මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 12, 2026

UNECA පළමු කාන්තා නියෝජිතවරිය

September 12, 2026
එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු ආර්ථික කොමිසමේ (UNECA) ශ්‍රී ලංකාවේ පළමු කාන්තා නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්වුණු නිර්මලා පරණවිතාන මහත්මිය, එම සංවිධානයේ විධායක ලේකම් ක්ලේවර් ගැටෙ ට සිය අක්තපත්‍ර නිල වශයෙන් පිළිගැන්වූවාය. 

ඉතියෝපියාවේ අඩිස් අබාබානුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ විදේශ සේවයේ කාන්තා නායකත්වයේ සන්ධිස්ථානයක් ලෙසත්, අප්‍රිකානු රටවල් සමඟ ප්‍රායෝගික සහ අන්තර්ගත හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට ගත් වැදගත් පියවරක් ලෙසත් සැලකෙයි. 

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව තානාපතිවරිය සහ විධායක ලේකම්වරයා අතර සහයෝගීතාව, ආයෝජන, තාක්ෂණ හුවමාරුව, පෞද්ගලික අංශයේ දායකත්වය සහ දැනුම හුවමාරුව ශක්තිමත් කිරීම පිළිබඳ පුළුල් සාකච්ඡා පවත්වන ලදී. අප්‍රිකානු හවුල්කරුවන් සමඟ විවිධ මුලපිරීම් ගණනාවක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
තව කියවන්න

Sep 11, 2026

මුත්‍ර නිසා ග්ලැසියරයක් දියවෙලා

September 11, 2026
නේපාලයේ සහ ටිබෙටයේ, පසුගිය දා බිහිසුණු ජල ගැලීමක් හටගත්තේ හිමාල අඩවියේ ග්ලැසියර විලක් කැඩි යෑමෙනි. ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද ද ඇතුළු, ලොව උසින් වැඩිම කඳු බොහොමයක් පිහිටි හිමාල අඩවියේ ග්ලැසියර තට්ටු සහ ග්ලැසියර විල් කැඩී යෑම, දියවීම වේගයත් වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් නිසා යැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ කියන්න සූදානම් වන්නේ ද ග්ලැසියර් දියවීමක් ගැනය. 

මෙය ග්ලැසියර දියවීමට මිනිස් ක්‍රියාකාරකම් සෘජුවම හේතුවන අවස්ථාවකි. සෑම වසරකම, දහස් ගණනක් කඳු නගින සංචාරකයෝ හිමාල අඩවියට පැමිණෙති. ඒ එවරස්ට් තරණය කිරීමටය. එසේ පැමිණෙන සංචාරකයන්, එවරස්ට් තරණය ආරම්භ කරන්නේ, අඩි 17,598 ක් උසින් පිහිටි, කුම්බු (Khumbu) නමැති ග්ලැසියරය මත ඉදිවුණු ප්‍රධාන එවරස්ට් කඳවුරේ (Base Camp) සිටය. 

නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, ජීවිතය පවා පරදුවට තබා එවරස්ට් තරණයට පැමිණෙන සංචාරකයන්, නොදැනුවත්වම මෙම පෞරාණික ග්ලැසියරය විනාශ කරමින් සිටින බවය. ඒ, ඔවුන් පිට කරන මුත්‍ර නිසාය. 

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ නේපාලයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඛීම් ලාල් ගෞතම් ප්‍රමුඛ කණ්ඩායමය. 2023 වසරේ වසන්තයේ, දින 50 ක කාලයක් කඳවුරේ ලැගුම් ගත් 2,127 කට අධික කඳුනගින්නන් පාදක කර ගනිමින්, ගෞතම් සහ කණ්ඩායම මෙම පර්යේෂණය සිදුකර ඇත. 

පර්යේෂණයට අනුව, කඳවුරේ ලැගුම් ගත් එක් අයකු දිනකට සාමාන්‍යයෙන් මුත්‍ර ලීටර් 3.181 ක් බැහැර කර ඇති අතර, දින 50 ක කාලය තුළ ඒ අය බැහැර කළ මුළු මුත්‍ර ප්‍රමාණය ලීටර් 3,38,299 කට වැඩි යැයි පැවැසෙයි. ඒ සියල්ල බැහැර කර ඇත්තේ කඳවුර අයට කුම්බු ග්ලැසියරයටය. 

ඊට අමතරව, ඔවුන් කෑම පිසීම සදහා ගෑස් සිලින්ඩර විශාල ප්‍රමාණයක් භාවිතයට ගෙන ඇත. භූමිතෙල් සහ ප්‍රෙටල් ද දහනය කිරීම සිදු කර ඇත.

සෙල්සියස් අංශක 0 ට වඩා අඩු උෂ්ණත්වයක පවතින ග්ලැසියරයේ හිම මතට, සෙල්සියස් අංශක 37 ක මිනිස් සිරුරෙන් බැහැර වන උණුසුම් මුත්‍ර මහ විශාල ප්‍රමාණයක් පතිත වීම, හිම දියවීම වේගවත් කිරීමකි. 

කඳවුරේ මළපහ සඳහා සෑම අයකුටම විශේෂ නිල් පැහැති ප්ලාස්ටික් බාල්දි ලබා දීමක් කරයි. එසේ වුවත් මුත්‍ර බැහැර කිරීම සඳහා එවැනි ක්‍රමයක් නැත. පර්යේෂණ කණ්ඩායම ගණනය කළ ආකාරයට, 2023 වසරේ වසන්තයේ පමණක්, කුම්බු ග්ලැසියරයේ හිම ටොන් 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දිය වී ඇත. චන්ද්‍රිකා රූප සටහන්, භූ විද්‍යාත්මක දත්ත ඇසුරින් මේ බව තහවුරු කරගත් බව ගෞතම් පවසයි. 

2023 වසරට වඩා අද 2026 වනවිට එවරස්ට් තරණයට පැමිණෙන සහ කුම්බු ග්ලැසියරයේ ප්‍රධාන එවරස්ට් කඳවුරේ ලැගුම් ගන්නා සංචාරකයන් ගණව ඉහළ ගොස් ඇත. ඉදිරියට එය තව තවත් ඉහළ යනු ඇත. මුත්‍ර බැහැර කිරීම ද වැඩි වී ඇත. ඒ සමගම, ග්ලැසියරයේ දියවීම ද වේගවත් වෙමින් පවතී. මෙය එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩක් බව ගෞතම් පැහැදිලි කර ඇත. 

ලුසිත ජයමාන්න 
Daily Mail ඇසුරිනි
තව කියවන්න

Toxic අසාර්ථකයි

September 11, 2026
යෂ්ගේ රංගනයෙන් හැඩවුණු, ගීතු මෝහන්ඩාස් අධ්‍යක්ෂණය කළ ටොක්සික් (Toxic) චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වාර්තාගත වැඩිම අලාභය ලැබූ සිනමා නිර්මාණය බවට පත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මීට පෙර, මෙලෙස වැඩිම අලාභය ලැබූ සිනමා නිර්මාණය බවට පත්වූයේ ප්‍රභාස් ප්‍රධාන චරිතය නිරූපණය කළ 'ආදිපුරුෂ්' (Adipurush) ය. 

අගෝස්තු මස 26 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා රූගත කිරීම් ප්‍රමාද වීම් සහ යළි රූගත කිරීම් (reshoots) හේතුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 500ත් 800ත් අතර අධික පිරිවැයක් දරා තිබේ. 

 අපේක්ෂිත මට්ටම කරා ළඟා වීමට අපොහොසත් වීම හේතුවෙන් වර්තමානය වන විට ලොව පුරා සමස්ත ආදායම රුපියල් කෝටි 337ක් වැනි සීමාවක සිරවී තිබේ. සිනමා වෙළඳ විශ්ලේෂකයන්ගේ ගණනය කිරීම්වලට අනුව, මෙම චිත්‍රපටයේ සමස්ත පාඩුව ඉදිරියේදී ඉන්දියානු රුපියල් කෝටි 300ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. 

චිත්‍රපටය ආරම්භයේදී යම් ප්‍රබල ආදායමක් වාර්තා කළ ද, ලැබුණු දුර්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ එහි ආදායම් මාර්ගය සීඝ්‍රයෙන් පහත වැටුණි. අපේක්ෂිත මිලකට ඩිජිටල් විකාශන අයිතිය (Digital Rights) අලෙවි කරගැනීමට නොහැකි වීම ද මෙම දැවැන්ත මූල්‍ය අලාභයට ප්‍රබල ලෙස බලපෑ බව පැවැසෙයි. 

විශේෂයෙන්ම චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපත සඳහා මුළු ඉන්දියාවෙන්ම අලෙවි වී ඇත්තේ ප්‍රවේශ පත්‍ර 450ක් පමණක් වන අතර, එයින් ලැබී ඇත්තේ රුපියල් ලක්ෂයකට ආසන්න ඉතා සුළු ආදායමකි. 

මෑත කාලීනව ඉන්දීය සිනමාව තුළ විශාලතම පාඩු ලැබූ ප්‍රධාන චිත්‍රපට ලැයිස්තුව පහත පරිදි දැක්වේ: 

• Toxic (2026) – ඉන්දියානු රුපියල් කෝටි 300 
• Adipurush (2023) – ඉන්දියානු රුපියල් කෝටි 200 – 225 
• Indian 2 (2024) – ඉන්දියානු රුපියල් කෝටි 170 
• War 2 (2025) – ඉන්දියානු රුපියල් කෝටි 150 
• Kanguva (2024) – ඉන්දියානු රුපියල් කෝටි 135 
•Radhe Shyam (2022) – ඉන්දියානු රුපියල් කෝටි 125 
• Game Changer (2025) – ඉන්දියානු රුපියල් කෝටි 120
තව කියවන්න

Sep 7, 2026

බෙසෝස්ගේ පැරණි බිරිඳ දානපතිනියක්

September 07, 2026
ලෝ ප්‍රකට ‘ඇමසන්’ සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගේ හිටපු බිරිඳ මැකෙන්සි ස්කොට් ලොව අංක එකේ දානපතිනියක යැයි විදෙස් මාධ්‍ය පවසයි. 56 හැවිරිදි ඇය ලොව ධනවත්ම කාන්තාවන් අතරේ කැපී පෙනෙන තැනැත්තියකි. 

2019 වසරේ දී බෙසොස්ගෙන් දික්කසාද වූ මැකෙන්සි , ‘යීල්ඩ් ගිවිං’ නමැති පුණ්‍යායතය ආරම්භ කර ඇත. ඉගෙනීමට දක්ෂ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබා දීම පවා මෙම පුණ්‍යායතනය මගින් සිදුවෙයි. 

විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ, මැකෙන්සි, ‘යීල්ඩ් ගිවිං’ පුණ්‍යායතනය හරහා ඇමෙරිකන් ඩොලර් බිලියන ගණන් පරිත්‍යාග කරන බව පැවැසෙයි. 

ඇමෙරිකාවේ ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සගරාවට අනුව, ඉකුත් 2025 වසරේ පමණක් මැකෙන්සි ස්කොට්, ‘යීල්ඩ් ගිවිං’ හරහා පරිත්‍යාග කළ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 26.4 ඉක්මවයි. 

මැකෙන්සි ස්කොට් කතුවරියක ද වෙයි. ඇය වසර 25ක් ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ වී සිටියාය. 2019 වසරේ ඇය, බෙසෝස්ගෙන් දික්කසාද වෙද්දී, ‘ඇමසන්’ සමාගමේ සියයට 4 ක කොටස් ද හිමිවිය.

CNN
තව කියවන්න

හඳ අයිති අපට - ට්‍රම්ප්

September 07, 2026
සඳ අයිති ඇමෙරිකාවට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිනි.

‘සඳ අයිති අපට’ (ඇමෙරිකාවට) යැයි පවසමින්, ඒ.අයි. තාක්ෂණය භාවිතයට යොදා ගත් සඳේ සහ පෘථිවියේ රූපයක් ද ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇත.

 ඇමෙරිකන් ධජය ද එහි දකින්න ලැබේ. සඳ හෙවත් චන්ද්‍රයා යනු පෘථිවියේ එකම උප ග්‍රහයාය. ස්වභාවික චන්ද්‍රිකාවක් ලෙස ද සඳ හැඳින්වෙයි. සඳ ගවේෂණය සහ සඳට ගගනගාමීන් යැවීමේ තරගය පැවැතියේ ඇමෙරිකාව සහ එවකට පැවැති සෝවියට් දේශය අතරේය. ඒ නිරවි යුද සමයේදීය. 

 1969 ජූලි 20 වැනිදා, නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ ඇමෙරිකන් ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සඳ මතට පය තැබූහ. අද වනවිට චීනය, ඉන්දියාව සහ ජපානය ද සඳ ගවේෂණයට යොමු වී සිටී. මිනිසුන් රහිත ගවේෂණ යානා සාර්ථකව සඳට යවා ඇත.

ඇමෙරිකාව් නාසා ආයතනය ද යළිත් වරක් සඳ තරයට යොමු වී සිටී. ඒ, ‘ආටිමිස්’ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් යටතේය. 2030 න් පසුව ‘ආටිමිස්’ මෙහෙයුම් යටතේ පිරිමියකු පමණක් නොව, ගැහැනියක ද සඳට යැවීමට ‘නාසා’ ආයතනය සැලැසුම් කර ඇත. 

මේ සියල්ල සැලසුම් කෙරුණේ ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය. සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ‘නාසා’ සූදානම් වෙයි. මේ අතර චීනය ද සඳ ගවේෂණයට පමණක් නොව, සඳ මත ජනාවාස පිහිටුවීමට පිඹුරුපත් සකස් කරමින් සිටී.
තව කියවන්න

සිතියම්කරණ යටත්විජිතවාදය

September 07, 2026
සියවස් පහකට ආසන්න කාලයක් තිස්සේ අප පෘථිවියේ පිහිටීම සහ භූගෝලීය ස්වරූපය අවබෝධ කර ගැනීමට භාවිත කරන සාම්ප්‍රදායික ලෝක සිතියම, මේ වනවිට ඓතිහාසික දේශපාලනික පරිවර්තනයකට ලක් වී හමාරය. ඒ, පසුගිය සැප්තැම්බර් 4 වැනිදා, මෙතෙක් භාවිතයට ගත් ලෝක සිතියම වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කිරීමත් සමගය. ලෝක සිතියම වෙනස් කිරීමේ මෙම පෙරළිය, එක රැයකින් සිදුවූවක් නොවෙයි වසර ගණනාවක සිදුවීම් මාලාවක ප්‍රතිඵලයකි. 

 ත්‍රිමාන ගෝලාකාර පෘථිවි පෘෂ්ඨය, ද්විමාන පැතලි තලයක් මත සිතුවම් කිරීම පහසු කටයුත්තක් නොවෙයි. අප එය මුලින්ම වටහා ගත යුතුය. එසේ කිරීමේ දී යම් තාක්ෂණික හෝ භූගෝලීය විකෘතිතාවක් සිදු වීම ගණිතමය වශයෙන් වැළැක්විය නොහැකි නියතියකි. 

1569 දී, එවකට ප්‍රකට ෆ්ලැන්ඩර්ස් ජාතික (ෆ්ලැන්ඩර්ස් යනු වර්තමානයේ බෙල්ජියමය. ෆ්ලැන්ඩර්ස් යන නම භාවිතයට ගැනෙද්දී ෆ්ලැන්ඩර්ස් වැසියන් හැඳින්වූයේ ෆ්ලෙමිෂ් යනුවෙනි.) සිතියම් නිර්මාණකරු ජෙරාඩස් මර්කේටර්, ‘මර්කේටර් ප්‍රක්ෂේපණය’ නමැති ලෝක සිතියම ලෝකයට ඉදිරිපත් කළේ එදා සාගරයේ නාවික කටයුතුවල යෙදී සිටි යුරෝපීය ගවේෂකයන්ගේ ගමන් මාර්ග සරල කර ගැනීමේ අරමුණින්ය. සිතියම මත අඳින ලද සෘජු රේඛා ඔස්සේ නෞකාවක මාලිමා ඡේදනය තබා ගනිමින් යාත්‍රා කිරීමට හැකිවීම මෙම සිතියමේ ප්‍රධානතම වාසිය විය. 

පසුකාලීනව, මෙම සිතියම, බටහිර ලෝක බලවතුන් විසින් සම්මතයක් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස, මර්කේටර්ගේ ආකෘතිය නැතිනම් ඔහු නිර්මාණය කළ සිතියම ලොව පුරා පාසල් පන්ති කාමර, විශ්වවිද්‍යාල, පෙළපොත්, මාධ්‍ය ආයතන සහ ලේඛන සඳහා නිල ලෝක සිතියම බවට පත් විය. කෙසේ නමුත්, නාවික කටයුතුවලදී කෝණ සහ දිශා නිවැරදිභාවය තබා ගැනීම සඳහා මර්කේටර් සිතියම නිර්මාණයේ දී කළ ගණිතමය සැකසුම හේතුවෙන් පෘථිවියේ රටවල් සහ මහද්වීපවල භූමි ප්‍රමාණ බරපතල ලෙස විකෘති විය. 

සමකයේ සිට ධ්‍රැව දෙසට යද්දී, සිතියම මඟින් රටවල වර්ගඵලය අසමානුපාතික ලෙස විශාල කර පෙන්වීමක් සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උත්තර සහ දක්ෂිණ ධ්‍රැවාසන්නයේ පිහිටි යුරෝපය, උතුරු ඇමෙරිකාව, රුසියාව සහ ග්‍රීන්ලන්තය වැනි භූගෝලීය කලාප සැබෑ ප්‍රමාණයට වඩා අතිශය විශාලව සිතියම්ගත වූ අතර, සමකය ආසන්නයේ පිහිටි අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව වැනි කලාපවල සැබෑ විශාලත්වය හැකිළීමකට ලක් විය. 

සිතියම් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, මර්කේටර් ලෝක සිතියමේ ග්‍රීන්ලන්තය සහ අප්‍රිකා මහද්වීපය ප්‍රමාණයෙන් එක හා සමානව දකින්න ලැබුණ ද භෞතික පෘථිවි තලය මත අප්‍රිකා මහද්වීපය ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් විශාලය. ග්‍රීන්ලන්තයේ සැබෑ භූමිප්‍රමාණය අප්‍රිකානු මහද්වීපයේ පිහිටි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයටත් වඩා කුඩාය. එපමණක් නොව, සිතියමේ අතිවිශාල ලෙස පෙනෙන රුසියාව ද අප්‍රිකා මහද්වීපය හමුවේ ලිලිපුට්ටෙකි. 

ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, ජපානය සහ සමස්ත යුරෝපයේම රටවල් සියල්ල එකතු කළ ද අප්‍රිකානු මහද්වීපයේ සමස්ත වර්ගඵලයට සම කළ නොහැක. කෙසේ නමුත්, භූගෝලීය දත්ත සම්බන්ධයෙන් සිදුවූ මෙම විකෘතිය හුදෙක් සිතියම් ශිල්පයේ පැවැති තාක්ෂණික ගැටලුවක් පමණක් යැයි අර්ථකථනය කිරීමට භූගෝල විද්‍යාඥයෝ සහ සමාජ විද්‍යාඥයෝ සූදානම් නොවෙති. 

ඊට අපූරු හේතුවක් ඇත. සියවස් ගණනාවක් පුරා ලෝක ජනගහනයෙන් බහුතරය ලෝකය පිළිබඳ අවබෝධය ලබාගත්තේ මෙම විකෘති සිතියම දෙස බැලීමෙනි. බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් තම දේශපාලනික, ආර්ථික සහ මානසික ආධිපත්‍යය ලොව පුරා තහවුරු කිරීම සඳහා මෙම සිතියම ප්‍රබල මෙවලමක් ලෙස භාවිත කළ බව අද වන විට පිළිගැනෙන සත්‍යයයි. 

තම රටවල් සිතියමේ අතිවිශාල ලෙසත්, තමන් යටත් කරගත් ආසියානු සහ අප්‍රිකානු ජාතීන්ගේ රටවල් නැතිනම් භූමීන් කුඩාවටත් නිරූපණය කිරීමෙන්, යටත්විජිත වැසියන් තුළ පහත් හැඟීමක් සහ යටහත්පහත්භාවයක් ඇති කිරීමට නොදැනුවත්වම මනෝවිද්‍යාත්මක පදනමක් සකස් කෙරුණි. 

භූගෝල විද්‍යාව සහ ජාත්‍යන්තර සබඳතා තුළ මෙම ක්‍රියාවලිය ‘සිතියම්කරණ යටත්විජිතවාදය’ ලෙස හඳුන්වනු ලබයි. සිතියමක් යනු හුදෙක් ගෝලයක පැතලි සටහනක් පමණක් නොව, එය බලය, දේශපාලනය සහ මතවාදයන් නිරූපණය කරන ප්‍රබල සංකේතයක් බව මේ අනුව පැහැදිලි වෙයි. මර්කේටර් ලෝක සිතියමේ දකින්න ලැබෙන මෙම ‘සාපේක්ෂ අසමානතාව’ පිළිබඳව විවේචන මතුවූයේ අද ඊයේ නොවෙයි.

ජර්මන් ජාතික ඉතිහාසඥ ආර්නෝ පීටර්ස්, 1970 දී 'ගෝල්-පීටර්ස් ප්‍රක්ෂේපණය' නමැති සිතියම් ආකෘතිය ඉදිරිපත් කරමින්, මර්කේටර් සිතියම මඟින් සිදුවන යුරෝපීය ආධිපත්‍යය විවේචනය කිරීමට පටන් ගත්තේය. 

සෑම රටකම සැබෑ වර්ගඵලය නිවැරදිව පෙන්වීම අරමුණු කරගත් එම සිතියම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ පල්ලිය ආශ්‍රිත පුණ්‍යායතනවල අවධානයට ලක්වුවද, එහි පැවැති තාක්ෂණික දෝෂ කීපයක් හේතුවෙන් එය ගෝලීය සිතියම් විද්‍යාඥයන්ගේ පූර්ණ පිළිගැනීමට ලක් වූයේ නැත. 

ගෝල්-පීටර්ස් සිතියම තුළ වර්ගඵලය නිවැරදි වුවද, සමකයට ආසන්න රටවල හැඩතල සිරස් අතට දැඩි ලෙස ඇදී ගොස් විකෘති වීම ඊට හේතුවය. එහි ප්‍රතිඵලයක් ලෙස, භූමිප්‍රමාණයේ නිවැරදිභාවය මෙන්ම රටවල භෞතික හැඩතලවල සුන්දරත්වය සහ යථාර්ථවාදී බවද ආරක්ෂා වන නව සිතියම් ආකෘතියක අවශ්‍යතාව සිතියම් විද්‍යා ලෝකය තුළ දිගින් දිගටම පවතින සංවාදයක් බවට පත්විය. 

 2018 දී, සිතියම් විද්‍යාඥයන් වන බෝජන් ෂාව්රිච්, ටොම් පැටර්සන් සහ බර්නාඩ් ජෙනී එක් වී ‘සමාන පෘථිවි ප්‍රක්ෂේපණය’ නමැති නව ලෝක සිතියම් ආකෘතිය නිර්මාණය කරන ලදී. 

මෙම ප්‍රක්ෂේපණ ක්‍රමය මඟින් ලෝකයේ සෑම රටකම සහ මහද්වීපයකම සැබෑ වර්ගඵල එකිනෙකට සාපේක්ෂව සියයට සියයක්ම නිවැරදිව පෙන්වයි. එමෙන්ම, මීට පෙර පැවැති ගෝල්-පීටර්ස් සිතියමේ තිබූ රටවල හැඩතල විකෘති වීමේ දෝෂය මඟහරවා ගනිමින්, මහද්වීපවල ස්වාභාවික හැඩය ඉතා මැනවින් ආරක්ෂා කිරීමට මොවුන් සමත් වූහ. 

සිතියම් විද්‍යා ඉතිහාසයේ විප්ලවීය සන්ධිස්ථානයක් ලෙස සැලකෙන මෙම ‘සමාන පෘථිවි සිතියම’ නූතන පරිගණක ගණිතමය ආකෘති පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද්දකි. මර්කේටර් ලෝක සිතියමෙන් සිදුවුණු විකෘතිය එමගින් නිවැරදි කෙරේ. 

 2018 දී නිර්මාණය වූ ‘සමාන පෘථිවි සිතියම’ මගින් භූගෝලීය නිවැරදිභාවය උදෙසා තාක්ෂණික විසඳුම ලැබුණ ද, එය ගෝලීය දේශපාලන තලයේ සම්මතයක් බවට පත්වීම සඳහා තවත් වසර කිහිපයක් ගතවිය. 

භූගෝලීය අසමානතාවයෙන් වැඩිම පීඩාවට පත්ව සිටි අප්‍රිකානු ජාතීන් එකතු වී ‘ලෝක සිතියම නිවැරදි කරමු’ යනුවෙන් දැවැන්ත ජාත්‍යන්තර ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය පෙබරවාරි මාසයේ අප්‍රිකා සංගමයේ සාමාජික රටවල් 54 නිල වශයෙන් මෙම ‘සමාන පෘථිවි සිතියම’ සම්මත ලෝක සිතියම ලෙස පිළිගනු ලැබීය. 

ඉන් අනතුරුව, අප්‍රිකානු මහද්වීපයේ බටහිර වෙරළේ පිහිටි කුඩා ටෝගෝ රාජ්‍යය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ, සියවස් ගණනාවක් තිස්සේ ලෝකය නොමඟ යැවූ මර්කේටර් සිතියම වෙනුවට මෙම නිවැරදි ‘සමාන පෘථිවි සිතියම’ සියලු අන්තර්ජාතික කටයුතු සහ අධ්‍යාපන පද්ධතීන් සඳහා භාවිතයට ගන්නා ලෙසය. 

 ඉකුත් 4 වැනිදා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී, ‘සමාන පෘථිවි සිතියම’ භාවිතයට ගනිමු යැයි ටෝගෝ රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව, රටවල් 164 ක් ඡන්දය ප්‍රකාශ කළේය. 

එම රටවල් අතරේ, පැරණි යටත්විජිත බලවතුන් වූ මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් රැසක්ද ඒ අතර සිටීම විශේෂත්වයකි. රටවල් 6 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඇමෙරිකා එක්සත් ජනපදය පමණි. 

වැඩි ඡන්දයෙන් යෝජනාව සම්මත වීමත් සමඟ, සියවස් පහකට පසුව ලෝක සිතියම නිල වශයෙන් නිවැරදි කිරීමේ ගෝලීය ක්‍රියාවලිය ආරම්භ විය. එසේ වුවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම වෙනස සිදු කිරීමට කාටවත් නීතිමය වශයෙන් බල කිරීමක් කරන්නේ නැත. මෙය ගෝලීය සමාජයට ඉදිරිපත් කරන ලද යුක්තිසහගත සහ විද්‍යාත්මක මාර්ගෝපදේශනයක් පමණි. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි
තව කියවන්න

Sep 5, 2026

අහසින් එන තරු මිනිස්සු

September 05, 2026
ඔබ දන්නවාද? ඇමෙරිකාවේ ආදිවාසීන් නැතිනම් රතු ඉන්දියානුවන්ට පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් යනු අරුමයක් නොවෙයි. ඔවුන් පවසන්නේ, පියාඹන පීරිසි සහ පිටසක්වළයන් යන වදන් ඔවුන්ගේ ඉපැරණි සංස්කෘතියට අයත් නොමැති බවය. 

රතු ඉන්දියානුවන් පිටසක්වළයන් හඳුන්වන්නේ ‘ස්ටාර් පීපල්’ (Star People) නැතිනම් ‘ස්කයි පීපල්’ (Sky People) යනුවෙනි. වර්තමානයේ බටහිර විද්‍යාඥයන්, නවීන විද්‍යාවට අනුව, පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් ලෙස අර්ථ නිරූපණය කළත්, රතු ඉන්දියානුවන්ට අනුව, පිටසක්වළයන් යනු වසර දහස් ගණනක් තිස්සේ පෘථිවියට යන එන තම නෑදෑයන් සහ ආදී මුතුන්මිත්තන් ය. 

Live Science ඇසුරිනි
තව කියවන්න

ඈනුම් යන හැටි

September 05, 2026
ඈනුම් යෑම යනු හුදෙක් කම්මැළිකම හෝ නින්දයෑම පෙන්වීමක් නොව, එය මොළයේ උෂ්ණත්වය පාලනය කරන ස්වාභාවික ක්‍රියාවලියක් යැයි විද්‍යාඥයෝ පවසති. 

ඈනුමකදී, ගැඹුරු හුස්මක් ගැනීම සහ මුහුණේ මෙන්ම බෙල්ලේ ද මාංශ පේශි ඇදීමක් සිදුවෙයි. එමගින්, රුධිර ගමනාගමනය වැඩිවෙයි. 

 සිරුරට ඇතුළු වන සිසිල් වාතය මගින් මොළයේ උෂ්ණත්වය සුළු වශයෙන් පහළ දැමීමක් කරයි. 

අධික තෙහෙට්ටුවක් හෝ මානසික වෙහෙසක් ඇති විට, මොළය වඩාත් කාර්යක්ෂමව පවත්වා ගැනීමට ඈනුම් උපකාරී වෙයි. ඈනුම් මොළය සිසිල් කරන විදුලි පංකාවක් වැනිය.

Live Science ඇසුරිනි
තව කියවන්න

ලෝක සිතියමේ වෙනසක්

September 05, 2026
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූගෝලීය ප්‍රමාණය නිවැරදිව නිරූපණය වන නව ලෝක සිතියමක් භාවිතයට ගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළේය. 

ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද, අප්‍රිකානු සංගමයේ (AU) සාමාජික රටවල පූර්ණ සහාය හිමිවූ, ‘අප්‍රිකා සිතියම නිවැරදි කරනු’ (Correct the Map) නමැති මෙම යෝජනාවලිය සඳහා රටවල් 164 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. 

එක්සත් රාජධානිය සහ ප්‍රංශය ද ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ එකම රට බවට පත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. 

මීට අමතරව, රාජ්‍යයන් 6 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එක්සත් ජාතීන්ගේ මෙම තීරණය නීතිමය වශයෙන් අනිවාර්ය බැඳීමක් නොමැති එකක් වුව ද, ඉදිරියේදී ලොව පුරා විවිධ ආයතන, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ මාධ්‍ය මගින් භාවිත කරන සිතියම් සෙමින් සිදුවන විශාල වෙනසකට මෙය පදනම දමනු ඇත. 

16 වන සියවසේ සිට ප්‍රචලිතව පවතින ‘මර්කේටර්’ (Mercator) සිතියම් ක්‍රමය දැඩි විවේචනයට ලක්ව ඇත්තේ එහි අප්‍රිකාව සහ ග්‍රීන්ලන්තය සමාන ප්‍රමාණයෙන් නිරූපණය කර ඇති බැවිනි. එසේ වුවත්, සැබෑ භූගෝලීය පරාසයන්ට අනුව අප්‍රිකා මහද්වීපය ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් විශාලය. 

මෙම සාම්ප්‍රදායික ‘සිතියම් විකෘතිය’ හේතුවෙන්, සමකයට ආසන්නව පිහිටි රටවල සංවර්ධන අවශ්‍යතාවල ඇති වැදගත්කම සහ එම රටවල පවතින සැබෑ විභවයන් ගෝලීය වශයෙන් අවතක්සේරු වීමට බලපා ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. 

1569 වසරේ දී, ෆ්ලෙමිෂ් (බෙල්ජියානු) ජාතික සිතියම් නිර්මාණකරු ජෙරාඩස් මර්කේටර් (Gerardus Mercator, 1512–1594) විසින් මෙම සිතියම නිර්මාණය කරනු ලැබුවේ අතීතයේ යුරෝපීය ගවේෂකයන්ගේ නාවික ගමන් පහසු කිරීමේ අරමුණිනි. 

ජෙරාඩස් මර්කේටර් සිතියම් විද්‍යාඥයකු පමණක් නොව, භූගෝල විද්‍යාඥයකු සහ ගණිතඥයෙකි. ත්‍රිමාණ ගෝලාකාර පෘථිවි පෘෂ්ඨයක් ද්විමාණ තලයක නිවැරදිව නිරූපණය කිරීමේදී ඇතිවන තාක්ෂණික අපහසුතාව මෙම ප්‍රමාණාත්මක වෙනස්කම්වලට ප්‍රධාන හේතුව වී තිබේ. 

BBC ඇසුරිනි
තව කියවන්න

Sep 4, 2026

සක්වළ වීරයෝ: Lanterns

September 04, 2026
DCU සුපිරි වීරයන් අතරේ, විශ්වයේ සාමය සුරකින පොලිස් නිලධාරීන් මෙන් ක්‍රියා කරන ග්‍රීන් ලැන්ටර්න්වරුන් ඇසුරින් නිර්මාණය වුණු, HBO හරහා විකාශය වන ලැන්ටර්න්ස් (Lanterns) ටෙලි කතා මාලාව මේ වනවිට ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන අවසන්ය. 

ලැන්ටන්ස් චිත්‍රකතාවලින්, කාටූන්වලින් සහ කාටූන් චිත්‍රපටවලින් ජනප්‍රිය වූ හැල් ජෝර්ඩන්, ග්‍රීන් ලැන්ටර්න්වරයා පාදක කර ගනිමින් ලැන්ටර්න්ස් (Lanterns) ටෙලි කතා මාලාව නිර්මාණය වී ඇත. 

ලැන්ටර්න්ස් (Lanterns) හරහා ජෝන් ස්ටුවර්ට් ද ප්‍රේක්ෂක අපට හඳුන්වා දෙයි. කතාමාලවට අනුව, ජෝන් ස්ටුවර්ට් යනු හැල්ගෙන් පසු ඔහුගේ මුද්ද ලබා ගැනීමට පුහුණුව ලබන අනුප්‍රාප්තිකයාය. 
ඇමෙරිකාවේ නෙබ්‍රැස්කා ජනපදයේ රෂ්විල් නමැති කුඩා නගරයේ මනුෂ්‍ය වෙසින් සැගවී සිටින පිටසක්වළ ජීවීන් කිහිප දෙනකු ඝාතනය වීම සහ එය පිටුපස සිටින්නේ කවුරුන්දැයි අනාවරණය කර ගැනීම ලැන්ටර්න්ස් (Lanterns) ටෙලි කතා මාලාවේ ප්‍රධාන කතා තේමාවය. 

ඊට අමතරව, හැල් ජෝර්ඩන්ගේ සහ ජෝන් ස්ටුවර්ට්ගේ චරිතවල පසුබිම් කතා ද ප්‍රධාන කතා තේමාවට සමගාමීව ගලා යයි. ඒ, අතීතයට සහ අනාගතයට නරඹන්නන් රැගෙන යමිනි. 

හැල් ජෝඩන් ලෙස චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළු කයිල් චැන්ඩ්ලර්ය. ජෝන් ස්ටුවර්ට් ලෙස චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු ඇරන් පියේර්ය. ඊට අමතරව, DCU විශ්වයේ අලුත් සුපර්මෑන් චිත්‍රපටයෙන් දකින්න ලැබුණු ගායි ගාඩ්නර් ග්‍රීන් ලැන්ටර්න්වරයා ද මෙම කතාමාලාවේ දකින්න ලැබේ. ගායි ගාඩ්නර් ලෙස චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු නේතන් ෆිලියොන් ය. 
රෂ්විල් නගරයේ ෂෙරිෆ් ලෙස කටයුතු කරන කෙරී කේන් ලෙස කෙලී මැක්ඩොනල්ඩ්, ඇගේ සැමියාගේ පියා මෙන්ම පිටසක්වළ තර්ජනවලින් පෘථිවි වැසියන් ආරක්ෂා කළ යුතු යැයි අන්තවාදීව සිතන විලියම් මේකන් ලෙස ගැරෙට් ඩිලාහන්ට් ද, ඔහුගේ බිරිඳ සෝයි මේකන් ලෙස ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකන් නිළි පූර්ණා ජගන්නාතන් ද සෙසු චරිතවලට පණ පොවති. 

ඩේමන් ලින්ඩෙලොෆ්, ක්‍රිස් මුන්ඩි සහ ටොම් කිංග් ප්‍රකට නිර්මාණකරුවන්ගේ එකතුවෙන් නිර්මාණය වී ඇති ලැන්ටර්න්ස් (Lanterns) කතා මාලාව, සාම්ප්‍රදායික සුපිරි වීර කතාවලින් ඔබ්බට ගිය සංකීර්ණ, අඳුරු සහ කුතුහලය පිරි අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙයි. 

චිත්‍රපටයේ නපුරන් ලෙස සැලකෙන්නේ මෑන්හන්ටර්ස් (Manhunters) ය. DCU විශ්වයේ මෑන්හන්ටර් (Manhunter) යන වදන සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ලෙස භාවිතයට ගැනෙයි. ඒ, මෑන්හන්ටර්ස් (Manhunters) සහ මාෂන් මෑන්හන්ටර් (Martian Manhunter) ලෙසය. 

මෑන්හන්ටර්ස් Manhunters යනු ග්‍රීන් ලැන්ටර්න් බලකාය තැනීමට පෙර එම බලකාය නිර්මාණය කළ ගාඩියන්ස් නමැති නිල් පැහැති සුදු හිස කෙස් ඇති ප්‍රමාණයෙන් කුඩා ‘ගාඩියන්ස්’ නමැති ජීවීන් විසින් විශ්වයේ සාමය රැකීමට නිර්මාණය කරන ලද ස්වයංක්‍රීය රොබෝ හමුදාවකි. 

මෙම රොබෝවරුන්ගේ දෝෂයක් නිසා, ඔවුන් හැඟීම් විරහිතව සිදු කළ ජන සංහාරයක් නිසා මෑන්හන්ටර්ස් මෑන්හන්ටර්ස් අක්‍රිය කර දැමීමට ගාඩියන්වරු කටයුතු කළහ. පසුව ඔවුන්ව අක්‍රිය කර ඒ වෙනුවට ග්‍රීන් ලැන්ටර්න් බලකාය පිහිටුවන ලදී. මෑන්හන්ටර්ස්, ලැන්ටර්න්වරුන්ගේ ප්‍රධාන සතුරන් පිරිසකි. 

මාෂන් මෑන්හන්ටර් (Martian Manhunter) යනු ජෝ-ජෝන්ස් Jonn Jonzz නමැති අඟහරු ග්‍රහලෝකයෙන් පෘථිවියට පැමිණෙන, සුපර්මෑන් වැනි පිටසක්වළ සුපිරි වීරයෙකි. DCU විශ්වයේ ජස්ටිස් ලීග් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු වන්නේ මාෂන් මෑන්හන්ටර් ය. සිතුවිලි කියවීමට (telepathy), ශරීරයේ රූපය වෙනස් කිරීමට (shapeshifting) සහ සිරුර විනිවිද යා හැකි ලෙස වෙනස් කර ගැනීමට මාෂන් මෑන්හන්ටර් ට හැකියාව ඇත. 
කෙටියෙන් කීවොත්, මෑන්හන්ටර්ස් යනු විශ්වයේ ආරක්ෂාව සඳහා නිර්මාණය කළ රොබෝ හමුදාවක් වන අතර, මාෂන් මෑන්හන්ටර් යනු අඟහරු ග්‍රහයාගෙන් පැමිණ පෘථිවිය සහ විශ්වය රකින සජීවී සුපිරි වීරයෙකි. මොවුන් දෙපාර්ශ්වය අතරේ කිසිදු සම්බන්ධයක් නැත. ලැන්ටර්ස් නිර්මාණකරුවන් හිතාමතා චරිත වෙනස්කම්වලට ලක් කර ඇත. 

කතා මාලාවේ ‘ගාඩියන්ස්’ පිටසක්වළුයන්ට ඕනෑම ස්වරූපයක් ගැනීමට හැකියාව ඇත. ජනප්‍රිය මෙන්ම සම්මානනීය හොලිවුඩ් නිළි ලෝරා ලිනී ද ‘ගාඩියන්ස්’ පිටසක්වළයකු ලෙස චරිත නිරූපණය කරයි. කතාමාලවේ ‘ගාඩියන්ස්’ පිටසක්වළයන්ට, මාෂන් මෑන්හන්ටර් (Martian Manhunter) මෙන් ස්වරූපය වෙනස් කිරීම කරගත හැකිය. 

෴ ලුසිත ජයමාන්න
තව කියවන්න

මමිතා බයිජු හදිසියේම රෝහලට‍

September 04, 2026
දිනෙන් දින ජනප්‍රිය වන මලයාලම් රංගන ශිල්පිනී මමිතා බයිජු හදිසියේ රෝහල්ගත කෙරුණු බව පැවැසෙයි. ඒ, තද උණ සහ ඇගපත වේදනාව නිසාය. හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ඇයගේ ඉදිරි සියලු කටයුතු අවලංගු වනු ඇතැයි පැවැසෙයි. 

ඕස්ට්‍රේලියාවේ 'Clyde Malayali Association' මගින් සංවිධානය කර තිබූ ඕනම් (Onam) සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමට නියමිතව සිටියේ මමිතායි. කෙසේ නමුත් අසනීප තත්ත්වය හේතුවෙන්, ඕස්ට්‍රේලියා ගමන අවලංගු කිරීමට සිදු වි ඇත. 

ඒ පිළිබඳව කණගාටුව පළ කරමින් බයිජු රෝහලේ සිට විශේෂ වීඩියෝ පණිවිඩයක් ද නිකුත් කර ඇත. සුවය ලැබූ සැණින්, ඕස්ට්‍රේලියානු රසික රසිකාවියන් හමුවීමට පැමිණෙන බව ඇය එම වීඩියෝ පණිවුඩය හරහා පොරොන්දුවක් ද දුන්නාය. මමිතා බයිජු නොපැමිණෙන බැවින්, සංවිධායකයන් අදාළ උත්සවය වෙනත් දිනයකට කල් දැමීමට තීරණය කර ඇත. 

මමිතා රෝහල්ගතව සිටින පුවතත් සමගම ඇය සම්බන්ධ පැරණි සම්මුඛ සාකච්ඡාවක්ද නැවතත් සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස කතාබහට ලක් වෙමින් පවතී. ඒ, ධනුෂ් ප්‍රධාන චරිතය රඟපාන කාරා (Kara) දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය සඳහා ඇය තෝරා ගැනීම සම්බන්ධයෙන් පැවැති සංවාදයක් මුල්කොට ගනිමිනි. 

 දෙමළ චිත්‍රපට සඳහා මලයාලම් නිළියන් යොදා ගැනීම පිළිබඳව නැගුණු ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ මමිතා පවසා තිබුණේ, රංගන ශිල්පිනියක ලෙස විවිධ චරිත ඔස්සේ ඉදිරියට යෑම තමන්ගේ වගකීමක් බවත්, තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම සාධාරණයක් ඉටු කිරීම සිය අභිප්‍රාය බවත්ය. 

චිත්‍රපටයේ අධ්‍යක්ෂ විග්නේෂ් රාජා ද මමිතාගේ තෝරා ගැනීම සාධාරණීකරණය කරමින් පවසා සිටියේ, අදාළ චරිතය සඳහා තරුණියන් 20-25 කගේ පමණ තිර පරීක්ෂණ (auditions) පැවැත්වූ බවත්, ඉන් සුවිශේෂී රංගන කෞශල්‍යයක් පෙන්වූයේ මමිතා පමණක් බවත්ය. එය හුදෙක් දක්ෂතාවය මත පදනම්ව ගත් කලාත්මක තීරණයක් මිස අනෙකක් නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ. 

මේ වනවිට ආදරණීය මමිතා බයිජුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලොව පුරා සිටින ඇගේ රසික රසිකාවියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සිටිති. 

NDTV
තව කියවන්න

ස්ම්‍රිතී මන්දනා වාර්තා අතරට

September 04, 2026
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ හොංකොං පිලට එරෙහි තරගයේදී විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩිකාව වීමට ඉන්දියාවේ ස්ම්‍රිතී මන්දනා සමත් වූවාය. 

එහිදී ඇය හිටපු ඉන්දීය නායිකා මිථාලි රාජ් තබා තිබූ ලකුණු 10,868 වාර්තාව අභිබවා යමින් ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව 10,880 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූවාය. මෙම තරගයේදී පන්දු 14 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 7 ක් සමගින් අතිවිශිෂ්ට ලකුණු 124 ක් රැස්කිරීමට මන්දනා සමත් වූවාය. 

ඒ අනුව කාන්තා 20-20 ආසියානු කුසලාන ඉතිහාසයේ තනි ක්‍රීඩිකාවක වාර්තා කළ ඉහළම ඉනිම ලෙස ද මෙය සැලකෙයි. තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 18 වැනි ශතකය වාර්තා කළ ඇය, ඕස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩිකා මෙග් ලැනින් (ශතක 17) පසුකර යමින් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභිනිය බවටද පත්වූවාය. 

 මීට අමතරව 20-20 ජාත්‍යන්තර තරගවලදී ශතක දෙකක් රැස්කළ පළමු ඉන්දීය ක්‍රීඩිකාව බවට පත්වීමට ද ඇයට හැකි විය. ඉනිම ආරම්භයේදී පිටියේ අන් පිතිකාරිනියන්ට ලකුණු අතරට පැමිණීමට යම් බාධා පැවතියද, මන්දනා සරලව සහ අලංකාර ලෙස පන්දුවට පහර දෙමින් මුළු ක්‍රීඩාංගණය පුරාම ලකුණු රැස් කළාය. 

තරගයේ 18 වැනි පන්දු වාරයේ දී රුචිතා වෙන්කටේෂ්ට එරෙහිව එල්ල කළ දැවැන්ත හයේ පහරකින් මන්දනා තම ලකුණු සංඛ්‍යාව 113 දක්වා ඉහළ නංවාගත් අතර, එම පන්දු වාරයේදීම මිථාලි රාජ්ගේ ලෝක වාර්තාව බිඳ හෙලීමට සමත් වූවාය. හස පන්දු වාරයේ පමණක්, හයේ පහර තුනක් එල්ල කළ ඇය, තම 20-20 ජාත්‍යන්තර තරග දිවියේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ද පසු කළාය. 

NDTV Sports
තව කියවන්න

Aug 31, 2026

නැන්සි ග්‍රේස් රෝමන් අභ්‍යවකාශයට

August 31, 2026
අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අගෝස්තු 30 වැනිදා ‘ස්පේස් එක්ස් ෆොල්කන් හෙවි’ රොකට්ටුව, අභ්‍යවකාශය බලා ගියේය. ස්පේස් එක්ස් ෆොල්කන් හෙවි’ රොකට්ටුව බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් ප්‍රබලතම රොකට්ටුවය. 

‘ස්පේස් එක්ස්’ සමාගම, අභ්‍යවකාශ කටයුතුවලදී ඇමෙරිකාවේ නාසා ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටී. රොකට්ටුව, අභ්‍යවකාශය බලා ගියේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ පිහිටි නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ‘ස්පේස් එක්ස් ෆොල්කන් හෙවි’ රොකට්ටුව අභ්‍යවකාශයට ගියේ සුවිශේෂී දෙයක් රැගෙනය. 

 පෘථිවියේ ගුරුත්ව බලයෙන් මිදුණු රොකට්ටුව, පෘථිවි කක්ෂයට ළං වී, එය රැගෙන ආ ඒ සුවිශේෂී දෙය අභ්‍යවකාශයට මුදා හැරියේය. එම සුවිශේෂී දෙය දුරේක්ෂයකි. නාසා ආයතනයේ ඉන්ජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් එක් වී, අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් නිර්මාණය දැවැන්ත අභ්‍යවකාශ දුරේක්ෂයකි. 

1990 වසරේ දී හබල් අභ්‍යවකාශ දුරේක්ෂයත් ඉන්පසු 2021 වසරේ දී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයත්, අභ්‍යවකාශයට යැවීමෙන් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය අභ්‍යවකාශ දුරේක්ෂයක් අභ්‍යවකාශයට යැවීම කළ පළමු දුරේක්ෂය මෙයයි. 

 මීටර් 12.7 පමණ දිග, මීටර් 4.4 ක් පළල බස් රථයක් තරම් මෙම ප්‍රබල දුරේක්ෂය, අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයක් වැනිය. බර කිලෝග්‍රෑම් 9,200 ක් බව පැවැසෙයි. දුරේක්ෂය හැඳින්වෙන්නේ නැන්සි ග්‍රේස් රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය (Nancy Grace Roman Space Telescope) යන නමිනි. 

රොකට්ටුවෙන් මිදී අභ්‍යවකාශයට ගිය ග්‍රේස් රෝමන් දුරේක්ෂය ඊට සවි කළ ඇන්ජින් පණ ගන්වා, අභ්‍යවකාශ යානයක් මෙන්, අභ්‍යවකාශයේ ඈතට ගමන ආරම්භ කළේය. දුරේක්ෂයට උපදෙස් ලැබී ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් (හැතැප්ම 930,000 ක්) පමණ ඈතින් පිහිටි අභ්‍යවකාශයේ විශේෂිත ස්ථානයක් වෙත ගමන් කිරීමටය. මේ සඳහා මාස 6 ක කාලයක් ගත වෙයි. 

මෙම විශේෂිත ස්ථානය හඳුන්වන්නේ ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය (Lagrange Point) යන නමිනි. අභ්‍යවකාශ දුරේක්ෂ රැඳවීම සිදුවන්නේ අභ්‍යවකාශයේ මෙම ස්ථානයේය. මේ වනවිට ජේම්ස් වෙබ් දුරේක්ෂය ගවේෂණ කටයුතු කරමින් රැඳී සිටින්නේ ද අභ්‍යවකාශයේ මෙම ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය නම් ස්ථානයේය. 

ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය පෘථිවිය සහ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයන් එකිනෙකට සමබර වන ස්ථානයකි. අභ්‍යවකාශ දුරේක්ෂ පහසුවෙන් රඳවා තැබිය හැකි ස්ථානය මෙයයි. මෙම ස්ථානයේ දිගටම රැඳී පැවැතීමට, දුරේක්ෂයකට වැය වන්නේ සීමිත ඉන්ධන ප්‍රමාණයකි. මෙම ස්ථානයේ සිට අභ්‍යවකාශ දුරේක්ෂයකට විශ්වයේ ඈතට නෙත් හෙලමින් ගවේෂණ කටයුතු සිදු කිරීම කළ හැකිය. 

 මෙම දුරේක්ෂය නැන්සි ග්‍රේස් රෝමන් යනුවෙන් නම් කිරීමට නාසා ආයතනය තීරණය කළේ ඇයි? ඊට හොඳ හේතුවක් ඇත. දුරේක්ෂය එම නමින් නම් කර ඇත්තේ, අභ්‍යවකාශ විද්‍යා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වූ ශ්‍රේෂ්ඨ කාන්තාවකට ගෞරවයක් ලෙසය. එම ශ්‍රේෂ්ඨ කාන්තාව, නැන්සි ග්‍රේස් රෝමන් ය. ඇය උපන්නේ 1925 මැයි 16 වැනිදාය. මියගියේ 2018 දෙසැම්බර් 25 වැනිදාය. නාසා ආයතනයේ ප්‍රධාන තාරකා විද්‍යාඥ තනතුරට පත් වූ පළමු කාන්තාව ඇයයි. 

එපමණක් නොවෙයි, නාසා ආයතනයේ ප්‍රධාන විධායක තනතුරක් දැරූ පළමු කාන්තාව ලෙස සැලකෙන්නේ ද ඇයයි. අප කවුරුත් දන්නා, කලින් සඳහන් කළ සුප්‍රකට ‘හබල් අභ්‍යවකාශ දුරේක්ෂය’ නිර්මාණය කිරීමේදී මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමේ සිට එය ඉදිකරන ස්ථානය සහ උපකරණ තීරණය කිරීම දක්වා සෑම වැදගත් තීරණයකදීම ඇය ඉදිරියෙන්ම සිටියාය. ඒ නිසා, නාසා ආයතනයේ කවුරුත් ඇය හඳුන්වන්නේ ‘හබල් දුරේක්ෂයේ මව’ (Mother of the Hubble Space Telescope) යන ආදරණීය නාමයෙනි. 
නැන්සි ග්‍රේස් රෝමන්

නැන්සි කළ මෙහෙවර අගය කරමින් නාසා ආයතනය ඔවුන්ගේ නවතම දුරේක්ෂය ඇගේ නමින් නම් කිරීම සැබැවින්ම අපූරුය. නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂයේ ප්‍රධාන අරමුණු මොනවාද? නාසා විද්‍යාඥයන් රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සිදු කළේ විශ්වයේ ප්‍රධාන අභිරහස් තුනක් විසඳා ගැනීමේ අරමුණින්ය. එම අබිරහස්වලින් පළමු වැන්න අඳුරු ශක්තිය (Dark Energy) යි. විශ්වයෙන් සියයට 68 ක්ම සමන්විත වන්නේ මේ රහස් ශක්තියෙනි. 

මේ ගැන විද්‍යාඥයන්ගේ දැනුම ඉතා අඩුය. විශ්වය ඉතා වේගයෙන් ප්‍රසාරණය වීමට (විශාල වීමට) හේතුව මෙම අඳුරු ශක්තිය යැයි තාරකා විද්‍යාඥයන්ගේ පිළිගැනීම වෙයි. කාලයත් සමඟ මේ ශක්තිය වෙනස් වෙනවද යන්න සෙවීමට රෝමන් දුරේක්ෂය උපකාරී වනු ඇත. ·දෙවැනි අබිරහස වන්නේ, මෙතෙක් හඳුනා නොගත් සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි බාහිර් ග්‍රහලෝක (Exoplanets) පිළිබඳ අධ්‍යයනයයි. දැනටමත් විද්‍යාඥයන් එවැනි ග්‍රහලෝක 6,000 කට වඩා සොයාගෙන තිබුණත්, විශ්වයේ බිලියන ගණනක් ග්‍රහලෝක තිබිය හැකි බව විශ්වාස කෙරේ. 

ජීවයට සුදුසු, පෘථිවිය වැනි අපූරු ග්‍රහලෝක සොයා ගැනීම රෝමන්ගේ තවත් ප්‍රධාන අරමුණකි. විශ්වයේ ඇති මන්දාකිණි එකට අල්ලා තබන අදෘශ්‍යමාන මැලියම් ලෙස සැලකෙන්නේ අඳුරු පදාර්ථ (Dark Matter) ය. අඳුරු පදාර්ථ සෑදී ඇත්තේ කුමන ආකාරයේ අංශු වලින්ද යන්න සොයා ගැනීමට රෝමන් දුරේක්ෂය අතීතයට එබිකම් කරමින් තොරතුරු එකතු කිරීම දුරේක්ෂය විසඳීමට අපේක්ෂා කරන තෙවැනි අබිරහසය. 

 මෙම අබිරහස් විසඳීම සඳහා, රෝමන් දුරේක්ෂයට අභ්‍යවකාශයේ ඇති ධූලි පටල හරහා ඈත විශ්වය දෙස නෙත් හෙලීම කළ හැකිය. ඒ සඳහා එය භාවිත කරන්නේ අධෝරක්ත ආලෝකය (Infrared light) යි. අධෝරක්ත ආලෝකය අපේ ඇසට නොපෙනෙන, එහෙත් තාපය ලෙස දැනෙන ආලෝක තරංග විශේෂයකි. 

රෝමන් දුරේක්ෂයේ අඩි 7.9 ක් (මීටර් 2.4 ක්) පළල විශාල ප්‍රධාන කැඩපතක් ඇත. විශාල කැඩපතක් තිබීමෙන් වැඩි ආලෝක ප්‍රමාණයක් එකතු කරගෙන ඉතා පැහැදිලි ඡායාරූප ලබාගත හැකිය. 

මේ කැඩපත මඟින් ආලෝකය ප්‍රධාන විද්‍යාත්මක උපාංග දෙකකට යොමු කිරීම සිදු කරයි. එයින් එක් උපාංගයක් හැඳින්වෙන්නේ විශාල ක්ෂේත්‍ර උපකරණය (Wide Field Instrument) යන නමිනි. මෙය මෙගාපික්සල් 300 ක බලවත් අධෝරක්ත කැමරාවකි. මේ කැමරාවෙන් අතිවිශාල අභ්‍යවකාශ ප්‍රදේශයක පින්තූර එකවර ලබාගත හැකිය. බිලියන ගණනක් පැරණි ආලෝකය ග්‍රහණය කර ගැනීමෙන් විශ්වයේ ආරම්භක අවධිය පරීක්ෂා කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබෙයි. 

අනෙක් උපාංගය කොරෝනග්‍රාෆ් උපකරණය (Coronagraph Instrument) යි. තාරකාවක දීප්තිමත් ආලෝකය වසා දමා, ඒ වටා භ්‍රමණය වන ග්‍රහලෝක පැහැදිලිව බැලීමට මේ උපකරණය උපකාරී වෙයි. රෝමන් දුරේක්ෂය සතුව ඇත්තේ, විද්‍යාඥයන් අභ්‍යවකාශයට යවන බලවත්ම කොරෝනග්‍රාෆ් උපාංගය යැයි පැවැසෙයි. මවු තාරකාවට වඩා බිලියන ගණනක් අඳුරු ග්‍රහලෝක පවා පැහැදිලිව දැක ගැනීමේ හැකියාව මෙම උපාංගය සතු වෙයි. 
මේ අපූරු නිර්මාණය පිටුපස සිටින වීරයන් කවුද? රෝමන් දුරේක්ෂය කියන්නේ එක් අයකුගේ නිර්මාණයක් නම් නොවෙයි. විවිධ කොටස් මිලියන ගණනක් එකතු කරමින් මේ අපූරු දුරේක්ෂය නිර්මාණය කිරීමට විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් දහසකට වැඩි පිරිසක් පසුගිය වසර ගණනාව තිස්සේ වෙහෙස මහන්සි වූ බව පැවැසෙයි. වෙහෙස වී තිබේ. 

සංවේදක සහ පාලන පද්ධති සවිකිරීම, ඒවා පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම සිදු වූයේ උපාංග තාක්ෂණික ශිල්පීන් අතිනි. දුරේක්ෂයේ සංකීර්ණ යාන්ත්‍රික පද්ධති සැලසුම් කිරීම, තැනීම සහ පරීක්ෂා කිරීම කළේ යාන්ත්‍රික ඉංජිනේරුවන්ය. දුරේක්ෂය නිර්මාණය කිරීමට වැයවුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 කි. අතර දුරේක්ෂය ලබා දෙන දත්ත අනුව විශ්වයේ භෞතික විද්‍යාව, විශ්වය ආරම්භ වූයේ කෙසේද සහ එය විකාශනය වන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරනු ලබන්නේ තාරකා භෞතික විද්‍යාඥයන් විසිනි. 

ලුසිත ජයමාන්න 
ස්තුතිය - NASA ආයතනයට
තව කියවන්න

Aug 30, 2026

ප්‍රෙෂර් පෙත්ත ගැන දැනගන්න

August 30, 2026
අධි රුධිර පීඩනය (ප්‍රෙෂර්) පබාලනය කිරීමට කාණ්ඩ 5 ක් යටතේ ඖෂධ ඇත. එබැවින්, අධි රුධිර පීඩනය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ එකිනෙකට වෙනස් ඖෂධ ය. සමහරුන්ට Losartan හෝ Telmisartan ලබා දෙද්දී, තවත් අයට Enalapril හෝ Ramipril එසේත් නැතිනම් Amlodipine ලබා දීම සිදුවෙයි. හෘද රෝග ඇති අයට නිර්දේශ කෙරෙන්නේ Bisoprolol හෝ Atenolol ය. මේ පෙති වර්ග අතරේ ඇති වෙනස කුමක්ද? 

කාණ්ඩ 5 අතරින්, පළමු කාණ්ඩය ARBs (Angiotensin Receptor Blockers) ය. Losartan, Telmisartan, Valsartan, Candesartan යනු එම කාණ්ඩයේ ඖෂධ ය. රුධිර නාළ හිර කරන හෝමෝනයක් වන Angiotensin II ක්‍රියාත්මක වන දොරටු (Receptors) අවහිර කර, රුධිර නාළ මනාව පළල් කර ලිහිල් කිරීම මේවායින් සිදුවෙයි. වකුගඩු සහ හදවත ආරක්ෂා කරයි. දියවැඩියාව ඇති අයට සහ තරුණ අයට ඉතා සුදුසුය. අතුරු ආබාධ අවම, ඉතා ආරක්ෂිත ඖෂධයක් බව වෛද්‍ය පිළිගැනීමය. 

දෙවැනි කාණ්ඩය, ACE Inhibitors (ACEi) ය. Enalapril, Ramipril, Lisinopril ය. රුධිර නාළ හිර කරන හෝමෝන නිපදවන එන්සයිමය අවහිර කරයි. හෘදයාබාධවලින් පසු හෘද පේශි ආරක්ෂා කිරීමට සහ දියවැඩියා රෝගීන්ගේ වකුගඩු පෙරහන් ආරක්ෂා කිරීමට මේවා යෝග්‍ය වෙයි. තෙවැනි කාණ්ඩය Calcium Channel Blockers (CCBs) ය. Amlodipine, Nifedipine, Diltiazem මීට උදාහරණ වෙයි. රුධිර නාළ බිත්තිවල ඇති සෛල තුළට කැල්සියම් ඇතුළු වීම වළක්වා, නාළවල මාංශපේශී ලිහිල් කර පීඩනය අඩු කිරීම සිදු කරයි. 

සිවුවැනි කාණ්ඩය Thiazide-like Diuretics (මුත්‍ර කාරක පෙති) ය. Indapamide, Hydrochlorothiazide (HCTZ), Chlorthalidone මීට උදාහරණ වෙයි. වකුගඩු හරහා සිරුරේ ඇති අතිරික්ත ලුණු (Sodium) සහ ජලය මුත්‍රා මගින් බැහැර කර රුධිර නාළවල ඇති පීඩනය සැහැල්ලු කරයි. බොහෝවිට Losartan හෝ Enalapril සමඟ එකම පෙත්තේ සංයෝගයක් ලෙස ලබා දීම සිදුවෙයි. 

රුධිරයේ පොටෑසියම් හෝ සෝඩියම් අගය සුළු වශයෙන් වෙනස් විය හැකි බැවින් විටින් විට රුධිර පරීක්ෂණ කිරීම අවශ්‍ය වෙයි. පස්වැනි කාණ්ඩය Beta-Blockers (හෘද ස්පන්දනය පාලනය කරන පෙති) ය. Bisoprolol, Atenolol, Metoprolol, Carvedilol, Nebivolol යනු මෙම කාණ්ඩයේ ඖෂධය. හදවත ගැහෙන වේගය සහ හදවත පොම්ප කරන ශක්තිය මඳක් සන්සුන් කර රුධිර පීඩනය පාලනය කරයි. අධි රුධිර පීඩනය වැඩි අයට වඩා, හෘදයාබාධ හැදුණු අයට, හෘද ස්පන්දනය වේගවත් අයට, හෘදය දුර්වල අයට මේවා නිර්දේශ කෙරේ. 

Medical Science ඇසුරිනි
තව කියවන්න

හිමාල කඳු වැටිය අනතුරේ

August 30, 2026
විද්‍යාඥයන්ට අනුව, හිමාල කඳු වැටිය, අවුරුදු මිලියන 40 ක් හෝ 50 ක් පැරණිය. මිහිමත ඇති සෙසු කඳු වැටි සමග සැසැදීමේදී, ළාබාලතම කඳු වැටිය වන්නේ හිමාලයයි. ලෝකයේ පියස්ස ලෙස හිමාල කඳු වැටිය සැලකෙයි. එවරස්ට් කන්ද ඇතුළු, ලොව උසින් වැඩිම කඳු බොහොමයක් ඇත්තේ හිමාලයේය. එපමණක් නොව, ආසියාවේ මහා ගංගා ආරම්භ වන්නේ ද හිමාල කඳුකරයෙනි. පහළ නිම්නයේ රටවල් රැසක වැසියන්ගේ ජීව නාළිය හිමාල කඳුකරයෙන් පටන් ගන්නා මෙම මහා ගංගාය‍. 

 හිමාල අඩවිය පාමුල සහ හිමාල කලාපයට අයත් රටවල් වන්නේ, නේපාලය, භූතානය, ඉන්දියාව, පාකිස්තානය, චීන පාලනයට යටත් ටිබෙටයයි. නේපාලය, සම්පූර්ණයෙන්ම පාහේ හිමාල කඳු වැටිය සහ එහි පාමුල පිහිටා ඇත. භූතානය හිමාල කලාපයේ පිහිටි කඳුකර රාජ්‍යයකි. ඉන්දියාවේ උතුරු සහ ඊසානදිග පළාත් හිමාල අඩවියට අයත් වෙයි. පාකිස්තානයේ වයඹදිග පළාත් හිමාල පාමුල පිහිටයි. ටිබෙටය ඇත්තේ හිමාලයේ උතුරු මායිමේය.

හිමාල අඩවියෙන් ආරම්භ වී පහළට ගලා බසින ප්‍රධාන ගංගා එසේත් නැතිනම් නදී වන්නේ, ගංගා, සින්ධු, බ්‍රහ්මපුත්‍ර, මීකොං, සැල්වීන් සහ යැංසිය. ගංගා නදිය ආරම්භ වන්නේ, හිමාල අඩවියේ ගංගෝත්‍රි ග්ලැසියරයෙනි. ගංගා නදිය, ඉන්දියාව සහ බංග්ලාදේශය පසු කරමින්, බෙංගාල බොක්ක හරහා මුහුදට වැටෙයි. සින්ධු නදිය හිමාල අඩවියට උතුරින් පිහිටි ටිබෙට් සානුවේ මානසසරෝවර් ග්ලැසියර විල ආශ්‍රිතව ආරම්භ වෙයි. එය ටිබෙටය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් හරහා ගලා ගොස් අරාබි මුහුදට වැටෙයි. 

 හිමාලයේ උතුරු ටිබෙට් කලාපයෙන් ‘යාර්ලුං ට්සංපෝ’ ලෙස ආරම්භ වන බ්‍රහ්මපුත්‍ර නදිය, පිළිවෙළින් ටිබෙටය, ඉන්දියාව සහ බංග්ලාදේශය ඔස්සේ මුහුදට ගලා බසී. ටිබෙට් හිමාල සානුවෙන් ආරම්භ වන මීකොං නදිය රටවල් ගණනාවක් යා කරන දීර්ඝ ගංගාවකි. එය පිළිවෙළින් චීනය, මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල් හරහා ගලා ගොස් දකුණු චීන මුහුදට වැටෙයි. ටිබෙට් හිමාල උස්බිම්වලින් ආරම්භ වන සැල්වීන් නදිය චීනය, මියන්මාරය සහ තායිලන්තය යන රටවල් හරහා ගලා බැස අන්දමන් මුහුදට එක් වෙයි. 

ටිබෙට් හිමාල සානුවෙන්ම ආරම්භ වන යැංසි නදිය, චීනය හරහා පමණක් ගලා ගොස් අවසානයේ නැගෙනහිර චීන මුහුදට ගලා බසී. ඉකුත් දා, මුහුදක් පෙනෙන තෙක් මානයක නැති, නේපාලය සහ ටිබෙටය වැනසූ, සුනාමියක් බඳු ඒ බිහිසුණු ප්‍රචණ්ඩ මහා ජල කඳ හිමාල අඩවියේ සිට පහළ නිම්නයට ඇදී ආවේ, කිසිදු පෙර අනතුරු ඇඟවීමකින් තොරවය. ඊට බිලිවූ ගණන 400 කි. 

විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් ඒ අතරේ සිටිති. අතුරුදන් ගණන දහස පසු කරයි. ජීවිත හානියට අමතරව සිදුවුණු දේපළ හානිය අති මහත්ය. මෙම බිහිසුණු සැඬ පහර ටිබෙටයටත්, ටිබෙටයට පහළින් ඇති නේපාලයටත් කඩා වැදුණේ හිමාල අඩවියෙන් ආරම්භ වන ගංගාවක් හරහාය. මෙම ගංගාව ටිබෙටය, නේපාලය හරහා ගොස් ඉන්දියාවෙන් මුහුදට වැටෙයි. 

නේපාල වැසියන්, භෝටේකෝෂි ලෙස හඳුන්වන මෙම ගංගාව හිමාල කඳුවැටියේ, ශීෂපාන්ග්මා කන්ද ආසන්නයේ ඇති ෂැංෂැංබෝ ග්ලැසියරයෙන් ආරම්භ වෙයි. ටිබෙට් වැසියන් මෙම ගංගාව හඳුන්වන්නේ පොයිකූ යනුවෙනි. ටිබෙටය හරහා එන ගංගාව, චීන නේපාල දේශසීමාවේ කෝඩාරි පළාතෙන්, නේපාලයේ සිංධුපාල්චොක් දිස්ත්‍රික්කයට ඇතුළු වෙයි. ඉන්පසු භෝටේකෝෂි ලෙස එය ඉතා තද බෑවුම් සහිත පටු මාර්ග ඔස්සේ දකුණු දෙසට අධික වේගයෙන් ගලා බසී. භෝටේකෝෂි, තතෝපානි, බාරබිසේ සහ ලමොසංගු වැනි ප්‍රදේශ පසු කරමින් ගලා බසී. 

සුදු පෙන කැටි විහිදුවමින්, වේගයෙන් ගලන මෙම ගංගාව සුළං පිරවූ විශේෂ රබර් බෝට්ටු (රෆ්ටිං) භාවිතයෙන් ගංගාව තරණය කිරීමේ ත්‍රාසජනක ක්‍රීඩාවට ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. භෝටේකෝෂි, බාලේෆි සහ ලමොසංගු ආසන්නයේදී සුන් කෝෂි ගංගාව සමග එක් වෙයි. පසුව සප්ත කෝෂි ගංගා පද්ධතිය හරහා ගලා ගොස් ඉන්දියාවේදී ගංගා නදියට මුසුවෙයි. 

ඉකුත් 26 වැනිදා සිදුවුණු එම අවාසනාවන්ත සිදුවීම, මිනිත්තු කීපයක් ඇතුළත සිදුවුණු මහා ස්වභාවික විනාශයකි. අනතුරු ඇඟවීමට පවා කල් වේලා තිබුණේ නැත. මෙම බිහිසුණු ව්‍යසනයේ හද කම්පා කරන දසුන් අපට විදෙස් මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. මෙවැනි ව්‍යසනයක් සිදුවුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. අවසන් අවස්ථාව ද මෙය නොවනු ඇත. අතීතය දෙස බැලුවොත්, ගතවුණු දශක ගණන පුරාවට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසන රැසක් මෙම ආසියා කලාපයේ දකින්න ලැබුණි. 

2013 ජූනි මාසයේ, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තය හිටිහැටියේ මහා ජල ගැලීමකට සහ නායයෑම්වලට ලක් විය. ඉන්දීය ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වාභාවික ආපදාවක් ලෙස මෙය සැලකෙයි. මෙම ව්‍යසනය හැඳින්වෙන්නේ ‘හිමාල සුනාමිය’ යන නමිනි. වේලයෙන් ඇදී ආ රුදුරු ජල කඳට සහ නායයෑම්වලට හසුවී මරණයට පත් වූ ගණන 5,000 ඉක්මවයි. මෙම ව්‍යසනයට හේතුව, අධික මෝසම් වැසි හේතුවෙන් හිමාලයේ චෝරාබාරී නමැති ග්ලැසියර විල කැඩී පිටාර ගැලීමය. 

 2017 පෙබරවාරි 7 වැනිදා යළිත් වරක් ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ චමෝලි දිස්ත්‍රික්කයේ ක්ෂණික මහා ජල ගැලීමක් සිදුවිය. ඒ, හිමාල අඩවියේ නන්දා දේවි හිම කන්දේ විශාල හිම තට්ටුවක් සහ පර්වත කොටසක් කඩා වැටීමෙනි. 2023 වසරේ දී ඉන්දියාවේ කඳුකරයේ පිහිටි සික්කම් ප්‍රාන්තයේ මහා ජල ගැලීමක් හටගත්තේය. පසුගිය දා ටිබෙටයේ සහ නේපාලයේ දකින්න ලැබුණු ආකාරයේ සුනාමි රළ වැනි මහා ජල කඳක් 2023 වසරේ දී ද ගම්මාන සහ නගර විනාශ කළේය. ඊට බිලිවුණු ගණන 53 කි. 2024 වසරේ දී නේපාලයේ මහා ජල ගැලීමක් සිදුවිය. එයින් 244 දෙනකුට දිවි අහිමි විය. 

 රටවල් වෙනස් වුණත්, ව්‍යසනවල ස්වරූපය සමානය. ඉන්දියාවේත්, නේපාලයේත් සිදුවුණු මෙම ස්වභාවික ආපදා පසුපස ඇත්තේ හිමාල කඳු වැටියයි. හිමාල කඳු වැටියට සිදුවී ඇත්තේ කුමක්ද? අන් කවරදාවත් අසන්න නොලැබුණු ලෙස ග්ලැසියර විල් කඩා වැටීම් සිදුවන්නේ ඇයි? මහ වැසි නිසා හිමාල කඳුකරයේ නායයෑම් බහුලව සිදුවන්නේ ඇයි? භූ විද්‍යාඥයන්ට අනුව, බැලූ බැල්මට ශක්තිමත් මහා කඳු පද්ධතියක් බව පෙනුනත්, හිමාල කඳු වැටිය තවමත් නිර්මාණය වී අවසන් නැත. එය දිනෙන් දින නිර්මාණය වෙමින් පවතී. හිමාලය ලෝකයේ ළාබාලතම කඳු වැටිය බව අමුතුවෙන් කිව යුතු නැත. 

හිමාල කඳු වැටියේ නිර්මාණය සිදුවූයේ ඉන්දියාව අයත් ඉන්දීය භූ තැටිය සහ යුරෝපය අයත් යුරෝපා භූ තැටිය එකිනෙක ගැටීමෙනි. භූ විද්‍යාඥයන්ට අනුව, ඒ ගැටීම තවමත් අවසන් නැත. ගැටීමත් සමඟ ඉහළට එසවුණු නෙරුම හිමාල කඳු වැටියයි. මේ කලාපයේ භූමිය, නිරන්තරයෙන්ම මහා පීඩනයකට ලක්ව පවතී. කඳු වැටිය සෙමින් සෙමින් ඉහළට එසවීමක් සිදුවෙයි. මහා පර්වත ඉරි තැලීමකට ලක් වෙයි. මෙම කලාපයේ භූමිකම්පා, නායයෑම් ආදිය හට ගැනීම අරුමයක් නොවෙයි. 

එම ස්වභාවික ක්‍රියාවලියේ කොටසකි. නේපාල සහ ටිබෙට නිම්නයේ ජනාවාස ඇත්තේ, අස්ථාවර භූමියකය. එය හරියට පස්වලින් පමණක් තැනූ පඩි පෙළක් වැනි පාදමක් මත නිවසක් ඉදි කිරීමක් වැනිය. කොයි මොහොතේ හෝ මහා විනාශයක් සිදුවීමට ඉඩ ඇත. හිමාල කඳුකරය සැලකෙන්නේ පෘථිවියේ තෙවැනි ධ්‍රැවය යනුවෙනි. ඒ, ග්ලැසියර සිය දහස් ගණනක් හිමාලයේ පිහිටා තිබීම නිසාය. ආක්ටික් කලාපයෙන් පිට, වැඩිම හිම සහ අයිස් ප්‍රමාණයක් ඇත්තේ ද හිමාලයේය. 

වසර දහස් ගණනක් තිස්සේ, මේ ‘අයිස්’ මැලියම් ලෙස, උස් භූමි ප්‍රදේශය එකිනෙක ඇදබැඳ තබා ගෙන තිබේ. ඒත් දිනෙන් දින ගෝලීය උණුසුම ඉහළ යද්දී, මේ ස්වභාවික මැලියම දුර්වල වෙයි. ග්ලැසියර් විල් පුපුරා යෑමට ලක් වෙයි. අයිස් සහ පස් නායයෑම් සිදුවෙයි. ග්ලැසියර් කඩා වැටීම එසේත් නැතිනම් ග්ලැසියර් නායයෑම් කොතරම් බිහිසුණු ද කිවහොත්, අපට එදා එනම් පසුගිය අගෝස්තු 26 වැනිදා නේපාලයෙන් සහ ටිබෙටයෙන් දකින්න ලැබුණේ ග්ලැසියර් නායයෑමක බිහිසුණු ප්‍රතිඵලයයි. විද්‍යාඥයන් සහ පරිසරවේදීන් දිගින් දිගටම බිය පළ කරන්නේ, ගෝලීය උණුසුම ඉහළ යෑමට මිනිස් ක්‍රියාකාරකම් ද ප්‍රධාන හේතුවක් බවය. 

හිමාල අඩවියේ ග්ලැසියර් දියවීම, ස්වභාවික ව්‍යසන සිදුවීම, ග්ලැසියර් දියවී මහා ගංගා සිදී ගොස් මහා ජල අර්බුදයක් තෙක් එය දුරදිග යෑම ආදී ස්වභාවික විපත්වලට වක්‍රව මිනිස් ක්‍රියාකාරකම් ද බලපෑමක් කරයි. කාර්මික විප්ලවයේ ඇරඹුමත් සමග පොසිල ඉන්ධන දහනය, වන විනාශය සහ අධික කාර්මිකකරණය හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මානව ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වේගවත් හා දැඩි ගෝලීය උණුසුම් වීමක් අද වනවිට දකින්න ලැබේ. 

 අන්තර්-රාජ්‍ය දේශගුණික විපර්යාස පිළිබඳ මණ්ඩලයේ දත්ත අනුව, පසුගිය වසර 2,000 ක කාලය තුළ පෘථිවි පෘෂ්ඨීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති සීඝ්‍රතාවයට සමාන වෙනසක් මානව ශිෂ්ටාචාරය තුළ සිදුව නොමැත. කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි වායු සාන්ද්‍රණය වායුගෝලය තුළ අඛණ්ඩව ඉහළ යාම නිසා පෘථිවි තාප තුල්‍යතාවය බිඳවැටී ඇති අතර, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යෑම සහ අසාමාන්‍ය කාලගුණික විපර්යාස වැනි දරුණු බලපෑම් රැසකට පෘථිවි ජීව පද්ධතිය දැනටමත් මුහුණ දෙමින් සිටී. 

එබැවින්, වර්තමානයේ සිදුවන ගෝලීය උණුසුම් වීම හුදෙක් ස්වාභාවික චක්‍රීය වෙනස්වීමක් නොව, මානව ක්‍රියාකාරකම්වල සෘජු හා අභියෝගාත්මක ප්‍රතිඵලයක් බව නොවැළැක්විය හැකි විද්‍යාත්මක යථාර්ථයයි. නේපාලය සහ ටිබෙටය කැලඹූ ඒ මහා ජල කඳ හිමාල කඳු වැටියෙන් ආරම්භ වී පහළ නිම්නයට ඇදී ඒමට පෙර භූ චලනයක් සිදුවුණැයි නේපාල විද්‍යාඥයන් මෙන්ම ඇමෙරිකන් භූ විද්‍යාඥයෝ ද පැවැසූහ. 

ඒත්, රික්ටර් පරිමාණයේ ඒකක 4.4 ක් සටහන් කළ ඒ භූ චලනය සාමාන්‍ය භූමිකම්පාවකින් හටගත් එකක් නොවන බව වැඩි දුර සිදු කළ විමර්ශනවලිදී අනාවරණය විය. භූ චලනය සිදුවූයේ හිමාල අඩවියේ ග්ලැසියර විල කඩා වැටීම නිසාය. රික්ටර් පරිමාණයේ ඒකක 4.4 ක් සටහන් කිරීමට තරම් එම ග්ලැසියර් විල පුපුරා යෑම බිහිසුණු විය. මෙසේ ග්ලැසියර් විල් නානයෑමට ලක් වීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස හදිසි ජල ගැලීම් තත්ත්වයක් නිර්මාණය වීමත් සැලකෙන්නේ GLOF යනුවෙනි. 

මෙය ඉංග්‍රීසියෙන් Glacial lake outburst flood හෙවත් ග්ලැසියර විලක් එකවර බිඳී යෑම ලෙස හැඳින්වෙයි. GLOF නිර්වචනය කළොත් එය මෙසේය. ග්ලැසියරයක් ආසන්නයේ හෝ ඊට පහළින් පිහිටි ග්ලැසියර විලක රැස්වී ඇති ජලය එකවරම පහළට මුදාහැරීම නිසා ඇතිවන දැවැන්ත ගංවතුර ආපදා තත්ත්වයයි. 

මෙලෙස එකවර ගලා එන අතිවිශාල ජල කඳ සමඟ මඩ, ගල් සහ විවිධ සුන්බුන් විශාල වශයෙන් පහළ නිම්න වෙත ගසාගෙන එන බැවින්, එම මාර්ගයේ පිහිටි ජනාවාස, මාර්ග, පාලම් සහ වගාබිම්වලට දැඩි හානි සිදු වේ. හිමාලය, අන්දීස් සහ ඇල්ප්ස් වැනි ලෝකයේ උස් කඳුකර ප්‍රදේශවල දැකගත හැකි ප්‍රධානතම පාරිසරික තර්ජනයක් ලෙස මෙය භූ විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ තිබේ. 

ලුසිත ජයමාන්න 
Daily Mail ඇසුරිනි
තව කියවන්න

Aug 29, 2026

සුවෙන් ඉන්න ගසක් වැලඳ ගන්න

August 29, 2026
ඔබ දන්නවද? වනාන්තර ස්නානය (Forest Bathing) ජපන් වැසියන් අතරේ ප්‍රකට පුරුද්දකි. වනාන්තර ස්නානය (Forest Bathing) යනු කුමක්ද? වනාන්තර ස්නානය යනු අප සොබාදහමට සමීප වීමය. වනාන්තරයට ගොස්, සොබාදහම විඳ ගනිමින්, මහ රූස්ස ගස් වැලඳගෙන මිනිත්තු කීපයක් සිටීමය. 

කෙනකුට මෙය විහිළුවක් විය හැක. ඒත් මේ පුරුද්ද පිටුපස ඇත්තේ අපගේ සිරුරට සුවය දෙන සරල විද්‍යාවකි. අප සිරුරේ මානසික පීඩනය ඇති කරන හෝමෝනයක් ඇත. මෙය කෝටිසෝල්ය. 

කෝටිසෝල් වකුගඩුවලට ඉහළින් ඇති ඇඩ්රිනල් ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන ප්‍රධාන හෝමෝනයකි. ශරීරය ආතතියට මුහුණ දෙන ආකාරය පාලනය කිරීමට ප්‍රධාන වශයෙන් දායක වන බැවින්, මෙය ආතති හෝමෝනය ලෙස ද හැඳින්වෙයි. 

ජපන් වැසියන්ට අනුව ඔබ ගසක් ළඟට වී සිටිද්දී හෝ එය ස්පර්ශ කරද්දී කෝටිසෝල් මට්ටම වේගයෙන් පහළ යයි. ඒ වෙනුවට සිතට සතුට සහ සැහැල්ලුව දෙන හෝමෝන සිරුරේ වැඩිපුර ක්‍රියාත්මක වීමට පටන් ගනී. 

ඊට අමතරව, ගසක් ස්පර්ශ කරද්දී, අපට දැනෙන කලබලකාරී බව නැති වී, හෘද ස්පන්දන වේගය සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි. හදවතට ලැබෙන මේ සහනය, අධික රුධිර පීඩනය පාලනය වන අතරම හෘදයාබාධ ඇතිවීමේ අවදානම ද පහළ යයි. 

ලුසිත ජයමාන්න 
The Brain Maze ඇසුරිනි
තව කියවන්න

සංවරය ටෙලියේ චමත්කා

August 29, 2026
පූජනී භාග්‍යා නිතර දකින්න ලැබෙන රංගන ශිල්පිනියක ද නොවේ. ආරාධනා කොතරම් ලැබුණ ද අනවශ්‍ය ලෙස කාර්යබහුල වීමට අකැමැති පූජනී තමන් දායක වන නිර්මාණ ප්‍රමාණය සීමිත වූවත් දැඩි කැපවීමෙන් උපරිම සාධාරණයක් ඉටුකිරීමට වෙහෙසෙන රංගන ශිල්පිනියකි. ගයාන් – පූජනී කැදැල්ලට මුල්තැන දෙන ඇය නිදහස ලැබෙන පරිදි නිර්මාණ කටයුතුවලටද දායක වී සිටී. 

සංවරය ටෙලි නිර්මාණයේ චමත්කාගේ චරිතය ගැන කතා කළොත්? 
‘සංවරය’ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්. මට ආරාධනාව ලැබෙන්නේ ප්‍රියන්ත අයියාගෙන්. මීට කලින් ඔහුගෙන් ලැබුණු ආරාධනයට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ තමයි සංවරය ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. ටික කාලයක් රංගනයෙන් ඈත් වෙලා ඉඳලා යළි දකින්න ලැබීමත් එක්ක නැවතත් ආරාධනා ගලාගෙන එන්න ගත්තා. 
සංවරය ටෙලි නිර්මාණය ගැන කතා කළොත් ... 
සමාජයේ පවතින සංකීර්ණ ගැටලු තමයි සංවරය හරහා කතාබහට ලක්වෙන්නේ. මධූ කියන ගම්බද තරුණියගේ මව විදෙස්ගත වෙලා ලංකාවට එන්න බැරිව විදෙස් රටක හිරවෙලා ඉන්නවා. මව ගෙන්වාගන්න ඇය චමත්කාගෙන් උදවු බලාපොරොත්තු වෙනවා. 

චමත්කා කොහොම කෙනෙක්ද? 
චමත්කා මාධ්‍යවේදිනියක්. ගුවන් නියමු කැප්ටන් නුගාර සේනානායක කියන්නේ ඇගේ පෙම්වතා. ඔහු නිවාඩු අරන් ලංකාවට එන්නේ ඔවුන් දෙදෙනාගේ විවාහය ගන්න හිතාගෙන. ඒත් චමත්කා කියන්නේ රැකියාවටම කැපවුණු යුවතියක්. රැකියාවේ වැඩ කිහිපයක් හේතුවෙන් දින දමාගත් තම විවාහයත් ඇය කල් දානවා. ඊට පස්සේ රැකියාවේ මෙන්ම තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇයට මුහුණදෙන්න වෙන ගැටලු ඔස්සේ තමයි කතාව ගලන්නේ. 
චමත්කා පූජනීට වඩා හාත්පසින් වෙනස් නේද? 
 ඇත්තටම ඔව්. චමත්කා කියන්නේ තමන්ගේ රැකියාවේ හීන පස්සේ දුවන තරුණියක්. පූජනී කියන්නේ ආදරය තමන්ගේ ජීවිතේ අංක එක විදිහට සලකන, ඒ ලැබුණු ආදරය ජීවිත කාලෙටම පරිස්සම් කරගන්න වෙහෙසෙන තරුණියක්. පූජනී තමන්ගේ රැකියාව වෙනුවෙන් පෞද්ගලික ජීවිතය කිසිසේත්ම අතනොහරිනවා වගේම භාරගත්ත වැඩක් කවදාවත් අතරමඟ දමා නොයන, අන් කිසිවකු අපහසුතාවට පත් නොකරන කෙනෙක්. 

චමත්කාට ලැබෙන ප්‍රතිචාර කොහෙමද? 
සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. නුගාර නොසලකා හැරීම සම්බන්ධයෙන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. මගේ දෙබස්වලත් නපුරු ගතියක් තියෙන නිසා සමහර විට ප්‍රේක්ෂකයන් නොසන්සුන් වෙලා ඇති. පූජනී භාග්‍යා කියන්නේ කිසිසේත්ම එහෙම චරිතයක් නොවෙයි කියන එක ඔවුන් දන්නවා. ප්‍රතිචාර ලැබෙනවා කියන්නෙ මම හොඳින් චමත්කාගේ චරිතය කරනවා කියන එකනේ. ඒක සතුටක්. 
හෙශාන් මනුල ආදරවන්තයා විදිහට හමුවන පළමු අවස්ථාව නේද? 
 ආදරවන්තයා විදිහට හමුවෙන්නේ පළමුවතාවට. ඒත් මනුල අයියයි මායි නිර්මාණයකට දායක වන දෙවැනි අවස්ථාව. මීට කලින් සියත නාළිකාවේ විකාශය වුණු රේස් ටෙලි නිර්මාණයේ අපි වැඩ කළා. 

සංවරය ටෙලියේ වෙනසක් දකිනවද? 
සංවරය කියන්නේ සීමිත කොටස් ප්‍රමාණයක ටෙලි නිර්මාණයක්. මුළු පිටපතම මේ වෙද්දි අපට ලැබිල තියෙන නිසා අවසානය මොකක්ද කියන එක දැනටමත් දන්නවා. ඒ නිසා නිසි අවබෝධයකින් අපි කණ්ඩායම ම හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා. 
ප්‍රියන්ත ප්‍රනාන්දු වගේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම කොහොමද?
ප්‍රියන්ත අයියා ගැන නම් කියන්නම ඕන. එයා කණ්ඩායමේ හැමෝම එක්ක විහිළු කරගෙන හරිම විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඒත් අදාළ වැඩේ වෙලාවට වැඩේම ඉන්න ඕන. ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම එයාගේ ඕනෑම නාට්‍යයකට කුමක්ම හෝ සම්මානයක් ලැබෙනවාමයි. 

සිනමාවටත් සම්බන්ධයි කියලා ආරංචියි 
මගේ අලුත්ම චිත්‍රපටය තිළිණ බොරලැස්සගේ ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ තිරගත වෙනවා. සන්තුෂ්කි අභිලාෂි, දර්ශන් තවරාජ් ප්‍රධාන භූමිකාවලින් දායක වෙද්දී මමත් නිල්මිණී තෙන්නකෝන් අක්කත් උප ප්‍රධාන චරිතවලින් දායක වෙනවා. ආදරණීය කතාවකින් ඉතාම ඉක්මනින් තිරයෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
තව කියවන්න

AI බිහිසුණුයි

August 29, 2026
කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණයේ වේගවත් වර්ධනය, පරමාණු බෝම්බවලටත් වඩා අපට (සමස්ත මානව සංහතියට) බිහිසුණු තර්ජනයක් බවත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිර්මාණය කරන, ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් එය අපෙන් වසං කරන බවත්, මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති, බිල් ගේට්ස් අනතුරු අගවයි. 

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ බලපෑම පරමාණුක බලශක්ති තාක්ෂණයටත් වඩා දහස් ගුණයකින් ප්‍රබල සහ විනාශකාරී විය හැකි බවත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිසි ලෙස නියාමනය නොකරන්නේ නම්, අනාගතයේ දිනෙක මානව වර්ගයා බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බිල් ගේට්ස් වැඩි දුරටත් බිය පළ කරයි. කෘත්‍රිම බුද්ධිය මේවනවිටත් ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක, මිනිසාගේ චින්තන සහ තර්කන හැකියාව අභිබවා යෑමට පටන්ගෙන ඇත. 

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රැකියා අහිමි වීමේ දැඩි අවදානම මීට හොඳම උදාහරණයයි. ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් ඔවුන්ගේ වාණිජ ලාභය ආරක්ෂා කරගැනීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් එල්ල වන තර්ජනයේ බරපතළකම අඩු කර පෙන්වීමට උත්සාහ කරන නමුත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හමුවේ මතුවන දැවැන්ත සමාජ ආර්ථික බිඳවැටීමට මුහුණදීමට සමස්ත ලෝකය සූදානම් නොමැති බව බිල් ගේට්ස් පෙන්වා දෙයි. 
රැකියා අර්බුදයටත් වඩා භයානක ආරක්ෂක තර්ජනයක් කෙරෙහි ද බිල් ගේට්ස් අවධානය යොමු කර තිබේ. ඒ, මාරාන්තික ජෛව අවි පහසුවෙන් නිර්මාණය කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමේ හැකියාවය. ස්වාභාවික වසංගතයකට වඩා 50 ගුණයක අතිශය විනාශකාරී ජෛව ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ තාක්ෂණික මඟපෙන්වීම කෘත්‍රිම බුද්ධිය මඟින් සපයා දීමේ දැඩි අවදානමක් පවතින බව ද බිල් ගේට්ස් බිය පළ කරයි. 

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, අප පාලනයෙන් ගිලිහී යෑමට පෙර, ඊට රාජ්‍ය මට්ටමේ මැදිහත්වීම් සහ ජාත්‍යන්තර නියාමනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා පරමාණුක බලශක්තිය නිරීක්ෂණය කරන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වැනි සවිමත් ගෝලීය නියාමන ආයතනයක්, කෘත්‍රිම බුද්ධි කටයුතු මෙහෙයවීම සඳහා ද වහාම ස්ථාපිත කළ යුතු බවත් බිල් ගේට්ස් යෝජනා කරයි. 

 එමෙන්ම, කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වෙන යන්ත්‍ර භාවිතයෙන් මිනිස් රැකියා අහෝසි කරන සමාගම්වලින්, විශේෂිත රොබෝ බද්දක් අය කිරීම සහ අත්‍යවශ්‍ය රැකියාවලින් අවම වශයෙන් සියයට 40 ක් හෝ මිනිසුන් සඳහාම පූර්ණ ලෙස වෙන්කර තැබීම වැනි දැඩි නීතිමය පියවර ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු බවත් බිල් ගේට්ස් පවසයි. ලුසිත ජයමාන්න CNN ඇසුරිනි
තව කියවන්න

අම්මයි දුවයි

August 29, 2026
උදාරි වර්ණකුලසූරිය රිදී තිරයේත්, පුංචි තිරයේත් දක්ෂ සම්මානනීය නිළියක්. ඇයට දියණියක සිටින කියන කාරණය ගොඩක් දෙනෙක් දන්නවා. උදාරි ඇ‌ගේ ආදරණීය දියණිය වෙනුවෙන් මුහුණුපතේ සදහන් කරලා තිබුණේ මෙවැනි සටහනක්. ‘ඔයා ඔයාගේම කෙනෙක් වෙනවා, ඔයාගේම පියාපත් හොයා ගන්නවා, මම ඉන්නවා ඔයාට ඔල්වරසන් දෙන්න. ජීවිතේ ඔයා කොහේ ගියත්, ඔයාගේ ආරක්ෂිත තැන තමයි හැමදාම ඔයාගේ අම්මා.’ පසුගිය දා උදාරි දියණිය සමග ලස්සන photo shoot එකකටත් එක් වුණා. 
උදාරි ඔයාගේ දුව ගැන විස්තර කීවොත් ...
මගේ දුව ශෙනාර්යා විජේරත්න ගායිකාවක විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඇයට ලස්සනට ගීත ගායනය කරන්න පුළුවන්. ඇය සංගිතය හදාරන ගමන් උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. ඇය ඉන්නේ සිංගප්පූරුවේ. ‘ආයෙත් හමුවෙමු දිනකදී’ කියන ඇගේ අලුත්ම ගීතය රචනා කරන්නේ ඉසුරු වීරසිංහ. තනුව සහ සංගීත අධ්‍යක්ෂණය දක්ෂ, ජනප්‍රිය සංගීතඥ සංඛ දිනෙත්ගේ. මේ වෙද්දි රූප රචනයත් කරලා අවසන්. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ගීතය ගායනා කළා. මගේ කාර්යබහුලත්වය නිසා තාම රිලීස් කරගන්න බැරි වුණත් ඉතාම ඉක්මනින් රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

ශෙනාර්යා දකින්න ලැබෙන්නේ ගායිකාවක් විදිහටද? 
ඇයට ගොඩක් කලා හැකියාවන් පිහිටලා තියෙනවා. දැනට ඇය ගායිකාවක්. ඒ වගේම චිත්‍ර අඳින්නත් පුළුවන්. ගිටාර් වාදනය, පියානෝ වාදනය ඉතාම හොඳින් පුළුවන්. කනට ඇහෙන ඕනෙම සින්දුවක් පියානෝ එකෙන් වාදනය කිරීමේ හැකියාව තියෙනවා. අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් ගොඩක්ම දක්ෂයි. 

ඇය රංගනයට යොමු වෙන්නේ නැද්ද? 
එහෙම අදහසක් නැහැ. ඒත් කලාව ඇඟේම තියෙනවා. ඇය ඒක විනෝදාංශයක් විදිහට කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දුව ගැන මට හරිම ආඩම්බරයි. ඇය වෙනුවෙන් මහන්සි වුණු එක, කැපවුණු එක අපතේ ගියේ නෑ කියන සතුට දැනෙනවා. දුව ජීවිතයට ආපු එක මට ආශීර්වාදයක්. හරිම නිදහස් ළමයෙක්. කිසිම දෙයක් කියන්න ඕන නෑ. හැමදේම තනියම කරගන්නවා.
ධනංජය සිරිවර්ධනගේ ‘තාප්පෙන් පැන්නා’ සාමාන්‍ය රසවින්දනයට එහා ගිය ටෙලි නිර්මාණයක්. එහි ඇංජලාගේ භූමිකාවට පණ පොවන්නේ ද උදාරි ය. ඇංජලා යනු උදාරිගේ පුංචි තිරයේ අභියෝගාත්මකම රංගනයයි. ඒ වගේමයි, ‘තාප්පෙන් පැන්නා’ මොන වගේ අත්දැකීමක්ද? 
‘තාප්පෙන් පැන්නා’ ධනංජය සිරිවර්ධනගේ අධ්‍යක්ෂණයක්. චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගේ තිර රචනයක්. නිෂ්පාදනය චාමර සමරවික්‍රම. මං එහි සාමාන්‍ය රංගනයට එහා ගිය අත්දැකීමක් ලබනවා. ඇංජලා කියන්නේ ටිකක් සංකීර්ණ චරිතයක්. මම මේ ධනංජයත් එක්ක වැඩ කරන දෙවැනි අවස්ථාව. ධනංජය කියන්නේ ටිකක් වෙනස් විදිහට හිතන, වෙනස් විදිහට ලියන කෙනෙක්. මුලින්ම මටත් මේක ටිකක් අවබෝධ කරගන්න අමාරු වුණා. නමුත් හරවත් නිර්මාණයක්. 
තාප්පෙන් පැන්නට පස්සේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද? 
රනිල් කුලසිංහගේ ‘අවසන් ඡායාරූපය’ කියලා අලුත්ම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ මුල් පරිච්ඡේද ටික රූගත කරලා ඉවරයි. 
සිනමාව පැත්තෙනුත් උදාරිගෙ නම ඇහෙනවා නේද?
‘එකගෙයි සොකරි’ චිත්‍රපටය නොවැම්බර් මාසයේ තිරගත වෙනවා. ඒ එක්කම 'දේවි සම්බුලා' සහ 'සම්බුලා'  චිත්‍රපට ද්විත්වයත් එන්න නියමිතයි. ඊට අමතරව කලණ ගුණසේකර අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. මාත් එක්ක තුමිඳු දොඩම්තැන්න ප්‍රධාන භූමිකාවලින් සම්බන්ධ වෙනවා. මේක කළණගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. ඔක්තෝබර් මාසයේ ලංකාවේ සහ ඩුබායිවල රූගත කෙරෙනවා. 

උදාරි දෙමළ සිනමාවට සම්බන්ධ වුණා කියලා ආරංචියි? 
පසුගිය දවස්වල මට දෙමළ සිනමාපටයකට ආරාධනා ලැබුණා. මේ දිනවල ඒකෙත් රූගතකිරීම් සිදු වෙනවා. ෆිල්ම් එකේ නම ‘ග්‍රේ’. ලී මුරලිගේ අධ්‍යක්ෂණයක්. අධ්‍යක්ෂවරයා ජැෆ්නා ටැමිල් කෙනෙක් වුණත් ප්‍රඩක්ෂන් එක ඉන්දියාවේ. දකුණු ඉන්දියානු රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්කයි මං සම්බන්ධ වෙන්නේ. ග්‍රේ භාෂා හතරකින් නිර්මාණය වෙනවා. රටවල් ගණනාවකම ප්‍රදර්ශනය වෙනවා. මේක කාන්තාවක් මූලික කරගෙන නිපදවන සීරියල් කිලර් චිත්‍රපටයක්. 
තව කියවන්න

Aug 27, 2026

Toxic නිසා රුක්මිණීට විවේචන

August 27, 2026
‘Kantara: Chapter 1’ චිත්‍රපටයේ කනකවති ලෙස ප්‍රේක්ෂක ආදරය දිනූ සුරූපී රුක්මිණී වසන්ත්ගේ කැපී පෙනෙන රංගනයක් ද ‘Toxic: A Fairy Tale for Grown-Ups’ සිනමාපටයෙන් දකින්න ලැබේ. සුපිරි නළු යෂ්, කියාරා අද්වානි, නයන්තරා, හුමා කුරේෂි සහ තාරා සුතාරියා වැනි සුපිරි තරු පිරිවරාගත් මෙම දැවැන්ත නිර්මාණයේ රුක්මිණී වසන්ත් පණපොවන්නේ 'මැලීසා' ගේ චරිතයටය. 

චිත්‍රපටය තිරගත වීමත්, ඊට ලැබෙන යහපත්, අයහපත් ප්‍රතිචාර අතරේ, චිත්‍රපටයේ ඇති 29 හැවිරිදි රුක්මිණීගේ සරාගී දර්ශනයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වෙයි. මෙය, රුක්මිණීගේ රසික රසිකාවියන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි. ඇය 'ටොක්සික්' වැනි චිත්‍රපටයක, සරාගී දසුන්වලට පෙනී සිටීමට තීරණය කළේ ඇයිදැයි ඇගේ රසික රසිකාවියෝ විමසති. 
1996 දෙසැම්බර් 16 වනදා ඉන්දියාවේ බෙංගලූරු හිදී උපත ලැබූ රුක්මිණී වසන්ත්, වර්තමාන දකුණු ඉන්දීය සිනමාවේ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් වූ ප්‍රමුඛතම රංගන ශිල්පිනියකි. ඇගේ පියා 2007 වසරේදී රට වෙනුවෙන් දිවි පිදූ අශෝක චක්‍ර සම්මානලාභී කර්නල් වසන්ත් වේනුගෝපාල් වන අතර, මව ප්‍රවීණ භරතනාට්‍ය ශිල්පිනී සුභාෂිණී වසන්ත් ය. 
කුඩා කල සිටම කලාත්මක පරිසරයක හැදී වැඩුණු ඇය, රංගනය පිළිබඳ උසස් අධ්‍යාපනය ලන්ඩනයේ පිහිටි සුප්‍රකට 'Royal Academy of Dramatic Art' (RADA) ආයතනයෙන් හදාරමින් සිය ශිල්පීය හැකියාවන් තවදුරටත් ඔප්නංවා ගත්තාය. 

2019 වසරේ නිකුත් වූ 'Birbal Trilogy' කන්නඩ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රුක්මිණී වසන්ත්, රංගන දිවියේ විශාලතම හැරවුම් ලක්ෂ්‍යය වූයේ 2023 වසරේ 'Sapta Saagaradaache Ello' (Side A / Side B) චිත්‍රපටවල 'ප්‍රියා' ලෙස දැක්වූ අතිදක්ෂ රංගනයයි. ඒ වෙනුවෙන් ඇය Filmfare Critics Award සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. 
Kantara: Chapter 1 චිත්‍රපටයේ කනකවති ලෙස ...

ඉන්පසු රුක්මිණී වසන්ත්, රිෂබ් ශෙට්ටිගේ 'Kantara: Chapter 1' චිත්‍රපටයේ 'කනකවති' ගේ චරිතය හේතුවෙන් ඇය වයා රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ඒක් රොක් වූහ. කණ්ණඩ සහ තෙලිගු සිනමාවට පමණක් සීමා වුණු රුක්මිණී වසන්ත්, දැන්, යෂ් ප්‍රධාන චරිතය නිරූපණය කරන, 'Toxic: A Fairy Tale for Grown-Ups' හරහාඇය සමස්ත ඉන්දියානු සිනමාව තුළම තමන්ගේ නම සටහන් කර අවසන්ය.
තව කියවන්න

Classified_Ad