එන්නත් ගත්තත් දිගටම මාස්ක් දාන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Jul 28, 2021

එන්නත් ගත්තත් දිගටම මාස්ක් දාන්න

අනුමත කරන ලද එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබාගත්තත්, මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය දිගටම පවත්වා ගැනීම කළ යුතු යැයි ඇමෙරිකාවේ වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතනය එරට වැසියන්ට උපදෙස් දී ඇත.

'ඔබ එන්නත් නියමිත පරිදි ලබා ගෙන තිබුණත්, ඔබ ජීවත් වන ප්‍රාන්තයේ හෝ නගරයේ හෝ කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන්නේ නම්, නිවසින් පිටතට යෑමේදී අනිවාර්යයෙන් මුහුණු ආවරණ පලඳින්න. එයින් ඔබේ ජීවිතය ආරක්ෂා වේවි. ඔබේ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා වේවි' යැයි වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

මේ වනවිට ඇමෙරිකාවේ අවුරුදු 18 වැඩි, සියයට 70 කට 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන්ය. ඇමෙරිකානුවන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' යන එන්නත දෙක පමණි. 

'ෆයිසර්' යනු ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ නිපදවූ එන්නත වන අතර, 'මොඩර්නා' සියයට සියයක් ඇමෙරිකන් නිෂ්පාදනයකි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ලබා ගෙන ඇතතේ 'ෆයිසර්' එන්නතය. 

එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවුවත්, තවමත් 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් ලොව අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. වේගවත් එන්නත්කරණය හේතුවෙන් වයිරස ව්‍යාප්තියේ පාලනයක් පසුගිය මාස කීපයේ දැකිය හැකි විය. ඒ අනුව, මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණි. එන්නත් ලබා ගැනීමෙන් පසු මුහුණු ආවරණ අවශ්‍ය නැතැයි ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ ඇමෙරිකානුවන්ට උපදෙස් දී තිබුණි. 

මේ වනවිට ඇමෙරිකාවේ ආසාදිතයන් සහ මරණ යළිත් වරක් වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඒ ඩෙල්ටා විකෘති ප්‍රභේදය හේතුවෙනි. 'එන්නත් ගත්තත් නැතත් මුහුණු ආවරණ පැලඳ නිවසින් පිටතට යන්න. සමාජ දුරස්ථභාවය රැක ගන්න කටයුතු කරන්න. ඩෙල්ටා වයිරස විකෘතියෙන් ආරක්ෂා වීමට නම් ඔබ සැම එසේ කළ යුතුයි' යැයි ඇමෙරිකාවේ වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතනයේ ප්‍රධානී රොචෙල් වොලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

෴ උපුටා ගැනීම - AFP

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad