ජාතික රණවිරු සැමරුම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 19, 2021

ජාතික රණවිරු සැමරුම

“ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ. 

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 12ක් සපිරේ. එහිදී යුද, ගුවන්, නාවික, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූහ. 

ආබාධිත වූ රණවිරුවෝ විසිහත්දහසකට අධිකය. සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ඔවුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළ කරමින් රණවිරු සැමරුම අභිමානවත්ව සිදු කෙරිණි. 
ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස, මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ. 

ශ්‍රී ලංකා රණවිරු අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබිණ.  

යුද හමුදා ගෞරවාචාර මැද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් පුෂ්පෝපහාර දැක්වීය. 

 ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ රණවිරු ස්මාරකය පාමුල මල්කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ. 

ඡායාරූප : ජිවන් චන්දිමාල්, සාගර ලක්මාල් ද මෙල්, 
උපුල් නිලංග, සුමින්ද කීර්ති - ජනාධිපති මාධ්‍ය අංශය

Classified_Ad

Classified_Ad_News_Bottom