිහිටා ඇතැයි පැවැසෙයි. 

කළු කුහරයේ ඇති අසමසම ගුරුත්ව බලයට හසුවී මෙම හයිඩ්‍රජන් වායූන් අධික වේගයෙන් මධ්‍යයේ ඇති කළු කුහරය දෙසට ඇදී යයි. මෙසේ ද්‍රව්‍යයන් ප්‍රචණ්ඩ ලෙස ඇදී යෑමේදී හටගන්නා අධික ඝර්ෂණය සහ චලිත ශක්තිය හේතුවෙන් මෙම මුළු වායු වලාකුළම අතිශය උණුසුම් වී, අදහාගත නොහැකි දීප්තියකින් යුතුව බැබළීමට පටන් ගනී. 

 මෙම අරුම පුදුම වස්තුවේ, ආලෝකය පරීක්ෂා කළ විද්‍යාඥයන්ට පෙනී ගියේ එහි හයිඩ්‍රජන් සහ හිලියම් හැර වෙනත් කිසිදු බර මූලද්‍රව්‍යයක් නොමැති බවය. පරිගණක ආකෘති මගින් තහවුරු වූයේ කළු කුහරයක් වටා පිහිටි මෙවැනි හයිඩ්‍රජන් ආවරණයකට පමණක් මෙවැනි අසාමාන්‍ය රතු පැහැයක් සහ අතිවිශාල දීප්තියක් ලබාදිය හැකි බවය. මෙම කළු කුහර තාරකාව සොයා ගත්තේ අභ්‍යවකාශයේ රඳවා ඇති අති නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ආධාරයෙන් ලබා ගත් ඡායාරූප සහ දත්ත පාදක කර ගනිමිනි. කළු කුහර තාරකාව, විශ්වයේ ඈත දකින්න ලැබෙන්නේ පුංචි රතු තිතක් ලෙසය. 

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යනු දැනට අප සතු බලගතුම, සංකීර්ණම සහ දියුණුම දුරේක්ෂයයි. ඇමෙරිකාවේ නාසා ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කේනඩියානු අභ්‍යවකාශ ආයතනය එක් වී මෙය නිපදවා ඇත. මෙම දුරේක්ෂයේ අරමුණ විශ්වය ආරම්භ වූ මුල් කාලයට, එනම් මහා පිපිරුමෙන් පසු ප්‍රථම තාරකා සහ මන්දාකිණි නිර්මාණය වූ අතීතයට එබිකම් කිරීම යැයි පැවැසෙයි. ආලෝකයට ද ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. 

එම නිසා විශ්වයේ අතිවිශාල දුරක් ගමන් කරමින් අප වෙත පැමිණෙන ආලෝකය, විශ්වයේ ප්‍රසාරණයත් සමඟ ඇදී ‘අධෝරක්ත’ තරංග බවට පත්වේ. මෙම තරංග ග්‍රහණය කර ගැනීමට හැකි ඉතා සංවේදී කැමරා පද්ධතියක් ජේම්ස් වෙබ් දුරේක්ෂය සතුව ඇත. විද්‍යාඥයන්ට කළු කුහර තාරකාව හමුවූයේ, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යොදා ගනිමින් විශ්වයේ මන්දාකිණිවල ආරම්භය සොයා කළ ‘මිරාජ්’ නමැති විශේෂ නිරීක්ෂණ ව්‍යාපෘතිය අතරතුරේය. 

සාමාන්‍ය තාරකාවකට හෝ මන්දාකිණියකට හෝ කිසිසේත්ම සමාන කළ නොහැකි, අසාමාන්‍ය ලෙස දීප්තිමත් රතු පැහැති වස්තුවක් ලෙස MoM-BH*-1 දකින්න ලැබුණු බව විද්‍යාඥයන් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. 

 විශ්වයේ පවතින අද්භූතම, විශ්මයජනකම මෙන්ම වඩාත් භයානකහ වස්තුව ලෙස විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘කළු කුහර’ ය. කළු කුහරයක් යනු අතිවිශාල ස්කන්ධයක් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකට තෙරපී තදවීම නිසා සෑදෙන, අතිප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් සහිත අභ්‍යවකාශ කලාපයකි. කළු කුහරයක ගුරුත්වාකර්ෂණය කොතරම් ප්‍රබල ද යත්, විශ්වයේ වේගවත්ම දේ වන ආලෝකයට පවා එහි ග්‍රහණයෙන් මිදී ආපසු යාමට නොහැක. 

ආලෝකය පවා නැවත පරාවර්තනය වී එළියට නොඑන බැවින් ඒවා අපට පෙනෙන්නේ කළු පැහැති හිස් අවකාශයන් ලෙසිනි. කළු කුහරයේ ආලෝකයට පවා මිදිය නොහැකි සීමාව ‘ඉවෙන්ට් හොරයිසන්’ ලෙස හැඳින්වෙයි. සාමාන්‍යයෙන් විශාල තාරකාවන් සිය ජීවිත කාලය අවසානයේදී පුපුරා යමින් (සුපර්නෝවා පිපිරීම් මගින්) මෙවැනි කළු කුහර නිර්මාණය වේ. 

ඉන්පසු ඒවා තමන් අවට ඇති වායු, දූවිලි, වෙනත් තාරකා මෙන්ම ආලෝකය පවා ගිලගනිමින් ක්‍රමයෙන් අතිවිශාල ‘සුපර් මැසිව්’ කළු කුහර බවට පත්වේ. ‘කළු කුහර තාරකාව’ සොයා ගැනීම සම්බන්ධයෙන්, විශේෂ ලිපි පෙළක්, මේ වනවිට සුප්‍රසිද්ධ ‘නේචර්’ විද්‍යා සගරාවේ ද පළ වී ඇත. 

‘කළු කුහර තාරකාව’ විදෙස් පුවත් බොහොමයක ප්‍රධාන පුවත බවට ද පත් වී අවසන්ය. විශ්වය නිර්මාණය වී වසර මිලියන කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ, සූර්යයා මෙන් බිලියන ගණනක් විශාල යෝධ කළු කුහර බිහිවූයේ කෙසේද යන්නට පිළිතුරු සෙවීමේ දී විද්‍යාඥයන්ට ‘කළු කුහර තාරකාව’ සොයා ගැනීම ඉතා වැදගත් වනු ඇති බව පැවැසෙයි. 

‘කළු කුහර තාරකාව’ සොයා ගැනීමත් සමග, දැන් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, මුල් කාලීන විශ්වයේ පැවති මෙවැනි ‘කළු කුහර තාරකා’ අතිවිශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් වේගයෙන් ගිලදමමින්, පසුව අද අප දකින යෝධ ‘කළු කුහර’ බවට පරිණාමය වන්න ඇති බවය. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ උපකාරයෙන් ඉදිරියේදී සිදුකිරීමට නියමිත පර්යේෂණ මගින්, විශ්වයේ අලුයම සිදුවූ මෙවැනි තවත් අතිවිශේෂ රහස් රැසක් හෙළිදරවු කරගැනීමට හැකිවනු නොඅනුමානය. 

ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි
තව කියවන්න

Aug 13, 2026

AI වයිරස හදනවා

August 13, 2026
‘ඇමෙරිකන් විද්‍යාඥයන්, කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන්, අලුත් වයිරස හදනවා.’ මෙය පසුගිය දිනවල, විදෙස් මාධ්‍යවලත්, සමාජ මාධ්‍යවලත් ප්‍රමුඛ පුවතක් විය. අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් නම්, ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධිය අපේ ජීවිත පහසු කරමින් සිටී. 

සරලව නිර්වචනය කළොත්, කෘත්‍රිම බුද්ධිය යනු මිනිසාගේ බුද්ධිමය හැකියාව පරිගණක පද්ධති සහ යන්ත්‍ර මගින් ප්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණයයි. විවිධ කාර්යයන් සඳහා ඒවාට ගැලපෙන ආකාරයේ කෘත්‍රිම බුද්ධි මොඩියුල ඇත. 

කෘත්‍රිම බුද්ධි මොඩියුල යනු සමස්ත කෘත්‍රිම බුද්ධි පද්ධතියකට ඇතුළත්, යම් නිශ්චිත කාර්යයක් පමණක් තනිව ඉටු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ස්වාධීන මෘදුකාංග කොටසකි. අනෙකුත් සියලුම ක්ෂේත්‍රයන්ගේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ ද පෙරැළි කිරීමට කෘත්‍රිම බුද්ධි මොඩියුල සමත් වී සිටින්නේ, අපේ යහපත වෙනුවෙන් ලෙඩ රෝගවලට නව ප්‍රතිකාර සෙවීමටය. 

විද්‍යාඥයන් කෘත්‍රිම බුද්ධිය ලවා වයිරස නිර්මාණය කරගෙන ඇත්තේ ද ලෙඩ රෝගවලට ප්‍රතිකාර සෙවීමේ යහපත් අරමුණින්ය. එබැවින්, මෙය වෛද්‍ය විද්‍යාවේ විශාල ජයග්‍රහණයකි. ඒත් මෙවැනි වයිරස අපට එරෙහිව යොදා ගැනීමට කෘත්‍රිම බුද්ධි මොඩියුලයකට සිත් පහළ වුණොත්, කුමක් වේවිද? 

මෙම නව වයිරස නිර්මාණය කර ඇත්තේ, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරුවරයකු වන බ්‍රයන් හී ප්‍රමුඛ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමය. විද්‍යාඥයන් කණ්ඩායම නිපදවා ඇත්තේ බැක්ටීරියාවලට පමණක් ආසාදනය කළ හැකි විදියේ නව වයිස 16 කි. ‘බැක්ටීරියෝෆේජ්’ යනුවෙන් මේවා නම් කර ඇත. 

පර්යේෂණාගාර තුළ දී, කෘත්‍රිම බුද්ධියට අවශ්‍ය උපදෙස් ලබා දී, නිපදවාගත් වයිරස, දැනට දකින්න ලැබෙන ස්වභාවික වයිරසවලට දැඩි ප්‍රතිරෝධයක් දක්වන ඊ.කෝලි බැක්ටීරියාව සාර්ථකව අඩපණ කළ හැකි බව පැවැසෙයි. 

දිගු කාලීනව ආසාදනවලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මෙම නව වයිරස භාවිතයට ගත හැකිය. නව වයිරසයේ ජානමය සැලැස්ම, සැලැසුම් කිරීමට, විද්‍යාඥ කණ්ඩායම, ‘Evo1’ සහ ‘Evo2’ නමින් හැඳින්වෙන කෘත්‍රිම බුද්ධි ආකෘති භාවිත කර ඇති බව පැවැසෙයි. මිලියන දෙකකට අධික ‘බැක්ටීරියෝෆේජ්’ ජාන දත්ත යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි මොඩියුල සකසා ඇත. 

මෙහිදී විද්‍යාඥයන් කණ්ඩායම දුරදිග බලා, කෘත්‍රිම බුද්ධිය හරහා අපට අනතුරුදායක විය හැකි වයිරස නිපදවීම වැළැක්වීමට ද පියවර ගෙන ඇත. මනුෂ්‍ය අපට හෝ සතුන්ට හෝ ශාකවලට හෝ බලපෑම් කරන වයිරසවල ජානමය සැලසුම් කිසිවක් විද්‍යාඥයන් කෘත්‍රිම බුද්ධි ආකෘතිවලට ලබා දී නැත. එබැවින්, කෘත්‍රිම බුද්ධි ආකෘති නිර්මාණය කළේ විද්‍යාඥයන්ට අවශ්‍ය විදියේ නව වයිරස 16 ක් පමණි. 

 ක්ෂණිකව ජාන සැකසුම් (ජෙනෝම) වටහා ගැනීමට කෘත්‍රිම බුද්ධියට ඇති හැකියාව වෛද්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව, ජෛව තාක්ෂණික ක්ෂේත්‍රයේ ද විශාල පෙරළියක් ඇති කරමින් පවතී. 

සුප්‍රසිද්ධ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටොම් ඉන්ග්ල්ස්බි සහ වෛද්‍ය මොරිට්ස් හෑන්ක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැහැදිලි කර ඇත්තේ, අප කොතරම් කල්පනාකාරී වුවත්, කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් මිනිසාට අහිතකර ආකාරයේ වයිරස ජීව අවි ලෙස නිපදවීමේ හැකියාව ඇති බවත්, එය කනස්සල්ලට හේතුවක් බවත්ය. 

එබැවින්, ජාන සැකසුම් (ජෙනෝම) සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධි මොඩියුල යම් පාලනයකට ලක් කළ යුතු බව ද මහාචාර්ය ටොම් ඉන්ග්ල්ස්බි සහ වෛද්‍ය මොරිට්ස් හෑන්ක් පෙන්වා දී තිබේ. ලන්ඩනයේ කිංග්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ෆිලිපා ලෙන්ට්සෝස් ද මේ සම්බන්ධයෙන් බිය පළ කර ඇත. 

කෘත්‍රිම බුද්ධිය නව වයිරස නිපදවීමට සමත් වීම, ඖෂධ නිෂ්පාදනයේ ඉදිරි ගමනට විශාල රුකුලක් වන බව තමන් පිළිගන්නා නමුත්, ජෛව ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝලීය මට්ටමේ කඩිනම් නියාමන අවශ්‍ය බව ඇය පැහැදිලි කරයි. “මේ දේවල් වැරදි කෙනාගේ අතට ගියොත්, නැතිනම් කෘත්‍රිම බුද්ධිය මනුෂ්‍ය අපට එරෙහිව වයිරස නිපදවන්න පටන් ගත්තොත්, මොකද වෙන්නේ?” යැයි ආචාර්ය ෆිලිපා ලෙන්ට්සෝස් විමසයි. 

 වෛද්‍ය පර්යේෂකයන් මේ වනතුරු කෘත්‍රිම බුද්ධියේ සහාය ලබා ගත්තේ වයිරස සහ බැක්ටීරියාවලට එරෙහිව නව ප්‍රතිජීවක සොයා ගැනීමටය. ඒ අනුව, කෘත්‍රිම බුද්ධියට, වයිරසවල ජාන සැකසුම එසේත් නැතිනම් ජෙනෝම ගැන පැහැදිලි අවබෝධයක් ඇත. 

ජෙනෝම යනු ජීවියකුගේ සෛලයක් තුළ අඩංගු සමස්ත ජානමය තොරතුරු එකතුවය. සරලවම පැවසුවහොත්, එම ජීවියා ගොඩනැගීමට, වර්ධනය වීමට සහ ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලුම උපදෙස් ඇතුළත් ජීව විද්‍යාත්මක උපදෙස් පොත ලෙස ජෙනෝමය හැඳින්විය හැක. 

වයිරසයක් යනු සෛලීය ව්‍යුහයක් නොමැති, ප්‍රෝටීන් ආවරණයකින් වටවූ න්‍යෂ්ටික අම්ලයකින් (ඩීඑන්ඒ හෝ ආර්එන්ඒ) පමණක් සමන්විත අතිශය ක්ෂුද්‍රජීවී අංශුවකි. ස්වයංක්‍රීයව පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට හෝ ප්‍රජනනය කිරීමට වයිරසවලට හැකියාවක් නැත. 

එම නිසා, ජීවී සෛලයකින් පිටතදී වයිරස අක්‍රීය නොහොත් අජීවී අංශු ලෙස පවතින අතර, ඒවා පරිපූර්ණ ජීවීන් ලෙස නොසැලකේ. ඒවා ජීවී සහ අජීවී ලෝකය අතර පවතින සංක්‍රාන්ති අවස්ථාවක් ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ මෙම සුවිශේෂී ස්භාවය නිසාවෙනි. 

වයිරසයක පැවැත්ම සහ ගුණනය පූර්ණ වශයෙන්ම රඳා පවතින්නේ ධාරක සෛලයක් මත ය. යම් ජීවී සෛලයකට ඇතුළු වූ පසු, වයිරසය විසින් එම ධාරක සෛලයේ සෛලීය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම තම පාලනයට ගෙන, තමන්ගේම න්‍යෂ්ටික අම්ල සහ ප්‍රෝටීන් පිටපත් දහස් ගණනින් නිෂ්පාදනය කිරීමට පටන් ගනී. 

පසුව මෙම නව වයිරස අංශු එකලස් වී ධාරක සෛලය විනාශ කරමින් පිටතට පැමිණ, තවත් නව සෛල ආසාදනය කරයි. ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, කොවිඩ්-19 සහ ජලාශ්‍රිතාව යනු අප හොදින් දන්නා වයිරස කීපයකි. බැක්ටීරියා යනු පෘථිවිය මත වඩාත්ම ව්‍යාප්ත වී ඇති, තනි සෛලයකින් සමන්විත ක්ෂුද්‍රජීවී කාණ්ඩයකි. 

වයිරස මෙන් නොව බැක්ටීරියා සතුව සෛල බිත්තියක්, සෛල ප්ලාස්මය සහ ස්වයංක්‍රීය පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමේ පූර්ණ හැකියාව සහිත සෛලීය ව්‍යුහයක් පවතී. සාමාන්‍යයෙන් ද්විමය බිඳීම මගින් ලිංගික නොවන අයුරින් වේගයෙන් ගුණනය වන මොවුන්ට, ධාරක සෛලයකින් තොරව පස, ජලය, වාතය, මෙන්ම අතිශය විෂම පාරිසරික තත්ත්වයන් යටතේ වුවද ස්වාධීනව ජීවත් විය හැක. බැක්ටීරියා සියල්ලම රෝග කාරක නොවෙයි. 

පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙන්ම අප මිනිස් සිරුරේ ආහාර ජීරණය සහ ප්‍රතිශක්තිය සඳහා ද හිතකර බැක්ටීරියා අත්‍යවශ්‍ය වෙයි. එසේ වුවත්, ටයිෆොයිඩ්, ක්ෂය රෝගය, කොලරාව සහ පිටගැස්ම වැනි රෝග ඇති කරන හානිකර බැක්ටීරියා වර්ග ද පවතින අතර, ඒවා මර්දනය කිරීමට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනු ලැබේ. 

 වයිරස සහ බැක්ටීරියා අතර ප්‍රධානතම වෙනස වන්නේ ඒවායේ සෛල සැකසුමය. බැක්ටීරියා යනු ස්වාධීනව ජීවත් විය හැකි, පූර්ණ සෛලීය ව්‍යුහයක් සහිත ප්‍රොකාරියෝටික ජීවීන් වන අතර, වයිරස යනු ස්වාධීන සෛලීය ව්‍යුහයක් නැති අංශු විශේෂයකි.

මෙම ජීවී කාණ්ඩ දෙක සඳහා භාවිතා කරන වෛද්‍ය ප්‍රතිකාර ද එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්ය. බැක්ටීරියා මගින් සිදුවන ආසාදන පාලනය කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ සාර්ථකව භාවිතා කළ හැකි වුවද, වයිරස සඳහා ප්‍රතිජීවක කිසිදු බලපෑමක් නොකරයි. වයිරස ආසාදනවලට එරෙහිව ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ ප්‍රතිවයිරස ඖෂධ සහ එමගින් වැළඳෙන රෝග පූර්වයෙන් වළක්වා ගැනීමට ලබා දෙන එන්නත්ය. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි
තව කියවන්න

යුරෝපය දැකපු සූර්යග්‍රහණය

August 13, 2026
වසර 27 කට පසු යුරෝපා රටවල වැසියන්ට පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබුණි. සූර්යග්‍රහණය ආරම්භ වූයේ ග්‍රීන්විච් වේලාවෙන් සවස 15:34 ටය. 

රුසියාවේ උතුරු ප්‍රදේශවලට, ග්‍රීන්ලන්තයට, අයිස්ලන්තයට, ස්පාඤ්ඤයට සහ පෘතුගාලයේ ප්‍රදේශ කීපයක මිලියන 15 කට පූර්ණ සූර්යග්‍රහණය දකින්න ලැබුණි.  

බටහිර යුරෝපයට, වයඹදිග අප්‍රිකාවට, කැනඩාවේ වැඩි කොටසකට සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ප්‍රදේශවලට මෙම සූර්යග්‍රහණය දකින්න ලැබුණේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසය. 

මිනිත්තු 2යි තත්පර 18 ක කාලයක් පූර්ණ සූර්යග්‍රහණය පැවැති අතර, අයිස්ලන්තයේ රෙයික්‍යවික් නුවරට එය හොඳින්ම දිස්විණි. 

සූර්යග්‍රහණයක් යනු පෘථිවිය සහ සූර්යයා අතරින් චන්ද්‍රයා ගමන් කිරීමේදී, චන්ද්‍රයා විසින් සූර්යයා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ආවරණය කරමින් පෘථිවිය මතට සෙවනැල්ල පතිත වන ස්වාභාවික ආකාශ සංසිද්ධියයි. 

මෙහිදී සූර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය එකම සරල රේඛාවක පිහිටන අතර, චන්ද්‍රයාගේ සෙවනැල්ල වැටෙන පෘථිවි ප්‍රදේශවලට සූර්යාලෝකය තාවකාලිකව අවහිර වී දිවා කාලය අඳුරු වෙයි. 
මෙම සූර්යග්‍රහණයේ විශේෂත්වය මීට පෙර කිසි දිනෙක නොදුටු, අනාගතයේදීද යළි දැකිය නොහැකි සූර්ය කොරෝනාවක් දකින්න ලැබීමය. සූර්ය කොරෝනාව යනු සූර්යයාගේ වායුගෝලයේ පිටතින්ම පිහිටි, අතිශය උණුසුම් වායු හා ප්ලාස්මා වලින් සමන්විත බාහිරම ස්තරයයි. 

සාමාන්‍යයෙන් අධික හිරු එළිය නිසා සූර්යයාගෙන් කිලෝමීටර් මිලියන ගණනක් ඈතට විහිදෙන මෙම කොටස නොපෙනෙන නමුත්, පූර්ණ සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා සූර්යයා සම්පූර්ණයෙන් ආවරණය කිරීමත් සමඟ එය රිදී හෝ සුදු පැහැති කිරණ වළල්ලක් ලෙස අඳුරු අහසේ දිස්වෙයි. 

සූර්යග්‍රහණය සිදුවෙද්දී බුධ, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් මෙන්ම නෙප්චූන් යන ග්‍රහලෝක හය අහසේ එකම රේඛාවක පෙළගැසී තිබීම ද විශේෂත්වයකි.

National Geography ඇසුරිනි 
තව කියවන්න

Aug 11, 2026

නිළි රෝසමන්ඩ් පයික් අපේ රටේ

August 11, 2026
සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනී රෝසමන්ඩ් පයික් මෙරටට පැමිණ සිටී. ඇය මෙරටට පැමිණ සිටින්නේ, චිත්‍රපටයක රූගත කිරීම් සඳහා නොවෙයි. රෝසමන්ඩ් පයික් ජනප්‍රිය රංගන ශිල්පිනියක පමණක් නොවෙයි, මයිනින් ඇඩ්වයිසරි ගෲප් (Mines Advisory Group - MAG) කණ්ඩායමේ ජාත්‍යන්තර තානාපතිනිය ලෙස ද කටයුතු කරයි. 

රෝසමන්ඩ් පයික් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි රෝසමන්ඩ් පයික් අග්‍රාමාත්‍යවරිය හමුවේ පැහැදිලි කළාය. 

 රෝසමන්ඩ් පයික්, අග්‍රාමාත්‍යවරිය හමුවීමට පෙර උතුරේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළාය. බිම් බෝම්බ ඉවත් කිරීමේ අවදානම් මෙහෙයුම්වල නියැලෙන සිංහල දෙමළ සියලු දෙනා හමුවී ඇය සුහඳව කතාබහ කිරීමට ද අමතක කළේ නැත. 

බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින සේවක සේවිකාවන්ගේ කැපවීම ඇගයීමට ලක් කෙරුණි. බිම් බෝම්බ අනතුරු බහුල ප්‍රදේශවල පාසල්වල පැවැත්වුණු බිම්බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ද එක් වූවාය. 

බිම්බෝම්බ තිබුණු භූමි ප්‍රමාණයෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර අවසන්ය. ඒ අනුව, යුද්ධය නිසා අවතැන් වූ ලක්ෂ 10 කට ආසන්න ජනතාවකට නැවත තමන්ගේ මුල් ගම්බිම්වල පදිංචි වීමට අවස්ථාව හිමි වී ඇත. 

තවමත් බිම් බෝම්බ අනතුරු කලාප ලෙස ඉතිරි වී ඇත්තේ වර්ග කිලෝමීටර් 20.8 ක වැනි කුඩා භූමි ප්‍රමාණයකි. එම භූමියේ ද බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රතිපාදන දෙගුණ කරමින් ඉදිරි සිවු වසර ඇතුළත ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම පියවර ගන්නා බව රෝසමන්ඩ් පයික් පෙන්වා දී ඇත. ඒ අනුව බිම්බෝම්බ තර්ජනවලින් මිදෙන ලොව මුල්ම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වීමට නියමිතය. 

ඉන්පසු උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වේගයෙන් දියුණු කිරීමට ඉදිරියේදී මග පෑදෙනු ඇතැයි ද පැවැසෙයි. අග්‍රාමාත්‍යවරියට අමතරව රෝසමන්ඩ් පයික් නිවාස ඉදි කිරීම් හා ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද හමුවූවාය.
තව කියවන්න

Aug 10, 2026

ගැබිනි සමයේ ආරවුල් හොඳ නැහැ

August 10, 2026
ගැබිනි සමයේදී නිතර ඇති වන පවුල් ආරවුල් හෝ සබඳතා ආරවුල් හේතුවෙන්, ගැබිනි මවගේ මානසික ආතතිය අහිතකර ලෙස වර්ධනය විය හැකිය. එය නොමේරූ දරු උපත් සඳහා බලපාන හෝමෝන සිරුර තුළ වර්ධනය කිරීමට හේතුවක් වෙයි. 

 සාමාන්‍ය බහින්බස්වීම් සෘජුවම, නොමේරූ දරු උපතකට හේතු නොවන බව ද මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. එක දිගට පවතින දැඩි මානසික ආතතිය, වෛද්‍යමය හේතූ, ජානමය සාධක සහ ජීවන රටාවේ බලපෑම් එකට මුසුවෙද්දී, නොමේරූ දරු උපතක් සිදු වීමේ අවදානම ඉහළ නැංවීමට ඒවා දායක වෙයි.  

Brain Maze ඇසුරිනි  
තව කියවන්න

අධික උණුසුම ඔටුවෝ මරලා

August 10, 2026
අධික උණුසුම සහ වියලි කර්කශ කාලගුණයට ඔරොත්තු දෙන, දරාගැනීමේ හැකියාව උපරිමයෙන්ම ඇති සතා ඔටුවාය. ඒත් මේ වනවිට, එල් නීනෝ කාලගුණ විපර්යාස හේතුවෙන්, ඉහළ යන දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව ඔටුවන් මියයෑමට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

හෝර්න් ඔෆ් ඇෆ්රිකා (Horn of Africa) යනු නැගෙනහිර අප්‍රිකානු මහද්වීපයේ අරාබි මුහුද සහ ඒඩන් බොක්ක (Gulf of Aden) දෙසට නෙරුමක් ලෙස ඇති භූමි ප්‍රදේශයයි. මියයන්නේ මෙම භූමි ප්‍රදේශවල ඔටුවන්ය. 

උතුරු අප්‍රිකාවේත්, මෙම හෝර්න් ඔෆ් ඇෆ්රිකා භූමියේත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසු කර ඇත. අධික උෂ්ණත්වය, දැඩි නියං කාලගුණය සතුන්ට විශාල ලෙස බලපා ඇති අතර, උන් විජලනයට සහ විවිධ රෝගාබාධවලට ලක් වන බව පරිසරවේදීහු බිය පළ කරති.   

ඔටුවා යනු වියළි හා ශුෂ්ක කාන්තාර ප්‍රදේශවල ජීවත් වීමට විශිෂ්ට ලෙස හැඩගැසුණු සතෙකි. උන්ගේ පිටේ ඇති නෙරපූ කුහය (hump) තුළ තැන්පත් වී ඇති තෙද පටක මගින් ආහාර සහ ජලය නොමැතිව දින ගණනාවක් පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. 

අධික රස්නයෙන් හා වැලි සුළඟින් ආරක්ෂා වීම සඳහා උන්ට ඝන රෝම, දිගු ඇසිපිය සහ වැසිය හැකි නාස්පුඩු පිහිටා ඇත. වැල්ලේ ගිලෙන්නේ නැතිව පහසුවෙන් ගමන් කිරීමට හැකි පළල් පතුල් සහිත පාද පිහිටා තිබීම නිසා ඔටුවා කාන්තාරයේ නැව ලෙස හඳුන්වයි. දීර්ඝ කාලයක සිට මිනිසාගේ ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම කිරි සහ ලොම් ලබා ගැනීමටද ඔටුවන් බෙහෙවින් උපකාරී වේ.

Brain Maze ඇසුරිනි
තව කියවන්න

දීර්ඝායු දෙන බැඩ්මින්ටන්

August 10, 2026
ඇමෙරිකා ජාතික සෞඛ්‍ය ආයතනය මගින් සිදුකරන ලද දීර්ඝකාලීන පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, බැඩ්මින්ටන් වැනි රැකට් (Racket) භාවිතා කරන ක්‍රීඩාවලට සම්බන්ධ වන ඕනෑම අයකුගේ ආයු කාලය ක්‍රියාශීලී නොවන අයට වඩා වැඩි බවය. 

 බැඩ්මින්ටන් ක්‍රීඩාව යනු හුදෙක් විනෝදාංශයක් පමණක් නොව, සිරුරේ සමබරතාවය සහ සම්බන්ධීකරණය එකවර වර්ධනය කරන ක්‍රීඩාවකි. මීට අමතරව, සාමාජික සබඳතා වර්ධනය කිරීමේ හැකියාව ද බැඩ්මින්ටන් ක්‍රීඩාව හරහා සිදුවෙයි. මානසික සෞඛ්‍යය වර්ධනය ද සිදුවෙයි. 

ක්‍රියාශීලීවීම හරහා හෘදය ශක්තිමත් වීම සහ හෘදයේ සෞඛ්‍යය සුරැකීම, මොළයේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීම පමණක් නොව, සමස්ත ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැංවීම සිදුවන බව වෛද්‍ය පිළිගැනීමය. 

පුද්ගලයකුගේ ආයු කාලය කෙරෙහි සාධක ගණනාවක් බලපෑව ද, බැඩ්මින්ටන් වැනි සක්‍රීය ක්‍රීඩාවක නිරත වීම දීර්ඝායුෂ ලැබීමට සෘජුවම උපකාරී වන බව වෛද්‍යවරුන්ගේ පොදු මතයයි.   

Live Science ඇසුරිනි
තව කියවන්න

ඉසබෙලා කුමරියට හමුදා පුහුණුව

August 10, 2026
ඩෙන්මාර්කයේ 19 හැවිරිදි ඉසබෙලා කුමරිය, මාස 11 ක පූර්ණ හමුදා පුහුණුවක් ආරම්භ කර ඇතැයි, ඩෙන්මාර්ක රජ පවුල පවසයි. ඩෙන්මාර්ක රජ පවුලෙන්, පූර්ණ හමුදා පුහුණුවකට එක්වූ පළමු කාන්තාව වන්නේ ඉසබෙලා කුමරිය වීම විශේෂත්වයකි. කුමරිය ස්ලැගල්ස් හි පිහිටි ඇන්ට්වෝර්ස්කොව් හමුදා කඳවුරට වාර්තා කළ අතර, මෙය ඩෙන්මාර්ක රාජකීය ඉතිහාසයේ සන්ධිස්ථානයකි. 

ඉසබෙලා කුමරිය, ඩෙන්මාර්කයේ, 10 වැනි ෆෙඩ්රික් රජුගේ සහ මේරි රැජිනගේ වැඩිමහල් දියණියයි. ඇය හමුදා පුහුණුව සඳහා මෙසේ එක් වූයේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු අවසන් කර සති කීපයකිනි. ඇන්ට්වෝර්ස්කොව් හමුදා කඳවුර වෙත පැමිණි කුමරිය, සිය හැඳුනුම්පත පෙන්වා, කඳවුරට ඇතුළු වන අයුරු දැක ගැනීමට මාධ්‍යවේදීහු පිරිසක් ද පැමිණ සිටියහ. 
ඉසබෙලා කුමරියගේ වැඩිමහල් සොයුරු, ඔටුන්න හිමි ක්‍රිස්ටියන් කුමරු ද මෙම හමුදා කඳවුරෙන්ම පුහුණුව ලබා දෙවන ලුතිනන්වරයකු ලෙස රාජකාරි කරමින් සිටී. ඩෙන්මාර්කයේ සාමාන්‍යයෙන් හමුදා සේවයේ නිරත වන ආධුනිකයන්ට මාසික වේතනයක් සහ දෛනික දීමනාවක් හිමි වුවද, ඉසබෙලා කුමරිය එම කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් ලබා නොගැනීමට තීරණය කර ඇතැයි ද පැවැසෙයි. 

ඩෙන්මාර්ක රාජකීය පවුල තහවුරු කර ඇත්තේ ඇය මෙම පුහුණු කාල සීමාව තුළ සිය මාපියන්ගේ මූල්‍ය ප්‍රතිපාදන මත යැපෙන බවය. දිනෙන් දින ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය සහ ආක්ටික් කලාපයේ පවතින ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගනිමින් ඩෙන්මාර්කය සිය හමුදා බලය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, 2024 වසරේ සිට කාන්තාවන් සඳහා ද හමුදා සේවය අනිවාර්ය කළ අතර, පුහුණු කාල සීමාව මාස 4 සිට මාස 11 දක්වා දීර්ඝ කර ඇත. මෙවර තරුණ තරුණියන් 1,600 ක් පමණ මෙම දීර්ඝ කරන ලද හමුදා පුහුණුව සඳහා එක්ව සිටින බව ද පැවැසෙයි. 

බ්‍රිතාන්‍ය රජ පවුල මෙන් නොවුණත් ලෝකයේ පැරණිතම සහ ජනප්‍රිය රජපවුලක් ලෙස ඩෙන්මාර්ක රජ පවුල හැඳින්විය හැක. ඩෙන්මාර්ක රාජකීයයන්, නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට ගැළපෙන පරිදි ඉතා සරල හා ජනතාවට සමීප පාලන රටාවක් පවත්වා ගෙන යයි. 10 වැනි ෆෙඩ්රික් ඩෙන්මාර්ක රජු බවට පත්වූයේ, වසර 52ක දීර්ඝ පාලන සමයකින් පසු 2024 වසරේ දී ඔහුගේ මව දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ අතහැර එය පුතුට බාර දීමෙනි.

BBC ඇසුරිනි
තව කියවන්න

Aug 5, 2026

මැතිවරණ භීතිකාව

August 05, 2026
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්යෑම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහ ජනතා නියෝජනයට බරපතල තර්ජනයක් වී තිබේ. බලය විමධ්‍යගත කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රාදේශීය මට්ටමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීමට පළාත් සභා පිහිටුවීම සිදු කර ඇත. 

මැතිවරණ දිගින් දිගටම ප්‍රමාද වෙද්දී, මෙම ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය ක්ෂය වී යන අතර, වගවීම ද දුර්වල වී නියෝජිත පාලනය කෙරෙහි ඇති ජනතා විශ්වාසය පළුදු වේ. පළාත් සභා මැතිවරණ කල් දැමීම දේශපාලන, නීතිමය සහ පරිපාලනමය ගැටලු නිර්මාණය කිරීමකි. මෙය අලුත් දෙයක් නොවෙයි. 

2017-2018 සිට, ඡන්ද විමසීමේ ක්‍රමවේදයට කරන ලද වෙනස්කම්, සීමා නීර්ණය කිරීමේ ගැටලු, ව්‍යවස්ථාපිත සංශෝධන සහ ඊට අදාළ පරිපාලනමය බාධා හේතුවෙන් මැතිවරණ දිගින් දිගටම කල් දැමිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පළාත් සභා කිහිපයක්ම දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන්ගෙන් තොරව පවත්වාගෙන ගිය අතර, ඒවායේ කටයුතු සඳහා තේරී පත්වුණු මන්ත්‍රීවරුන් වෙනුවට, ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් ඉටු කරනු ලැබීය. 

මෙලෙස දීර්ඝ කාලයක් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පළාත් පාලන තන්ත්‍රයක් නොමැති වීම, ප්‍රජාතන්ත්‍රවාදී බලය විමධ්‍යගත කිරීමට සහ පළාත් පාලනය සඳහා වන ජනතා සහභාගීත්වයට එල්ල වූ බාධාවක් ලෙස සිවිල් සංවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවේචනය කර ඇත. මෙම ගැටලුවේ වැදගත් කරුණ වන්නේ, මෙම ප්‍රමාදයේ වගකීම එකම දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට පමණක් පැවරිය නොහැකි වීමය. 

විවිධ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ බලයට පත් ආණ්ඩු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය, නීතිමය හෝ ප්‍රායෝගික බාධා හේතු ලෙස දක්වමින් පළාත් සභා මැතිවරණ කල් දැමීය. කෙසේ වෙතත්, මෙම කල්දැමීම පිටුපස දේශපාලන වාසි තකා ගත් තීරණ සහ මැතිවරණ පරාජයන් පිළිබඳ ඇති වූ බිය බලපෑ බවට චෝදනා එල්ල විය. උපහාසාත්මක කරුණ නම්, ආණ්ඩුවේ සිටියදී මැතිවරණ කල්දැමීමට සහාය දුන් හෝ ඊට එකඟ වූ පක්ෂ, විපක්ෂයට පැමිණි පසු වහාම මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටීමය. 

මෙයින් පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි ඇති ගෞරවයට වඩා, දේශපාලන වාසි තකා ගන්නා තීරණ සඳහා ප්‍රමුඛතාව හිමිවන බවය. මැතිවර පැවැත්වීමට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණ, නීතිමය සංශෝධන සහ පරිපාලනමය සූදානම අවශ්‍ය බව ආණ්ඩු විසින් තර්ක කරනු ලැබ ඇත. එවැනි කරුණුවල යම් සාධාරණත්වයක් තිබිය හැකි වුවද, මැතිවරණ දිගින් දිගට කල් දැමීම සාධාරණීකරණය කිරීමට ඒවා යොදාගත නොහැකි බව විවේචකයෝ තර්ක කරති. 

ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ, ජනතාව විසින් තම නියෝජිතයන්ට ලබා දී ඇති බලතල අලුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරන ප්‍රධාන යාන්ත්‍රණය වන්නේ මැතිවරණයයි. දීර්ඝ කාලීන ප්‍රමාදවීම් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල වීමේ, මහජන විශ්වාසය පළුදු වීමේ සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඇති ගෞරවය හීන වීමේ අවදානමක් පවතී. දේශපාලන වශයෙන් අවාසිදායක මොහොතක ඡන්දදායකයන්ට මුහුණ දීමට ඇති බිය දේශපාලන නායකයන් අතර නිතර දක්නට ලැබෙන තත්ත්වයකි. මැතිවරණ භීතිකාව ලෙස හැඳින්විය හැකි මෙම දේශපාලන නොසන්සුන්තාව ප්‍රසිද්ධියේ පිළිගන්නේ කලාතුරකින් වුව ද, ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ එය වඩාත් පැහැදිලිව දැකගත හැකිය. 

භීතිකාවක් යනු සාමාන්‍යයෙන් මඟහැරීමේ හැසිරීම්වලට මග පාදන දැඩි අකමැත්තය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති කාල සීමාවේ ඡන්දදායකයන්ට මුහුණ දීමට දේශපාලන බලධාරීන් දක්වන මැලිබව, එවැනි මඟහැරීමේ දේශපාලන ස්වරූපයක් ලෙස සාධාරණ ලෙස දැකිය හැකිය. ශ්‍රී ලංකාව අතීතයේදී ද මෙවැනිම ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුහුණ දුන්නේය. 

1998 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේදී, රජය පළාත් සභා මැතිවරණය මගහැරීමට උත්සාහ කරන බවට චෝදනා එල්ල විය. සබරගමුව, උතුරු මැද, මධ්‍යම, ඌව සහ බස්නාහිර යන පළාත් සභා කිහිපයක ධුර කාලය එම වසරේ අවසන් විය. 

මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් නාම යෝජනා භාරගෙන 1998 අගෝස්තු 28 වැනිදා ඡන්ද විමසීමේ දිනය ලෙස නියම කළේය. කෙසේ නමුත්, රජය හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් නියෝග මාලාවක් හඳුන්වා දුන් අතර, එහි ප්‍රතිඵලය වූයේ නියමිත මැතිවරණය අවලංගු වීමය. එදා රජයේ ක්‍රියාකලාපයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනු කෙරිණි. 1999 ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සහ මැතිවරණය කල් දැමීමේ නීත්‍යානුකූලභාවය පරීක්ෂා කළේය. 

අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා සහ විනිසුරුවරුන්ගේ එකඟතාව සහිතව, මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා මැතිවරණ ක්‍රියාවලිය නිසි ලෙස ආරක්ෂා කිරීමට අපොහොසත් වීම විවේචනයට ලක් කළේය. පළාත් සභා මැතිවරණ පනත මගින් සභාව විසිරුවා හැරීමෙන් පසු කෙටි කාලයක් ඇතුළත මැතිවරණය පැවැත්වීම තහවුරු කිරීමට අපේක්ෂා කළ බවත්, මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මැතිවරණය අවලංගු කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවත් එම තීන්දුව මගින් අවධාරණය කෙරිණි. 

 තැපැල් ඡන්ද කටයුතු අත්හිටුවීම නීති විරෝධී, අත්තනෝමතික සහ යහපත් චේතනාවෙන් සිදු නොකළ එකක් බව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා තවදුරටත් තීන්දු කළේය. නීතියට අනුව මැතිවරණ පැවැත්වීමට සහ අනවශ්‍ය බාධා කිරීම් හෝ ප්‍රමාදයන් වැළැක්වීම සඳහා 103 සහ 104 ව්‍යවස්ථාපිත වගන්ති යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට ස්වාධීනත්වය ලබා දී ඇති බව එහිදී අවධාරණය කෙරුණි.

හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් මතභේද පැවතියද, නව මැතිවරණ දිනයක් තීරණය කිරීමේ බලය මෙන්ම වගකීම ද කොමසාරිස්වරයා සතුව තිබුණි. වර්තමාන තත්ත්වය ද මෙවැනිම දේශපාලන අර්බුදයක් පිළිඹිඹු කරයි.

අවාසිදායක මොහොතක පවත්වන මැතිවරණයකින් පරාජයට පත්විය හැකි බවට ආණ්ඩු නිතරම බිය වෙයි. ජීවන පිරිවැය ඉහළ යෑම, මහජන අප්‍රසාදය, දූෂණ චෝදනා සහ ජනප්‍රියත්වය පිරිහීම යන කරුණු ඡන්දදායකයන්ට මුහුණ දීම පිළිබඳ නොසන්සුන්තාව වැඩි කිරීමට හේතු විය හැක. 

එසේ වුවත්, සැක සහිත ක්‍රමවේද හරහා මැතිවරණ කල් දැමීමට දරන උත්සාහයන් මගින් මහජන විශ්වාසය පළුදු වන අතර දීර්ඝ කාලීනව විශාල දේශපාලන බලපෑමක් ඇති කරන බව ඉතිහාසය පෙන්වා දෙයි. 

 දස රාජ ධර්මයට ඇතුළත් අවිරෝධ නම් බෞද්ධ මූලධර්මය මගින් ජනතා අභිලාෂයන්ට ගරු කිරීම සහ මහජන සුභසාධනයට බාධා වන ක්‍රියාවලින් වැළකී සිටීම අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාවගේ කැමැත්ත තීරණය කළ හැක්කේ නිදහස්, සාධාරණ සහ වේලාවට පවත්වන මැතිවරණ හරහා පමණි. එම නිසා මැතිවරණ මඟහැරීමට දරන උත්සාහයන් ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට පටහැණි වන අතර රජය සහ ජනතාව අතර පවතින සබඳතාව ද දුර්වල කරයි. 

 ශ්‍රී ලංකාව, ජාතික මැතිවරණ සම්බන්ධයෙන් ද සංවාදවලට මුහුණ දී තිබේ. 1982 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය මහා මැතිවරණයක් පවත්වනු වෙනුවට පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීය. 

රජයේ පැවති විශාල පාර්ලිමේන්තු බහුතරය රැක ගැනීමට සහ අලුතින් හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණයකට මුහුණ දීමේ අවිනිශ්චිතතාව මඟහරවා ගැනීමට මෙම පියවර ගත් බවට විවේචකයෝ තර්ක කළහ. 

ආචාර්ය චානක අමරතුංග සහ ආචාර්ය රජීව විජේසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය, එජාප ය සමග තිබූ සන්ධානයෙන් ඉවත් වූ අතර මෙම කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ තර්ජනයක් ලෙස හඳුන්වා දී ඇත. 1975 දී, සිරීමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය යටතේ පැවති සමගි පෙරමුණ රජය, පාර්ලිමේන්තුවේ පැවති සිය බහුතර බලය භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර දෙකකින් දීර්ඝ කර ගත්තේය. 

අවසානයේ 1977 දී මැතිවරණය පැවැත්වූ විට රජය ඓතිහාසික පරාජයකට මුහුණ දුන්නේය. මැතිවරණ කල් දැමීමෙන් තාවකාලික දේශපාලන සහනයක් ලැබිය හැකි වුවද, එය මහජන අප්‍රසාදය තවදුරටත් දැඩි කිරීමටත්, වෙනසක් සඳහා වන ඉල්ලුම වැඩි කිරීමටත් හේතු වන බව මෙම උදාහරණවලින් පැහැදිලි වේ. 

පාර්ලිමේන්තු මැතිවරණ මෙන් නොව, ජනමත විචාරණයක් හෝ විශේෂ පාර්ලිමේන්තු බහුතර බලයක් හරහා පළාත් සභා මැතිවරණ අනිශ්චිත කාලයකට කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය යාන්ත්‍රණයක් නොමැත. ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකමක් ලෙස සර්වජන ඡන්ද බලයේ ඇති වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණය ද පිළිගෙන ඇත. 

එබැවින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම දීර්ඝ ලෙස ප්‍රමාද කිරීම, ව්‍යවස්ථාපිත පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබඳ බරපතල ගැටලු මතුවීමට හේතු වෙයි. පළාත් සභා මැතිවරණයකින් සිදුවන පරාජයක් ඉදිරි ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බලපෑමක් ඇති කළ හැකි නමුත්, මැතිවරණ මඟහැරීම මගින් මහජන අප්‍රසාදය ඉවත් වන්නේ නැත. ඒ වෙනුවට එයින් සිදුවන්නේ විපක්ෂයේ බලවේග ශක්තිමත් වීම සහ රජය කෙරෙහි ඇති අවිශ්වාසය වර්ධනය වීමය. 

මහජන කැමැත්තට වඩා මඟහැරීමේ පිළිවෙතින් පවත්වාගෙන යන බලය ස්ථාවර හෝ තිරසාර නොවන බව දේශපාලන නායකයින් වටහා ගත යුතුය. මැතිවරණ භීතිකාවට ඇති වඩාත්ම සාර්ථක විසඳුම වන්නේ ඡන්දදායකයන්ට මුහුණ දීමය. නියමිත වේලාවට පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ජන වරමට ගරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම මහජන විශ්වාසය නැවත ඇති කිරීමටත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කාලීන පැවැත්ම තහවුරු කිරීමටත් අත්‍යවශ්‍ය වේ. 

 මෙම චක්‍රය බිඳ දැමීම සඳහා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ වේවා සියලු දේශපාලන පක්ෂවලින් සැබෑ කැපවීමක් අවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය නැවත ලබා ගැනීමටත්, පළාත් පාලනය දේශපාලන වාසිවලට වඩා ජනතා කැමැත්ත පිළිඹිඹු කරන බව තහවුරු කිරීමටත් ව්‍යවස්ථාපිත මැතිවරණ කාලසටහන්වලට ගරු කිරීම, පාරදෘශ්‍ය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ කඩිනමින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍යය. 

කේ.කේ.එස්. පෙරේරා 
ඩේලි මිරර් පුවත්පතේ පළ වුණු
 PC Elections Phobia? Only Cure, Face It ලිපිය ඇසුරිනි
තව කියවන්න

Aug 4, 2026

ඩයිනසෝරයන්ට බයේ වෙනස් වුණු ජාන

August 04, 2026
ඩයිනසෝරයන් ජීවත් වූයේ, වසර මිලියන ගණනක් ඈත අතීතයේය. අද දකින්න ඇත්තේ, උන්ගේ පොසිල අස්ථි කොටස් පමණි. ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, මනුෂ්‍ය අප සිටියේ නැහැ. ඒත් අදත්, ඩයිනසෝරයන් අපට හොල්මන් කරන බව ඔබ දන්නවාද?  එදා ඩයිනසෝරයන් ජිවත් වෙද්දී, මනුෂ්‍ය අපේ ආදීතමයන් වූයේ මීයන් වැනි ක්ෂීරපායීන්. නැතිනම් කිරි බී වැඩෙන සතුන්. ඩයිනසෝරයන්ට දැක්වූ බිය, ජානමය වශයෙන් මේ පුංචි කුලෑටි ක්ෂීරපායීන්ට බලපෑම් කළ අතර, එය අදටත්, වයස මිලියන ගණනකට පසුවත් අප මනුෂ්‍යයන් ඇතුළු සෙසු ක්ෂීරපායීන්ට උරුම වී තිබේ. මේ සටහන ඒ ගැනය. 

 මීට වසර මිලියන 252 කට පෙර පෘථිවියේ පැවැතියේ මොසෝසොයික යුගයයි. මෙය ඩයිනසෝරයන් මිහිමත රජ කළ යුගයයි. ත්‍රියාසික, ජුරාසික් සහ ක්‍රිටෛයිසීය ආදී වශයෙන් කාලපරිච්ඡේද තුනකට මෙම යුගය වෙන් කෙරේ. ගොඩබිම, ජලයේ සහ ගුවනේ ආධිපත්‍ය පතුරුවමින්, විවිධාකාරයේ ලොකු කුඩා ඩයිනසෝර විශේෂ දහස් ගණනක්, වසර මිලියන 180 ක් පුරා පෘථිවියේ ආධිපත්‍ය පතුරුවන්න විය. 

ඒත්, මීට වසර මිලියන 66 කට පෙර, පෘථිවිය මතට කඩාවැටුණු විශාල ග්‍රහකයක් ඒ සියල්ල වෙනස් කළේය. ග්‍රහක ඝට්ටනයෙන් පමණක් නොව, ඉන්පසු සිදුවුණු ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් ඩයිනසෝරයන්ගේ අභාවය සිදුවිය. ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, (ත්‍රියාසික යුගයේ) කුඩා, නිශාචර සතුන් ලෙස මුල්ම ක්ෂීරපායීන්ගේ ආගමනය සිදුවිය. 

එම කාලයේ, ඩයිනසෝරයන්ගේ බලපෑම නිසා උන් ප්‍රමාණයෙන් කුඩාවට සහ රහසිගතව ජීවත් වූ නමුත්, සිරුර උණුසුම්ව පවත්වා ගැනීමේ හැකියාව සහ පැටවුන්ට කිරි දීමේ සුවිශේෂී ජීව විද්‍යාත්මක ලක්ෂණ උන් සතු විය. ඩයිනසෝරයන්ගේ වඳ වී යෑමත් සමග සීනෝසොයික යුගය ඇරැඹිණි. ඩයිනසෝරයන්ට බයේ සැඟවී ජීවිත ගත කළ ක්ෂීරපායීන්ට නිදහස හිමිවිය. උන් සෙමින් සෙමින් පෘථිවිය පුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. 

ඒ අනුව, ක්ෂීරපායීන්ගේ නැගී සිටීම සිදුවිය. මානව අපේ පරිණාමයට එය හේතු විය. වසර මිලියන 6 - 7 කට පමණ පෙර අප්‍රිකා මහද්වීපයෙන් මානව පරම්පරාවේ ආරම්භකයෝ බිහිවූහ. ඔස්ට්‍රලෝපිතිකස් වැනි ආදී පූර්වජයන් ඍජුව දෙපයින් ගමන් කිරීමට හුරු වීම මානව විකාශනයේ තීරණාත්මක සංධිස්ථානයයි. වසර මිලියන 2.8 කට පමණ පෙර ගල් ආයුධ භාවිත කළ හැකි හෝමෝ හැබිලස් සහ පසුව ගිනි භාවිතයට මෙන්ම දුර ගමන් යෑමට සමත් වූ හෝමෝ ඉරෙක්ටස් පහළ විය. 

හෝමෝ ඉරෙක්ටස් අප්‍රිකාවෙන් පිටතට (ආසියාවට සහ යුරෝපයට) ව්‍යාප්ත වූ මුල්ම මානවයාය. අවසානයේ, මීට වසර 300,000 කට පමණ පෙර අප්‍රිකාවෙන්, නූතන මානවයා වන හොමෝ සේපියන් (බුද්ධිමත් මිනිසා) පහළ වූ අතර, උසස් මොළයේ ධාරිතාව සහ සංකීර්ණ සන්නිවේදන හැකියාවන් නිසා සමස්ත පෘථිවියේම ප්‍රමුඛතම ජීවියා බවට පත් විය.

ඩයිනෝසෝරයන් මිහිමත රජ කරද්දී, උන්ට ගොදුරු නොවී, බියෙන් සැඟවී සිටි ක්ෂීරපායීන්, උන්ගේ ජීවත් වීමට මුහුණ දුන් එම අභියෝග හේතුවෙන්, ජානමය වශයෙන් පෙරැළියකට ලක් විය. ඩයිනසෝරයන්ගේ බලපෑම නිසා මේ මුල්ම ක්ෂීරපායීන්ගේ ජානමය සැකසුම මුළුමනින්ම වෙනස් විය. 

එම කුඩා ක්ෂීරපායින් මුහුණ දුන් අනතුරු, පාරිසරික ගැටලු, අභියෝග හේතුවෙන්, පරම්පරා ගණනාවක් පුරා උන්ගේ ජානමය සැකැස්ම සදහටම වෙනස් වූයේ ආයුෂ කෙටි කරමිණි. ක්ෂීරපායී අප මහලු වී, ක්ෂය වී, මරණයට පත්වීම සහ ක්ෂීරපායීන් නොවන ජීවීන් කාලයත් සමග මරණයට පත් වුවත්, උන්ගේ සිරුරු අප ක්ෂීරපායීන්ගේ මෙන් සීමාවලට කොටු නොවීම, ඩයිනසෝරයන්ට බියේ සිදුවුණු ජානමය බලපෑමේ ප්‍රතිඵලයයි. මේ සම්බන්ධ පරිකල්පනය විද්‍යාත්මකව හඳුන්වන්නේ, Longevity Bottleneck Hypothesis හෙවත් ‘දීර්ඝායු බාධක පරිකල්පනය’ යනුවෙනි. 

එක්සත් රාජධානියේ, බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පරමාණුක ජීව විද්‍යාව සහ පරිණාමය පිළිබඳ මහාචාර්ය පෙඩ්රෝ ද මාගල්හේස් විසින් ඉදිරිපත් කරන ලද මෙම පරිකල්පනයට අනුව, වසර මිලියන 100 කට අධික කාලයක් පුරා ඩයිනසෝරයන්ට බයේ සිටි නිසා ක්ෂීරපායින්ගේ දීර්ඝායුෂ ලැබීමට හේතුවන වැදගත් ජානමය ලක්ෂණ රැසක් පරිණාමීය ලෙස අපට අහිමි වී ඇත. 

අද මනුෂ්‍ය අපේත් සෙසු ක්ෂීරපායීන්ගේත් ආයු කාලය සීමා වී ඇත්තේ ඒ නිසාය. ඩයිනෝසෝරයන් රජකම් කළ කාලයේ, කුඩා ක්ෂීරපායින් සතකුට වඩා වැදගත් වූයේ වසර ගණනාවක් ජීවත් වීම නොවෙයි; ඉක්මනින් ලිංගිකව පරිණත වී, පැටවුන් බිහිකර තම වර්ගයා බෝ කර නැතිනම් මීළඟ පරම්පරාව නිර්මාණය කර මියයෑමය. 

ඊට හේතුව, ඕනෑම මොහොතක ඒ පුංචි සතා ඩයිනෝසෝරයකුට ගොදුරු වීමේ අවදානමක් තිබූ බැවිනි. එහෙයින් උන්ගේ ශරීරයේ සෛල අලුත්වැඩියා කරන, පාරජම්බුල කිරණවලින් සිදුවන හානි වළක්වන සහ අහිමි වන ශරීර කොටස් නැවත වර්ධනය කරන සංකීර්ණ ජානමය පද්ධති පවත්වාගෙන යෑම පරිණාමීය ලෙස අවාසිදායක විය. 

එම ජාන නඩත්තු කිරීමට ශක්තිය වැය කරනවාට වඩා, ඉක්මනින් බෝවීම සඳහා ශක්තිය යොදා ගත් සත්තු පමණක් උන්ගේ පැවැත්ම තහවුරු කර ගත් බව මහාචාර්ය පෙඩ්රෝ ද මාගල්හේස් පැහැදිලි කර ඇත. මෙම ක්‍රියාවලියේදී ක්ෂීරපායී ජාන පදධතිය යම් තාක්ෂණික බාධකයකට ලක්විය. දීර්ඝායුෂ ලබාදෙන ජාන රැසක් පරිණාමයේදී අතහැර දැමුණු අතර, අදටත් ඒවා අප සහ සෙසු ක්ෂීරපායීන් තුළ නොමැත. 

 උරගයන් හෝ උභයජීවීන් සමග අප ක්ෂීරපායීන් සන්සන්දනය කරද්දී, පෙනී යන්නේ, කිඹුලන්, ඉබ්බන් වැනි ඇතැම් පෘෂ්ඨවංශීන් වයස්ගත වන්නේ ඉතා මන්දගාමීව බවය. ඇතැම් ඉබ්බන් සහ සැලමැන්දරයන් විශේෂ වසර සිය ගණනක් කිසිදු වයස්ගත වීමේ ලක්ෂණයක් පෙන්වන්නේ නැත. ඔවුන්ගේ දත් හැලුණු විට නැවත වර්ධනය වීමක් සිදුවෙයි. 

ක්ෂීරපායී අපට ඇත්තේ කිරි දත් සහ ස්ථිර දත් පමණි. ස්ථිර දත් අහිමි වුවහොත් එය සදහටම සිදුවන අහිමිවීමකි. සැලමැන්දරයන් වැනි සතුන්ගේ ශරීරයේ කොටස් කපා දැමූ විට අලුතින් වර්ධනය වේ. (සෛල වර්ධනයක් සිදුවෙයි.) එමෙන්ම ඔවුන් මුළු ජීවිත කාලය පුරාම සෛලීය මට්ටමින් ඉතා ඉහළ අලුත්වැඩියා කිරීමේ හැකියාවක් පෙන්වයි. පිළිකා වර්ධනය වීමක් නැත. මනුෂ්‍ය අප සහ සෙසු ක්ෂීරපායීන්ට මෙම හැකියාවන් කිසිවක් නැත. 

උදාහරණයක් ලෙස, උරගයන්ට සහ මත්ස්‍යයන්ට පාරජම්බුල කිරණ නිසා සිදුවන ඩී.එන්.ඒ. හානි යථා තත්ත්වයට පත් කළ හැකි ෆෝටෝලයේස් නම් එන්සයිමය නිපදවන ජාන පිහිටා තිබුණ ද, වැදෑමහ සහිත අප ක්ෂීරපායින්ට එම ජාන අහිමි වී ඇත. මේ සියල්ල අප (ක්ෂීරපායීන්) ඩයිනසෝරයන්ට දැක්වූ බිය නිසා සිදුවුණු දේවල්ය. 

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි
තව කියවන්න

Classified_Ad