
පාකිස්තානයේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිරියේ දී ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවත්, ඊට අදාළව පාකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් ගමන් පැකේජ පිළිබඳව නොබෝ දිනකින් නිවේදනය කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) මුහම්මඩ් සාඩ් ඛට්ටාක් මහතා පසුගිය දා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හමුවූ අතර එහිදී විදේශ අමාත්‍යවරයා මේ බව කීය.
මනා ලෙස සංරක්ෂණය කොට ඇති බෞද්ධ උරුම ස්ථාන නැරඹීම සඳහා පාකිස්තානයේ සංචාර සදහා පැමිණෙන ලෙස පාකිස්ථාන මහ කොමසාරිස්වරයා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, මාධ්‍යවේදීන්ට සහ විද්වතුන්ට මෙහිදී ආරාධනා කළේය.
මීට අමතරව විදේශ අමාත්‍යවරයා සහ පකිස්ථාන මහකොමසාරිස් අතර පැවති සාකච්ඡාවේදී පාකිස්තානයෙන් ප්‍රදානය කරන ලද ජංගම පුස්තකාල ස්ථාපිත කිරීම සහ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සඳහා අතිරේක වෛද්‍ය විද්‍යා ශිෂ්‍යත්ව සියයක් ලබා දීම ඇතුළුව, පාකිස්තාන අග්‍රාමාත්‍ය සංචාරය අතරතුර දී ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ විය.
මේ මස 23 වැනි දින කොළඹ දී පවත්වනු ලබන පාකිස්තාන ජාතික දින සැමරුමට සහභාගී වන ලෙස ද පාකිස්තාන මහ කොමසාරිස්වරයා මෙහිදී විදේශ අමාත්‍යවරයාට ඇරැයුම් කළේය.