මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

mawitha

Stay Safe

Apr 2, 2026

ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුම ඇරැඹේ

April 02, 2026
ඒ, ඓතිහාසික අවස්ථාව සජීවීව දැක ගන්න ලොව පුරා ලක්ෂ ගණනක් සමඟ මම ද නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ වී සිටියෙමි. ලොව ප්‍රධාන පෙළේ විදෙස් පුවත් නාළිකා සියල්ලටම පාහේ මොහොතකට ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන යුද්ධය අමතක විය. 

ඇමෙරිකාවේ නාසා ආයතනයේ, ‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීහු සිවුදෙනා, එස්.එල්.එස්. හෙවත් ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති අධි බලැති රොකට්ටුව මුදුනට සම්බන්ධ කර තිබුණු ‘ඔරායන්’ ගගන කැප්සියුලයේ අසුන් ගෙන සිටියහ. 

‘ආටිමිස් 2’ වසර 57 කට පසු, යළි සඳට යෑමේ නාසා චන්ද්‍ර මෙහෙයුමය. ඇත්ත වශයෙන්ම ‘ආටිමිස් 2’ යනු පෙරහුරු මෙහෙයුමකි. ගගනගාමීන් රැඟත් ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳට ගොඩ බෑමක් කරන්නේ නැත. එය ගගනගාමීන් රැගෙන සඳට ගොස්, සඳ වටා කැරකී ආපසු පෘථිවියට එනු ඇත. ඒ දින 10 ක වික්‍රමයකින් පසුවය.

 ඉරානය සමඟ කෙහෙවලු පටලවාගෙන සිටින ඇමෙරිකාව, යුද ගිනි මැද මේ අයුරින් චන්ද්‍ර මෙහෙයුමක් ආරම්භ කිරීම සැබැවින්ම අපූරුය. මෙය ඇමෙරිකාවේ තාක්ෂණයේ බලමහිමය ලොවට පෙන්වීමකි. ඇමෙරිකාවේ අභ්‍යවකාශ ගවේෂණවල තරම ලොවට පෙන්වීමකි. සුළු වැරදීමකට හෝ ඉඩක් නොතිබුණි. මෙහෙයුම ඉතා අවදානම්ය. 

අද අප්‍රේල් දෙවැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් සවස 6.35 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 3.54) ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටුව ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට, නාසා පාලන මැදිරිය ගණන් කිරීම් ආරම්භ කළේය. 

“දහයයි, නවයයි, අටයි, හතයි, හයයි, පහයි, හතරයි, තුනයි, දෙකයි එකයි ...” රොකට්ටුවේ ප්‍රබල ඇන්ජින් පණ ගැන්විණි. මහා ගිගිරුම් හඬක් සමඟ, එය වේගයෙන් ඉහළට ඇඳී යෑම ආරම්භ විය. ඒ රැස්ව සිටි නරඹන්නන්ගේත්, නාසා ආයතනයේ තාක්ෂණශිල්පීන්, ඉන්ජිනේරුවන් ආදී මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. 

ප්‍රබල රොකට්ටුවේ ආධාරයෙන්, ගගනගාමීන් අසුන්ගෙන සිටි ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට තල්ලු කිරීම සිදුවිය. සැලැසුම් කළ ආකාරයටම, කිසිදු දෝෂයක් නොමැතිව, අදියරෙන් අදියර, රොකට්ටුව කැබලි වශයෙන් පහළ සාගරයට පතිත විය‍. සාගරයට වැටුණු එම කොටස් යළි ප්‍රයෝජනයට ගැනීමට ඒවා එකතු කිරීම සිදු කළේ ඇමෙරිකන් නාවික හමුදාවය. ඒවා යළි යළිත් භාවිතයට ගැනීම සිදුවෙයි. 

රොකට්ටුවෙන් මිදුණු ‘ඔරායන්’ ගගන කැප්සියුලය, සඳ බලා යන ගමන ආරම්භ කළේ ඉන්පසුවය. ඒ සඳහා ‘ඔරායන්’ ගගන කැප්සියුලය පණ ගැන්විණි. සියල්ල සාර්ථකයි යැයි නාසා පාලන මැදිරිය පැවැසීමත් සමඟ, ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ බලා යෑම ආරම්භ කළේය. 

මෙම වික්‍රමයට සහභාගී වන ගගනගාමීන් සිවුදෙනාගෙන් නාසා ගගනගාමීන් සිටින්නේ තිදෙනකු පමණි. සිවුවැන්නා නාසා ආයතනය සමඟ සමීපව කටයුතු කරන කැනඩා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමියෙකි. ඔහු ජෙරමි හැන්සන්ය. නාසා ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවක වීම විශේෂත්වයකි. ඇය ක්‍රිස්ටිනා හැමොක් කොච්ය. ඇය නිරන්තරයෙන් අභ්‍යවකාශ නැවතුම්පොළට ආ ගිය තැනැත්තියකි. අභ්‍යවකාශ ගමන් ගැන පලපුරුද්ද ඇති අයෙකි. 

සඳ බලා යන පළමු කාන්තාව ක්‍රිස්ටිනා වීම ද විශේෂත්වයකි. ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙන්නේ නාසා ගගනගාමී රීඩ් වයිස්මන්ය. කැප්සියුලයේ නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර්ය. මොවුන් දෙදෙනා ද පළපුරුදු ගගනගාමීන්ය. වික්ටර් ග්ලෝවර් කළු ජාතිකයෙකි. ඒ අනුව සඳ බලා යන පළමු කළු ජාතිකයා ගගනගාමියා ග්ලෝවර්ය. 

‘ආටිමිස් 2’ මෙහෙයුමේ සාර්ථකත්වය අනුව, නාසා ආයතනය වසර 2035 න් පසුව, ‘ආටිමිස් 3’ මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතය. එම මෙහෙයුමේ දී වැඩි දියුණු කරන ලද ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ මත පතිත කෙරේ. පළමුවෙන් කාන්තා ගගනගාමිනියක ද සඳ මත පය තැබීම සිදුවනු ඇත්තේ ‘ආටිමිස් 3’ මෙහෙයුමේදීය. 

 මීට 57 වසරකට පෙර, පළමුවෙන්ම මිනිසුන් සඳට යැවීම කළේ ද නාසා ආයතනයයි. 1969 ජූලි 20 ඇපලෝ 11 මෙහෙයුම යටතේ, නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූහ. ඉන් අනතුරුව, 1972 දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක විය. 

තවත් ගගනගාමීහු 12 දෙනෙක් වරින් වර සඳට බය තැබූහ. ඔවුන් පෘථිවියට රැගෙන ආ චන්ද්‍ර පාෂාණ ප්‍රමාණය කිලෝග්‍රෑම් 382 කි. සඳේ භූ විද්‍යාව පිළිබඳ මූලික දැනුම විද්‍යාඥයන්ට ලැබුණේ ඒ අනුවය. ඇපලෝ මෙන්ම ආටිමිස් ද ග්‍රීක දේව පුරාණයට සම්බන්ධ චරිත ලෙස සැලකෙයි. 

ඇපලෝ ග්‍රීක දේවකතාවලට අනුව, සූර්යයාට අධිපති දෙවියාය. සූර්යයාට අධිපති දෙවියා වුවත්, 1960 සහ 70 දශකවල සඳට ගගනගාමීන් රැගෙන ගිය මෙහෙයුම් ඇපලෝ නමින් නම් කෙරුණි. ග්‍රීක දේව පුරාණයට අනුව ආටිමිස් යනු ඇපලෝ දෙවියාගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට අධිපති දෙවඟනය. 

 බොහෝ දෙනකු අසන්න වූ ප්‍රශ්නයක් නම් ඇපලෝ මෙහෙයුම් මාලාවේ ඇපලෝ 17 චන්ද්‍ර මෙහෙයුමෙන් පසු ගගනගාමීන් සඳට නොගියේ ඇයි ද යන්නය. සඳ ගමන ලොකු බොරුවක්දැයි ද ප්‍රශ්න කෙරුණි. 

ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු ගගනගාමීන් සඳට නොයෑමට ප්‍රධාන හේතුව අධික වියදමය. ඇපලෝ 11 මෙහෙයුම හරහා පළමු සඳ ගමන සිදුවූයේ ඇමෙරිකාව සහ සෝවියට් දේශය (අද රුසියාව) නිරවි යුද සමයේ එකිනෙකාගේ බලපුළුවන්කාරකම් පෙන්වද්දීය. 

අවසානයේ අභ්‍යවකාශය සහ අවසානයේ සඳ ජය ගැනීමේ මෙහෙයුමෙන් ජයග්‍රහණය කළේ ඇමෙරිකාවය. සඳ ජය ගැනීමෙන් පසු ඇමෙරිකාවට අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මුදල් වැය කිරීමේ දේශපාලනික අවශ්‍යතාවය අඩු විය. නාසා ආයතනය අභ්‍යවකාශ ෂටල සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ කෙරෙහි අවධානය යොමු කළේය. 

යළිත් වරක් සඳට යා යුතු යැයි නාසා ආයතනය දිරිමත් කළ තැනැත්තා වන්නේ ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් යළි සඳට යා යුතු යැයි පවසමින්, නාසා ආයතනය උනන්දු කළේ 2020 දීය. ඒ, ඔහුගේ පළමු ධුර කාලයේදීය. ට්‍රම්ප් සිය පළමු ධුරය හෙබවූයේ, 2017 සිට 2021 දක්වාය. 

‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ වෙන්නැයි නාසා ආයතනය මෙම වසර ආරම්භයේ දී ලෝකවාසීන්ට ආරාධනා කර තිබුණි. ‘ආටිමිස් 2 සමඟ ඔබේ නමත් සඳට යවන්න’ වැඩසටහන යටතේය. මා ද ඇතුළත්ව, දහස් ගණනින් ලොකු කුඩා කවුරුත් තම තමන්ගේ නම් ඊට ඉදිරිපත් කළේ නාසා වෙබ් අඩවිය හරහා සම්බ්නධ වී, අදාළ පෝරමය පුරවමිණි. එසේ යොමු කෙරුණු නම් ලැයිස්තුව, ඩේටා කාඩ්පතකට ඇතුළත් කර ඇති අතර, ‘ඔරායන්’ ගගන කැප්සියුලය එම ඩේටා කාඩ්පත ද රැගෙන යෑම සිදුවෙයි. 

ලුසිත ජයමාන්න 
ස්තුතිය - නාසා ආයතනයට
තව කියවන්න

Mar 28, 2026

හතරගාතයෙන් පතබෑවෙන හැටි

March 28, 2026
කොතරම් උසකින් වැටුණත් බළල් යාළුවෝ හතරගාතින් වැටෙන්නේ ඇයි? ඕනෑම උසක සිට බිමට වැටුණත්, බළලුන් සැමවිටම හතරගාතින් පතිත වෙන්නේ, කිසිදු අනතුරක් නොමැතිවය. එසේ වන්නේ කෙසේදැයි දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වී තිබුණි. 

ජපානයේ යමගුචි විශ්වවිද්‍යාලයේ පර්යේෂක යසුඕ හිගුරාෂි ඇතුළු කණ්ඩායම, සිදු කළ අලුත්ම අධ්‍යයනයකින් හෙළිවන්නේ, බළලාගේ මෙම සුවිශේෂී හැකියාව පිටුපස ඇත්තේ ඔවුන්ගේ කොඳු ඇට පෙළේ ඇති අසාමාන්‍ය ව්‍යුහය බවය. මෙම පර්යේෂණයට අනුව බළලාගේ කොඳු ඇට පෙළ එකම ඒකකයක් ලෙස නොව, කොටස් දෙකක් ලෙස ක්‍රියා කරයි. 
බළලාගේ කොන්දේ ඉහළ කොටස (උරස් ප්‍රදේශය) ඉතාමත් නම්‍යශීලීව කැරකැවිය හැකි අතර, පහළ කොටස (කටී ප්‍රදේශය) තරමක් තද ස්වභාවයක් ගනී. බළලකු උසක සිට වැටෙන විට, ප්‍රථමයෙන් මෙම නම්‍යශීලී ඉහළ කොටස වේගයෙන් කැරකී හිස සහ ඉදිරි පාද බිමට මුහුණ ලන පරිදි සකසා ගනී. 

ඉන් මොහොතකට පසු තද ස්වභාවයෙන් යුත් පහළ කොටස කැරකෙමින් සිරුරේ සමබරතාවය තහවුරු කරයි. ජපන් පර්යේෂකයන්, අධිවේගී කැමරා තාක්ෂණය (High-speed footage) භාවිත කරමින් බළලුන් බිමට වැටෙන ආකාරය රාමුවෙන් රාමුව නිරීක්ෂණය කරන ලදී. 

එහිදී පෙනී ගියේ බළලාගේ උරස් කොඳු ඇට පෙළ අංශක 47 ක් දක්වා කිසිදු ප්‍රතිරෝධයකින් තොරව කරකැවිය හැකි බවය. මෙම නිදහස් චලනය නිසා බළලාට ඉතා අඩු ශක්තියක් වැය කරමින් තත්පරයකින් ඉතා සුළු කොටසකදී තම ඉදිරිපස සිරුර හැරවීමට හැකියාව ලැබේ. 

කොන්දේ පිටුපස කොටස තදින් පැවතීම මගින් එම හැරවීමට අවශ්‍ය ‘නැංගුරමක්’ ලෙස ක්‍රියා කරමින් සිරුර පාලනයකින් තොරව කරකැවීම වළක්වයි. 

ලුසිත ජයමාන්න 
Live Science
තව කියවන්න

රාම් චරන්ගේ අලුත් පෙනුම

March 28, 2026
Mega power star රාම් චරන් යනු සැමවිටම අධ්‍යක්ෂකවරයාගේ දැක්ම යථාර්ථයක් කිරීමට ඕනෑම අභියෝගයක් භාරගන්නා නළුවෙකි. සිය නවතම සිනමා නිර්මාණය වන ‘පෙඩ්ඩි’ (Peddi) චිත්‍රපටයේ ‘පෙඩ්ඩි පෙහ්ල්වාන්’ (Peddi Pehlwan) චරිතය වෙනුවෙන් ඔහු සිදුකර ඇති දැවැන්ත ශාරීරික වෙනස්කම හරහා ඔහු එය නැවත වරක් සනාථ කර තිබේ. 

 ප්‍රවීණ උපදේශකයන්ගේ මඟපෙන්වීම යටතේ කායවර්ධන ව්‍යායාමවල යෙදෙමින්, ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි ප්‍රබල දේහ විලාසයක් ගොඩනැඟීම සැබවින්ම විස්මිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. අධ්‍යක්ෂක බුචි බාබු සානා මෙම තිර පිටපත කියවන විට, පෙහ්ල්වාන්වරයෙකුගේ පෙනුම ලබා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බව රාම් චරන් වටහා ගත් බව පැවසෙයි. 
නිරෝගී සිරුරක් පවත්වා ගනිමින් මෙලෙස මස්පිඩු වර්ධනය කිරීම මාස ගණනාවක දැඩි කැපවීමක් ඉල්ලා සිටිය ද, ඔහු එය අභියෝගයක් ලෙස භාර ගත්තේය. අද වන විට ඔහුගේ එම Beastly පෙනුම සිනමා ලොව පුරා දැඩි කතාබහට ලක්ව ඇත්තේ ඔහුගේ නොපසුබට උත්සාහය නිසාමය. 

 පෙහ්ල්වාන් (Pehlwan) යනු දකුණු ආසියාතික රටවල, විශේෂයෙන් ඉන්දියාව, පකිස්ථානය සහ ඉරානය වැනි රටවල සාම්ප්‍රදායික මල්ලවපොර ක්‍රීඩකයින් හැඳින්වීමට භාවිතා කරන නාමයයි. මොවුන් නිරත වන මෙම පාරම්පරික මල්ලවපොර කලාව පෙහ්ල්වානි (Pehlwani) හෝ කුෂ්ති (Kushti) ලෙස හැඳින්වේ. 

වෙන්කට සතීෂ් කිලාරු නිෂ්පාදනය කරන, ජාන්වී කපූර් ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන මෙම දැවැන්ත සිනමා පටය ඒ.ආර්. රහ්මාන්ගේ සංගීතයෙන් හැඩවේ. ලොව පුරා සිනමා ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින ‘පෙඩ්ඩි’ එළඹෙන අප්‍රේල් 30 වනදා තිරගත වීමට නියමිතය. 

ලුසිත ජයමාන්න 
Telugu 360 ඇසුරිනි
තව කියවන්න

සමන්තාගේ Maa Inti Bangaaram

March 28, 2026
දකුණු ඉන්දීය සිනමාවේ මෙන්ම බොලිවුඩයේද අතිශය ජනප්‍රිය නිළි සමන්තා රුත් ප්‍රභූ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇගේ නවතම තෙළිඟු සිනමා නිර්මාණය Maa Inti Bangaaram (අපේ ගෙදර රත්තරං) මැයි 15 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. 

පසුගිය දා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා චිත්‍රපටයේ නවතම පෝස්ටරයක් නිකුත් කරමින් සමන්ත මේ බව නිල වශයෙන් තහවුරු කර ඇත. සමන්තා එහි සටහන් කර තිබුණේ මැයි 15 වැනිදා සිනමාහල්වලදී හමුවෙමු යනුවෙනි.
Maa Inti Bangaaram චිත්‍රපටය විශේෂ වන්නේ සමන්ත එහි ප්‍රධාන නිළිය ලෙස පමණක් නොව නිෂ්පාදිකාවක ලෙසද කටයුතු කිරීම හේතුවෙනි. සුප්‍රකට අධ්‍යක්ෂිකා බී.වී. නන්දිනී රෙඩ්ඩි විසින් අධ්‍යක්ෂණය කරන Maa Inti Bangaaram චිත්‍රපටයේ, සංගීත අධ්‍යක්ෂණයෙන් සුප්‍රකට සංගීතවේදී සන්තෝෂ් නාරායනන් එක්වෙයි. 

නන්දිනී රෙඩ්ඩි සහ සමන්ත මීට පෙර Oh! Baby වැනි සාර්ථක චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සුසංයෝගයක් බැවින් මෙම නිර්මාණය පිළිබඳවද සිනමාලෝලීන් තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. 

නිෂ්පාදිකාවක ලෙස සිය ගමන පිළිබඳව අදහස් දක්වමින් සමන්ත පවසා ඇත්තේ, Maa Inti Bangaaram යනු ආදරය, සහජීවනය සහ අපේ බැඳීම්වල ඇති වටිනාකම් නිරූපණය කිරීමක් කියාය. 

රංගන ශිල්පිනියකගේ සිට නිෂ්පාදිකාවක දක්වා පැමිණි ගමන තමන්ට බොහෝ දේ උගන්වන ලද පරිවර්තනයක් බවත්, ප්‍රේක්ෂක හදවත්වලට සමීප වන කථාන්දර නිර්මාණය කිරීම සිය අරමුණ බවත් සමන්තා පවසන්නේ මහත් සතුටිනි. 

මෙම චිත්‍රපටයට අමතරව, ඉදිරියේදී Netflix හරහා විකාශනය වීමට නියමිත Rakt Brahmand: The Bloody Kingdom වෙබ් කතා මාලාවෙන් ද අපට සමන්තාව දැක ගැනීමට හැකිවනු ඇත. 

Tumbbad චිත්‍රපටයෙන් නමක් දිනාගත්, රාහි අනිල් බර්වේ අධ්‍යක්ෂණය කළ Rakt Brahmand: The Bloody Kingdom කතා මාලාවේ ජනප්‍රිය නළුවකු වන ආදිත්‍ය රෝයි කපූර් ද දකින්න ලැබෙයි. 

ලුසිත ජයමාන්න 
NDTV ඇසුරිනි
තව කියවන්න

යුද්ධයට මාසයයි

March 28, 2026
ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන ගැටුම ආරම්භ වී අදට (28) මාසයක් ගතවෙයි. තවමත් ගැටුම අවසන් වන බවක් පෙනෙන්නට නැත. සති 4 කින් සියල්ල අවසන් වේවි යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවත්, ගැටුම අවසන් වන බවක් පෙනෙන්නට නැත. ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් නොයෙක් දේ කියයි. සමහර කරුණු කාරණා පරස්පර විරෝධීය. 

ඉරානයේ ඉහළ ප්‍රධාන ප්‍රබලයකුගේ බැගෑපත් වීමෙන් ඉරානය සමග සාකච්ඡා ආරම්භ කළ බව ට්‍රම්ප් කියයි. මේ ප්‍රබලයා ඉරාන කතානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විය හැකි යැයි විදෙස් මාධ්‍ය අනුමාන කරන නමුත් එය සනාථ වී නැත. ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමක් ගැන ඉරාන රජය හෝ එරට විප්ලවීය ආරක්ෂක බලකාය හෝ කිසිවක් නිල වශයෙන් පවසා නැත. ඉරාන කතානායක මොහොමඩ් බාගර් ගලිබාෆ්ට තනි තීරණ ගැනීමට බලයක් ද නැත. ගන්නා ඕනෑම තීරණයක් සඳහා උත්තරීතර නායකයාගේ අනුමැතිය අවශ්‍ය වෙයි.

ඇමෙරිකාවෙන් එල්ල වන ගොඩබිම් ප්‍රහාර සඳහා තමන් සූදානම් යැයි ඉරානය පවසා ඇති අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඇමෙරිකන් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත්තේ ඇමෙරිකන් හමුදා පැමිණෙන තුරු ඉරානය බලා සිටින බවය. ඉරානය ඇමෙරිකාව සමග සාකච්ඡා කරන නමුත්, එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට ඔවුන් ලැජ්ජාවෙන් පසුවන බව ට්‍රම්ප් කියයි. ඉරාන උත්තරීතර නායක පදවිය තමන්ට පිරිනැමීමට ඉරානය උත්සාහ කළ නමුත් තමන් එය ප්‍රතික්ෂේප කළේ යැයි ට්‍රම්ප් විහිළු කරයි. ට්‍රම්ප්ගේ විහිළුවලට සීමාවක් නැත. 

ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර දිගින් දිගටම එල්ල වෙද්දී, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමූ අතර, තෙල් ගෑස් මිල ඉහළ ගියේය. සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් ඉරානය, තෙල් නැව් 10 කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අවසර දුන් බව ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. 

මෙය ඇමෙරිකාවට ලැබුණු විශාල තෑග්ගක් යැයි ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. තමන් අවංක සහ ස්ථාවර බව පෙන්වීම සඳහා තෙල් නැව් 8 කට අවසර ලබා දෙන බව ඉරානය මුලින් ප්‍රකාශ කළද, අවසානයේදී එය තෙල් නැව් 10 ක් වූයේ යැයි ට්‍රම්ප් ඊයේ (27) මාධ්‍ය හමුවේ පැවැසුවේය. 

හෝමූස් සම්පූර්ණයෙන් විවෘත නොකරන්නේ නම් ඉරානයේ බලශක්ති පද්ධති සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දිගට හරහට ප්‍රහාර එල්ල කරනවා යැයි ට්‍රම්ප් අවසන් නිවේදනයක් නිකුත් කළේ පළමුවෙන් ඉරානයට පැය 48 ක් කළ් දෙමිනි. දැන් සාකච්ඡා පැවැත්වෙන බැවින්, එම පැය 48, අප්‍රේල් 6 තෙක් කල් දැමීමට ට්‍රම්ප් පියවර ගෙන ඇත. ට්‍රම්ප් මෙසේ කල් මරන්නේ ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි. 

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසීරි, මරා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායලය පැවැසීය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් වගකීම දැරුවේ තංසීරි බව පැවැසෙයි. මේ අතර සෞදිය, කටාර් රාජ්‍යය සහ එමිරේට්ස් රාජ්‍යය ඉරානයට තර්ජනය කර ඇත. ඒ, ඉරානය එම රටවලට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර තවත් ඉවසිය නොහැකි බව පෙන්වා දෙමිනි.

පෙබරවාරි 28 වැනිදා ආරම්භ වුණු යුද ගැටුම් පාලනය කිරීමට නොහැකි ආකාරයට ඔඩුදුවමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කනස්සල්ල පළ කර ඇත. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මේ බව පැවැසුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. 

ගැටුම් නැවැත්වීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවය. ඉරානය අසල්වැසි ගල්ෆ් කලාපීය රටවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයා සිය අප්‍රසාදය පළ කිරීම විශේෂත්වයකි. ‘ගැටුම් උත්සන්න වී අවසන්. එය පාලනයකින් තොරව ඔඩුදුවනවා. ඒක දැන් නවත්වන්න ඕනෑ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වීම කළ යුතුයි. සියලු පාර්ශ්වකරුවන් ජාත්‍යන්තර නීතිවලට අනුව කටයුතු කළ යුතුයි. කෙසේ හෝ සාමය ස්ථාපිත විය යුතුයි.’ මේ ජගත් මහ ලේකම්වරයාගේ අදහසය. 

ඇමෙරිකාව ගොඩබිම් ප්‍රහාරයකට පැමිණෙන්නේ නම්, එම හමුදා සමග සටන් වැදීමට මිලියනයක සටන්කාමීන් පිරිසක් සූදානමින් සිටින බව ද ඉරානය පවසා ඇත. එම මිලියනයට ස්වේච්ඡාවෙන් එක්වුණු තරුණයන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා තමන්ට අයත් කාර්ග් දූපත අල්ලා ගැනීමට සූදානමින් සිටින බව ද ඉරානය පවසයි. කාර්ග් දූපත (Kharg Island) යනු පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ඉරානයට අයත් අතිශය වැදගත් උපායමාර්ගික දූපතකි. මෙය ලෝකයේ ප්‍රධානතම බොරතෙල් අපනයන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙයි. 

ගැටුම් ආරම්භ වී මාසයක් යද්දී, ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 2,000 ක් බව පැවැසෙයි. එයින් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් වීම කනගාටුවට කරුණකි. ප්‍රහාරවලින් තුවාල ලැබූ ඉරාන වැසියන් ගණන 25,000 ඉක්මවා ඇත. ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් මියගිය ඇමෙරිකන් හමුදා සාමාජිකයන් ගණන 13 කි. තුවාල ලැබූවන් ගණන 200 කි. ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගණන 20 ක් බවත්, තුවාල ලැබූ ගණන 5,300 ක් බවත් වාර්තා වේ. 

ඊට අමතරව, ඉරාන ප්‍රතිප්‍රහාරවලින් ඕමානයේ තිදෙනකු මියගිය අතර, තුවාල ලැබූ ගණන 15 කි. සෞදියේ පුද්ගලයන් දෙදෙනකු මියගිය අතර තුවාල ලැබූ ගණන 20 කි. කටාර් රාජ්‍යයේ තුවාල ලැබූ ගණන 16 කි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් මරණ 11 ක් වාර්තා වන අතර, තුවාල ලැබූ ගණන 169 ක් බව පැවැසෙයි. බහරේනයෙන් මරණ තුනක් වාර්තා වේ. 

බොහෝ දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. ජෝර්දානයෙන් මරණ වාර්තා වී නොමැති අතර තුවාල ලැබූ ගණන 28 කි. කුවේටයෙන් මරණ හයක් වාර්තා වේ. තුවාල ලැබූ ගණන බොහෝය. ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් සිරියාවේ සිවු දෙනකු මියගිය බව පැවැසෙයි. පලස්තීනයේ මියගිය ගණන 4 කි. ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම පහර දෙයි.

එම ප්‍රහාර හේතුවෙන් මියගිය ගණන 1,094 කි. 3,119 දෙනකු තුවාල ලබා ඇතැයි ලෙබනන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතරේ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය එක රැයින් නිර්මාණය වූවක් නොවෙයි. එය ඉතා සංකීර්ණ දේශපාලනික සහ ආරක්ෂක කරුණු මත පදනම් වූවක් යැයි කීවොත් නිවැරදිය. 

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව විශ්වාස කරන්නේ ඉරානය, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, රහසිගතව න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කරන බවය. ඉරානය සතුව න්‍යෂ්ටික බෝම්බ (න්‍යෂ්ටික අවි) තිබීම මුළු මැදපෙරදිග කලාපයේම බල තුලනය වෙනස් කරනු ඇති බවත්, එය තමන්ගේ පැවැත්මට තර්ජනයක් බවත් ඊශ්‍රායලය නිරන්තරයෙන් කරන චෝදනාවකි. ඉරානය මැදපෙරදිග පුරා විවිධ සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දක්වයි. 

මේ යුද්ධයේදි ප්‍රොක්සි යනුවෙන් හැඳින්වෙන්නේ මෙම සන්නද්ධ අනු කණ්ඩායම්ය. ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූති, ගාසා තීරයේ හමාස් සහ ඉරාකයේ ෂියා මුස්ලිම් සන්නද්ධ කල්ලි මීට අයත්ය. ඉරානය සෙමින් පැත්තකට වී සිටියදී, මෙම සන්නද්ධ කල්ලි ඉරානය වෙනුවෙන් කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි. 

මෙය ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට ගැටලුවකි. මෙම සන්නද්ධ කල්ලිවලින්, සෞදි අරාබිය, කටාර්, එමිරේට්ස්, බහරේන් වැනි තම මිත්‍ර රටවල් ආරක්ෂා කර ගැනීමටත් සහ ජාත්‍යන්තර වෙළඳ මාර්ග සුරක්ෂිතව තබා ගැනීමටත් ඇමෙරිකාවට සිදුවී ඇත. 2020 වසරේදී, ට්‍රම්ප් සිය පළමු ධුරය හොබවද්දී, ඇමෙරිකා හමුදාව, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ කුද්ස් අතිරේක බලඇණියේ අණ දෙන නිලධාරී, කසීම් සුලෙයිමානී ඝාතනය කළේය. ප්‍රොක්සි කල්ලි බොහොමයකට අවි ආයුධ දීම පුහුණුව දීම කළේ සුලෙයිමානීය.

ඊට අමතරව, ඇමෙරිකා-ඉරාන විරසකයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන්නේ 1979 වසරේ සිදු වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයයි. එම විප්ලවයෙන් අනතුරුව, ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 52 දෙනකු ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟ දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර, එතැන් සිට දෙරටේ සබඳතා සැකය, විරසකය සහ ගැටුම් මත පදනම් විය. මෙම වෛරී සහගත සබඳතාව තවදුරටත් උග්‍ර වීමට හේතු වූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනය. 

ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන බවට ඇමෙරිකාව නිරන්තරයෙන් චෝදනා කරන අතර, එම තර්ජනය පාලනය කිරීමට ගෙන ආ 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් 2018 වසරේදී ඇමෙරිකාව ඉවත් වීම තත්ත්වය තවත් උත්සන්න කෙරුණි. 

මේ සියලු කරුණු කාරණා මැද, ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනවා යැයි මාස ගණනක් තිස්සේ අනතුරු අඟවමින් සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලය ද එකතු කර ගනිමින් ඉරානයට පහර දීමට තීරණය කළේය. ඒ, පෙබරවාරි 27 වැනිදාය. ට්‍රම්ප් ඒ බව සෙන්ට්කොම් CENTCOM වෙත දැනුම් දුන්නේය. සෙන්ට්කොම් CENTCOM යනු එක්සත් ජනපද මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය යන්නය. 

මෙය ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති ප්‍රධාන සටන්කාමී අණදෙන මධ්‍යස්ථාන එකොළහෙන් එකකි. CENTCOM හි මූලික වගකීම මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාවේ සමහර කොටස් ඇතුළුව රටවල් 20 කට අධික ප්‍රදේශයක ඇමෙරිකා ආරක්ෂක අවශ්‍යතා තහවුරු කිරීම සහ ප්‍රවර්ධනය කිරීමය. කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ විවිධ තර්ජනවලට මුහුණ දීමට මෙය ක්‍රියා කරයි. 

 ට්‍රම්ප්ගේ නියෝගය අනුව, ඇමෙරිකන් හමුදාව, ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ඇරඹූ මෙහෙයුම, ‘ඔපරේෂන් එපික් ෆියුරි’ යනුවෙන් නම් කර ඇති අතර, ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ මෙහෙයුම ‘ඔපරේෂන් ලයන්ස් රෝර්’ යන නමින් නම් කර ඇත. ඉරානයේ ඉලක්කවලට පහර දීමට ඇමෙරිකන් හමුදාව ටොමහෝක් මිසයිල සහ යුද හයිමාර්ස් රොකට් පද්ධති භාවිතය ඇරැඹුවේය. 

බී2 බෝම්බ හෙලන යානා, බී1 ලාන්සර් සහ බී35 ස්ට්‍රැටෝෆෝට්‍රස් වැනි ප්‍රබල ගුවන් යානා යොදා ගත්තේය. ඇමෙරිකන් හමුදාව පහර දුන්නේ ඉරානය අභ්‍යන්තරයේ පිහිටි ඉරාන විප්ලවීය හමුදාවේ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ගෙනය. ඇමෙරිකාව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ මර්මස්ථානවලට පහර දෙද්දී, ඊශ්‍රායලය ඉරාන ඉස්ලාමීය රජයේ නායකත්වය සහ හමුදාවේ නායකත්වය ඉලක්ක කර ගනිමින් පහර දෙන්නට විය. 

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ඉරාන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකු සමග කාමේනිගේ නිවසේ පහළින් වූ ආරක්ෂිත බංකරයට රැස්වී සිටි අතර, ඔවුන් උදෑසන ආහාරයට සූදානම් වෙද්දී, ඇමෙරිකන් මිසයිලයක් ඔවුන් සොයා පැමිණියේය. ඒ, බ්ලූ ස්පැරෝ නමැති බැලස්ටික් මිසයිලයක් යැයි පැවැසෙයි. කමේනීගේ පවුලේ අය, බිරිඳ, වැඩිමල් පුතු, දියණිය, දියණියගේ කුඩා දරුවෝ ආදී සියලු දෙනා ප්‍රහාරයෙන් මියගියහ. 

වර්තමානයේ කාමේනිගෙන් පසු ඉරානයේ උත්තරීතර නායකත්වය හිමිවී ඇත්තේ මුජ්ටාබා කමේනී, අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයාය. ඔහු ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත්තේය. ඔහුගේ බිරිඳ ප්‍රහාරයෙන් මියගියාය. ඒ අනුව, වර්තමානයේ ඉරානයේ උත්තරීතර නායකයා ලෙස එම ධුරයට පත් කරනු ලැබ සිටින්නේ තම පවුලේ සියලු දෙනාත්, තම බිරිඳත් අහිමිවූ තැනැත්තකුටය. ඔහු ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමග කොතරම් වෛරයකින් පසුවෙනවා විය හැකිද? 

 පෙබරවාරි 28 වැනිදා ඉරානයේ අගනුවර වූ ටෙහෙරාන් ද ඇතුළු ප්‍රධාන නගර රැසකට ප්‍රහාර එල්ල විය. ටෙහෙරාන් අගනුවර විශ්වවිද්‍යාල වීදිය සහ ජොම්හූරි ප්‍රදේශයට මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර, කොම්, කර්මන්ෂා, ඉස්ෆහාන් සහ කරාජ් වැනි නගර ද දැඩි හානියට පත්විය. 

මිනාබ් ප්‍රදේශයේ පිහිටි ෂජරේ තයියෙබේ බාලිකා ප්‍රාථමික විදුහලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පාසල් දැරියෝ 180 කට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්වූහ. ලාමර්ඩ් නගරයේ ක්‍රීඩාගාරයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුහුණුවීම්වල නිරතව සිටි පාසල් දැරියන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා විය. 

ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාරයක් වන බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය සහ ඒ අවට ප්‍රදේශයට ද ප්‍රබල ප්‍රහාර එල්ල විය‍. බැලස්ටික් මිසයිල වර්ගයක් ලෙස සැලකෙන බ්ලූ ස්පැරෝ, මිසයිල තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්වන නවීන අවියකි. 

මෙය නිපදවන්නේ, ඊශ්‍රායලයේ රෆායෙල් උසස් ආරක්ෂක පද්ධති ආයතනයයි. මෙය සාමාන්‍ය මිසයිල මෙන් පොළොවේ සිට ගුවනට විදින්නේ නැත. සතුරු ඉලක්කය හඳුනා ගත් පසු එෆ් 15 ඊගල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් මෙම මිසයිලය ගුවනට රැගෙන ගොස් එය මුදා හැරීම සිදු කරයි. ඉන්පසු මිසයිලය පණ ගැන්වී එය පළමුවෙන් පෘථිවි කක්ෂයේ වායු ගෝලයේ ඉහළ කෙළවර දක්වා ඉහළට වේගයෙන් ගමන් කරයි. 

වායු ගෝලයේ ඉහළ කෙළවර දක්වා ගිය මිසයිලය ඉන්පසු ආපසු හැරී අදාළ ඉලක්කයට පැමිණෙයි. ඒ, ඉතා වේගයෙනි. බ්ලූ ස්පැරෝ මිසයිලය දිගින් මීටර් 6.5 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 1,900 ක් පමණ වෙයි. මෙයට කිලෝමීටර් 2,000 ක් වැනි ඉතා ඈත ඉලක්ක කරා වුවද ඉහළ නිරවද්‍යතාවකින් ළඟා වීමේ හැකියාව පවතී. 

සිය නිවසේ අධි ආරක්ෂක බංකරයේ සිටි ඉරාන උත්තරීතර නායකයා සොයා මිසයිලය පැමිණියේ එලෙසිනි. මිසයිලයට අදාළ ඉලක්කය ගැන සියලු තොරතුරු ලබා දුන්නේ ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශ ඔත්තුකරුවන්ය. යුද්ධය ආරම්භ වුණු දිනයේ ඊශ්‍රායලය, ඉරානයට පහර දීමට ප්‍රහාරක යානා 200 ක් භාවිතයට ගත්තේය. 

බ්ලූ ස්පැරෝ පමණක් නොව, බ්ලැක් ස්පැරෝ නමැති අලුතින් නිපදවන ලද බැලස්ටික් මිසයිල ද ඔවුහූ භාවිත කළහ. ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිචාර දක්වමින්, ඉරානය ආරම්භ කළ හමුදා මෙහෙයුම ටෲ ප්‍රොමිස් ය. ඉරානය ඊශ්‍රායලයටත් සහ අසල්වැසි ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර ගනිමිනුත් ප්‍රබල බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. 

බහරේනයේ ඇමෙරිකන් නාවික හමුදාවේ පස්වන බලඇණියට අයත් සේවා මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර, ඊශ්‍රායලයේ හයිෆා සහ ටෙල් අවිව් යන නගරවලට ද මිසයිලවලින් හානි සිදු විය. ඊශ්‍රායලයේ අයන්ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය අඩපණ කර දැමීමට ඉරාන බැලැස්ටික් මිසයිල සමත් විය. 

එදා එනම් 28 වැනිදා ටෙල් අවිව් නුවර ජනාවාස ප්‍රදේශයකට ද ප්‍රහාර එල්ල විය. ඉරාන විප්ලවීය හමුදාව පැවැසුවේ මැදපෙරදිග පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුරු හතරක් තමන් ඉලක්ක කරගත් බවය. 

ඒ අනුව, කටාර් අල් උඩේඩ්, කුවේටයේ අලි අල් සලීම්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා සහ බහරේනයේ පිහිටි ඇමෙරිකන් නාවික හමුදා මූලස්ථානය වෙත මෙම ප්‍රහාර එල්ල විය. 

බහරේනයේ මනමා අගනුවර දුම් පටල සහ පිපිරීම් වාර්තා වූ අතර, එමීර් රාජ්‍යයේ සහ කුවේටයේ ගුවන් තොටුපළවල් ආශ්‍රිතව ද පිපිරීම් සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය. 

සෞදි අරාබියේ රියාද් සහ නැගෙනහිර පළාතට එල්ල වූ ප්‍රහාර හමුදාව විසින් ව්‍යර්ථ කරනු ලැබූ අතර, ඕනෑම ආක්‍රමණයකට එරෙහිව දැඩි පියවර ගන්නා බව සෞදි රජය අනතුරු ඇඟවීමක් කළේය. 

 පෙබරවාරි 28 වැනිදා දවස අවසන් වෙද්දී, ඩුබායි නගරයේ බර්ජ් කලීෆා සහ ඩුබායි මරීනා වැනි ජනාකීර්ණ ප්‍රදේශ ආසන්නයට ද ප්‍රහාර එල්ල විය. ඩුබායි හි සුප්‍රසිද්ධ ෆෙයාර්මොන්ට් ද පාම් හෝටලයේ ගින්නක් ද හට ගැනුණි. අබුඩාබි සහ ඩුබායි වෙත එල්ල වූ මිසයිල අතරමගදී විනාශ කිරීමේදී කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් බර්ජ් අල් අරාබ් හෝටලයට ද හානි විය.

 මෙම ප්‍රහාර සඳහා ඉරානය, ඔවුන්ගේ ෂහීඩ් ඩ්‍රෝන යානා බහුලව භාවිත කළේය. ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ පිහිටි ඇමෙරිකන් කොන්සල් කාර්යාලය සහ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද ඉරාන ප්‍රහාරයන්ට ලක් වූ අතර, ජෝර්දාන ගුවන් සීමාවට ඉරානයෙන් බැලැස්ටික් මිසයිල ඇතුළු විය. 

කටාර් රාජ්‍යය ද ඉරාන මිසයිල ප්‍රහාර මාලාවක් වළක්වා ගත්තේය. මේ වන විට ඇමෙරිකා සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානය ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර වැඩි කර තිබේ. 

ඊයේ (27) ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ඉස්ෆහාන් නගරය වෙත ඊශ්‍රායලය විසින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබීය. ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු මාධ්‍ය හමුවේ පැවැසුවේ, මේ වන විට ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන නිෂ්පාදන පහසුකම්වලින් තුනෙන් දෙකක්ම විනාශ කර දමා ඇති බවය. 

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම කොවිඩ්-19 වසංගත සමයට සමාන විය හැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇගවීමක් කර ඇත. 

රුසියන් ජනාධිපතිවරයා මෙසේ කීවේ මොස්කව් නුවරදී ව්‍යාපාරික නායකයන් අමතමිනි. ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තර සැපයුම් ජාල, නිෂ්පාදන ක්‍රියාවලීන් මෙන්ම ලෝහ සහ පොහොර සමාගම් වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව පුටින් පෙන්වා දුන්නේය. 

මැදපෙරදිග ගැටුමේ ප්‍රතිඵල නිවැරදිව පුරෝකථනය කිරීම අපහසු වුව ද, එහි බලපෑම සමස්ත ලෝකයේම සංවර්ධනය අඩාල කළ කොරෝනා වසංගත සමයට සමාන විය හැකි බව පුටින් අවධාරණය කළේය. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි.
තව කියවන්න

ඔලුව කන අය ළං වුණොත් ඉවරයි

March 28, 2026
අපේ ජීවිතයේ සමීපතමයන්, අපගේ සෞඛ්‍යයට සහ අපේ සතුටට විශාල ශක්තියක් බව රහසක් නොවේ. ඒත් එසේ නොවන අවස්ථා ද එමටය. නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ අපගේ සමාජ ජාලය තුළ සිටින, සරලව කීවොත්, ‘අපේ ඔළුව කන කරදරකාරී පුද්ගලයන්’ අප නොදැනුවත්වම, අකාලයේ වයසට යන බවය. 

ලිමරික් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කළ අධ්‍යයනයට අනුව, නිතරම මානසික පීඩනයක් ලබා දෙන පුද්ගලයන් අප අවට සිටින්නේ නම්, ඔවුන් අපේ පවුලේ අය හෝ වේවා මිතුරන් හෝ වේවා, අපේ ශරීරය අකාලයේ මහලු වීමට සෘජුව දායක වෙයි. ලිමරික් විශ්ව විද්‍යාලය සිදු කළ අධ්‍යයනයට සහභාගී කරගත් අයගෙන් සියයට 30 කට පමණ මෙවැනි අවම වශයෙන් එක් ‘කරදරකාරී’ පුද්ගලයකු හෝ තම ජීවිතය තුළ සිටින බව අනාවරණය විය. 

කෙටි කාලීන ආතතිය (Stress) අපට අභියෝග ජය ගැනීමට උදවු වුවද, දීර්ඝ කාලීන ආතතිය අපේ සිරුර ඇතුළතින් දිරාපත් කරයි. පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට අපගේ සමාජ ජාලයේ සිටින කරදරකාරී පුද්ගලයන් නිසා ජීව විද්‍යාත්මක වයස මාස 9 කින් පමණ වැඩිවෙයි. සිරුර මහලු වීමේ වේගය සියයට 1.5 කින් වේගවත් වෙයි. 

වඩාත් පුදුම සහගත කරුණ නම්, මෙම අහිතකර බලපෑම මිතුරන්ට වඩා පවුලේ සාමාජිකයන් (දෙමාපියන් හෝ දරුවන්) සම්බන්ධයෙන් වැඩි වීමය. මිතුරකු හෝ මිතුරියකගෙන් ඈත් වීම පහසු වුවත්, පවුලේ සබඳතා අත්හැර දැමීම අපහසු වීම ඊට හේතුවය. විශ්ව විද්‍යාලය සිදු කළ එම පර්යේෂණයට අනුව මිතුරන් අතර කරදරකාරයන් සිටින්නේ සියයට 3.5 ක් වැනි සුළු ප්‍රතිශතයකි. කරදරකාරී පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිශතය සියයට 10 ක් තරම් ඉහළය.

Science Alart ඇසුරිනි
තව කියවන්න

Mar 26, 2026

ඇමෙරිකාව පරදිනවා

March 26, 2026
මුලින් නොස්ත්‍රදාමුස් ගෙන් පටන් ගනිමු. නොස්ත්‍රදාමුස් යනු 16 වන සියවසේ ජීවත් වූ ප්‍රංශ ජාතික ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රඥයකු සහ අනාගත වක්තෘවරයෙකි. නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි ලොව ප්‍රකටය. එම අනාවැකි බොහෝවිට ලියා ඇත්තේ අපැහැදිලි, සංකේතාත්මක කාව්‍යමය ශෛලියකිනි. 

නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි කාලානුරූපව විවිධ ආකාරයෙන් අර්ථකථනය කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරයි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නකි. “නොස්ත්‍රදාමුස් ඔය ගැන මෙහෙම කියලා තියෙනවා, අරහෙම කියලා තියනවා” ආදී වශයෙන් එම අනාවැකිවලට නව අර්ථ කථනයන් එක් වෙයි. 2026 වසර සම්බන්ධයෙන් ද නොස්ත්‍රදාමුස් කළ අනාවැකි මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහකට ලක් වී අවසන්ය.

‘එක් වැදගත් පුද්ගලයකු හොඳින් එළිය ඇති විටෙක දී අකුණු පහරකින් මිය යනවා’, ‘මී මැසි පොදියක් ප්‍රහාරයකට එනවා සහ ‘නැව් හතක් මුල්කොට ගනිමින් මාරාන්තික යුද්ධයක් ආරම්භ වෙනවා’ ආදී වශයෙන් නොස්ත්‍රදාමුස් සඳහන් කර ඇත. මෙම අනාවැකි කාලානුරූපීව අර්ථ දක්වා ඇත්තේ අකුණු පහරට ලක්වන වැදගත් පුද්ගලයා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී බවය. 

පසුගිය 28 වැනිදා ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය ආරම්භ වූයේ ඊශ්‍රායලය ඔවුන් සතු බ්ලූ ස්පැරෝ නමැති අති බිහිසුණු මිසයිලයකින් අයතුල්ලා අලි කමේනී, ඔහුගේ පවුලේ සාමාජිකයටන් සහ ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨයන් එක පොදියට මරා දමමිණි. එය සිදුවූයේ උදෑසන කාලයේය. හොඳින් එළිය ඇති විටකය. 

‘මී මැස්සන් පොදියක් ප්‍රහාරයකට එනවා’ යන්නෙන් අර්ථ දැක්වෙන්නේ, ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිත කිරීම බව පැවැසෙයි. සහ ‘නැව් හතක් මුල්කොට ගනිමින් මාරාන්තික යුද්ධයක් ආරම්භ වෙනවා’ යන්න හෝමූස් සමුද්‍ර සන්දියේ නිර්මාණය වී ඇති අර්බුදය යැයි අර්ථ දක්වා ඇත. 

නොස්ත්‍රදාමුස් පැත්තකට දාමු. 

ඇමෙරිකාව ඉරානයට පහර දෙන බව කල් තියා ලොවට පැවැසූ මහාචාර්යවරයෙක් සිටී. ඔහු චීන ජාතික මහාචාර්ය ජියැන්ග් ෂුකිං (Jiang Xueqin) ය. මහාචාර්ය ජියැන්ග් ෂුකිං අනාවැකි පළ කරන්නේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව හෝ දෙවියන් සිහිනයෙන් ඇවිත් දුන් පණිවුඩ අනුව නම් නොවෙයි. ඔහු අනාවැකි පළ කරන්නේ භූදේශපාලන තොරතුරු විශ්ලේෂණය කරමින් සහ ඒවා එකිනෙක ගලපමින් විග්‍රහ කරමිනි. 

වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වී සිටින මහාචාර්ය ජියැන්ග් ෂුකිංට කැනඩා පුරවැසිභාවය හිමිය. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ යේල් විශ්ව විදයාලයෙනි. චීන අධ්‍යාපන ක්‍රමය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි පවතින දැඩි තරගකාරීත්වය සහ විභාග කේන්ද්‍රීය ඉහළ ඉලක්කයන් හේතුවෙනි.

මෙම සාම්ප්‍රදායික රාමුව තුළ සිටිමින්, එම පද්ධතියේ පවතින මූලික දුබලතා පෙන්වා දෙමින්, නිර්මාණශීලී අධ්‍යාපනයක් වෙනුවෙන් හඬක් නැගූ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයකු ලෙස මහාචාර්ය ජියැන්ග් ෂුකිං සැලකෙයි. දශක ගණනාවක් පුරා චීන පාසල් පද්ධතියේ ඉහළ තනතුරු දරමින්, යන්ත්‍ර මෙන් තොරතුරු කටපාඩම් කරන සිසුන් පිරිසක් වෙනුවට ස්වාධීනව සිතන, ප්‍රශ්න කරන පරපුරක් නිර්මාණය කිරීමට වෙහෙස මහන්සි වන විද්වතෙකි. 

මහාචාර්ය ජියැන්ග් ෂුකිං යනු හුදෙක් ගුරුවරයකුට වඩා ඔබ්බට ගිය, රටක අනාගතය පිළිබඳව පුළුල් දැක්මක් ඇති බුද්ධිමතෙකි. තරගකාරී විභාග සඳහා සිසුන් සූදානම් කිරීමෙන් රටක සැබෑ නායකයන් බිහි නොවන බවත්, ඒ වෙනුවට සිසුන්ට ලෝකය දෙස විවෘතව බැලීමට සහ විවිධත්වයට ගරු කිරීමට ඉඩ දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහුගේ මෙම අදහස් අප ශ්‍රී ලංකාව වැනි, තවමත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් අනුගමනය කරන රටකට වුවද බොහෝ දේ උකහා ගත හැකි පාඩම් සපයයි. අනාගත ලෝකය ජය ගත හැක්කේ ලකුණු මගින් නොව, දැනුම සහ නිර්මාණශීලී චින්තනය තුළින් පමණක් බව ඔහු අපට පසක් කර දෙයි. 

‘ඔබ කැමති නම් මා කියන දේ අහන්න. කැමති නං පමණක් ඊට කන් දෙන්න. ඒක පිළිගන්නවාද නැද්ද ඔබේ තීරණයක්.’ මේ මහාචාර්ය ජියැන්ග් ෂුකිං සැමවිටම අපට කියන්නේ මෙයයි. 

 2024 යනු ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැති වසරය. ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ නොවැම්බර් පස් වැනිදාය. ට්‍රම්ප් එයින් විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය. 2024 උදා වෙද්දී, මහාචාර්ය ජියැන්ග් ෂුකිං අනාවැකි තුනක් ලොවට ඉදිරිපත් කළේය. එම අනාවැකි තුන කෙරෙහි ලෝකයේ කාගේත් අවධානය මේ වන විට යොමු වී තිබේ. ඒ, මහාචාර්ය ජියැන්ග් ෂුකිං ජනප්‍රිය චරිතයක් බවට පත් කරමිනි. 

සමාජ මාධ්‍ය ඔස්සේ; විශේෂයෙන් යූ ටියුබ් හරහා එම ඔහුගේ වීඩියෝ නැරැඹීමට හැකිය. 2024 වසරේ දී ඔහු කළ අනාවැකි තුන නැරැඹීමට ද පුළුවනි. “මම ප්‍රධාන පෙළේ අනාවැකි තුනක් කියන්න කැමතියි. පළමු අනාවැකිය තමයි නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් දිනනවා. දෙවැනි අනාවැකිය තමයි ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානය එක්ක යුද්ධ කරනවා. තෙවැනි අනාවැකිය තමයි ඇමෙරිකාව මේ යුද්ධයෙන් පරදිනවා. ඇමෙරිකාව යුද්ධයෙන් පරදිනවා පමණක් නොවෙයි, අපේ ලෝකය මේ යුද්ධය නිසා වෙනස් වෙනවා. අපේ ජීවන රටාව අප නොසිතන ආකාරයකට මුළුමනින්ම වෙනස් වෙනවා.” මේ, 2024 වසර මුලදී මහාචාර්ය ජියැන්ග් ෂුකිං ඔහුගේ දේශපාලන විද්‍යාව හදාරන සිසුන් හමුවේ කළ අනාවැකි ත්‍රිත්වයයි. 

ප්‍රශ්නය - මහාචාර්යතුමා, ඔබ 2024 වසරේ අනාවැකි තුනක් ඉදිරිපත් කළා. එයින් දෙකක් දැනටමත් සැබෑවක් වෙලා අවසන්. තුන්වැනි අනාවැකිය ටිකක් බරපතල එකක්. ඇමෙරිකව යුද්ධයෙන් පරදිනවා යැයි ඔබ කියනවා. ඔබ තවමත් ඉන්නේ ඒ මතයේද? ඇමෙරිකාව යුද්ධයෙන් පරාජය වේවිද?

මහාචාර්ය ජියැන්ග් ෂුකිං
යුද්ධය දිග් ගැස්සෙන ආකාරය අනුව, කරුණු කාරණා විශ්ලේෂණය කළොත් පැහැදිලියි, වැඩි වාසි තියෙන්නේ ඇමෙරිකාවට නොවෙයි, ඉරානයටයි. යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. ඉරානය ඇමෙරිකාව එක්ක යුද්ධයකට සූදානම් වුණේ අද ඊයේ නොවෙයි. අවුරුදු 20 ක් තිස්සේ ඉරානය ඇමෙරිකාව එක්ක යුද්ධකට සූදානම් වුණා. ඉරානයේ ආගමික විශ්වාසයට අනුව, ඔවුන් සටන් වදින්නේ මහා සාතන් සමග. ඔවුන් ඇමෙරිකාව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වන්නේ මහා සාතන් යනුවෙන්. 

මහා සාතන් (Great Satan) යන්න පර්සියානු භාෂාවෙන් ‘ෂෙයිතාන්-ඉ බොසොර්ග්’ (Shaytan-e Bozorgh) වෙයි. ඉස්ලාම් දේවධර්මයට අනුව සාතන් යනු මිනිසුන්ව වැරදි මාවතට යොමු කරන, නොමඟ යවන සහ අනුන්ව සූරාකන බලවේගයකි. ඉරාන පාලනය ඇමරිකාව දෙස බලනුයේ එවැනිම දෘෂ්ටියකිනි. ඉතිං, ඇමෙරිකාව සමග යුද්ධයකට යන්න ඉරානය අවුරුදු 20 ක් පුරුදු පුහුණු වුණා. 

පසුගිය 2025 ජූනි මාසයේ ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙක පැටලුණා. දින 12 ක යුද්ධයක් පැවැතුණා. එය අවසන් වුණේ ඇමරිකාව මැදිහත් වෙලා ඊශ්‍රායලයට සහාය දක්වමින්, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමෙන් පසුවයි. එම දින 12 ක කාලයේ ඉරානයට හැකියාව ලැබුණා. ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ප්‍රහාරවල තරම, ප්‍රහාර සිදුවන ආකාරය, ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ යුද ශක්තිය අධ්‍යයනය කරන්න.

 විශ්ලේෂණය කරන්න. ඉන්පසු පසුගිය පෙබරවාරි 28 දක්වා තෙක් කාලය ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට සමග යුද්ධයකට යන්න ඉරානය හොඳින් සූදානම් කෙරෙව්වා. ඉතිං ඇමෙරිකාව සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල කරද්දී ඉරානය සිටියේ ඊට මුහුණ දෙන්න හොඳ සූදානමකින්. අසල්වැසි රටවල ඉන්නවා ඉරාන හිතවාදී සටන්කාමී සංවිධාන. 

ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූති, ගාසා තීරයේ හමාස්, ඉරාකයේ ෂියා සටන්කාමීන් ආදී වශයෙන්. ඇමෙරිකන් හමුදාව ක්‍රියා කරන ආකාරය, ඇමෙරිකන් අධිරාජ්‍යය ක්‍රියා කරන ආකාරය, ඇමෙරිකානුවන්ගේ මානසිකත්වය ගැන ඉරානයට පමණක් නොවෙයි මේ සටන්කාමීන්ටත් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඉරානය කරන්නේ ලෝක ආර්ථිකයට එරෙහිව යුද වැදීමයි. ඔවුන් අසල්වැසි ගල්ෆ් කලාපීය රටවලට පහර දෙනවා. හේතුව, එම රටවල් ඇමෙරිකන් හිතවාදී නිසා. 

ඇමෙරිකන් හමුදා කඳවුරු එම රටවල තිබෙන නිසා. එම රටවල් ඇමෙරිකාවේ ආර්ථිකයට ඉතා වැදගත් නිසා. මුලින් ඉරානය පහර දුන්නේ ඇමෙරිකන් හමුදා කඳවුරු ඉලක්ක කර ගෙන පමණයි. පසුව ඉරානය එම රටවල බලශක්ති මර්මස්ථාන ඉලක්ක කර ගන්න වුණා. හෝමූස් නැව් ගමනා ගමන කටයුතු නවත්වා දැම්මා. ගල්ෆ් රටවල ජල පිරිපහදු ඉරානයේ අවසන් ඉලක්කය වේවි. ගල්ෆ් රටවල ජීව නාලිය එයයි. 

මේ රටවලට පිරිසිදු වතුර ලබා ගන්න ක්‍රමයක් නැහැ. ඉරානයේ ඩ්‍රෝන යානා සෞදියේ රියාද් නුවර ජල පිරිපහදු ඉලක්ක කර ගත්තොත් සිදුවන විනාශය කොතරම්දැයි කියන්න බැහැ. රියාද් නුවර පමණක් මිලියන 10 කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. සති දෙකක් යද්දි ඔවුන්ට බොන්න වතුර නැති වේවි. ඉරානය හෝමූස් වසා දැම්මා. ගල්ෆ් රටවලට අවශ්‍ය ආහාරවලින් සියයට 90 ක් ඔවුන්ට ලැබෙන්නේ හෝමූස් හරහා. 

ඉරානයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මේ වන විට සෞදියේ, කටාර් රාජ්‍යයේ, එමිරේට්ස් රාජ්‍යයේ සහ බහරේනයේ පැවැත්මට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. කලින් සඳහන් කළ පරිදි, ඇමෙරිකානු ආර්ථිකය රඳා පවතින්නේ මේ ගල්ෆ් රටවල් මත. ප්‍රෙටෝඩොලරය මත. ලෝකයේ බොරතෙල් මිලදී ගැනීමේදී ගෙවීම් සඳහා භාවිත කරන ඇමෙරිකානු ඩොලරය ප්‍රෙටෝඩොලරයයි. 

1970 දී ඇති වූ එකඟතාවකට අනුව, බොරතෙල් අපනයනය කරන රටවල් (ප්‍රධාන වශයෙන් ඔපෙක් සංවිධානයට අයත් ගල්ෆ් කලාපීය රටවල්), තමන් විකුණන තෙල් සඳහා ගෙවීම් ලබා ගන්නේ ඇමෙරිකානු ඩොලර්වලිනි. මෙහිදී ඩොලරය යනු හුදෙක් මුදල් ඒකකයක් පමණක් නොව, ගෝලීය බලශක්ති වෙළඳාමේ ප්‍රධාන මාධ්‍යය බවට පත්ව තිබෙනවා. වර්තමානයේ ඇමෙරිකන් ආර්ථිකය ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි ව්‍යාපාර මත රැඳී පවතිනවා. ගල්ෆ් රටවල තමයි ඊට අදාළ ඩේටා සෙන්ටර් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ගල්ෆ් රටවලට තමන්ගේ තෙල් විකුණා ගන්න බැරි තත්ත්වයක් උදා වුණොත්, ඔවුන්ට මුදල් යොදවන්න බැරි වෙනවා, ඒ.අයි. සහ අනෙකුත් ක්ෂේත්‍රවලට. 

ඇමෙරිකානු ආර්ථිකය පිපිරීමකට ලක් වෙන්න මෙය හේතුවක් වේවි. ඇමෙරිකානුවන් මේ වන විට යුද්ධය නිසා මුහුණ දෙන දරුණුම තත්ත්වය වන්නේ මෙයයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඇමසොන් සමාගමේ ඩේටා සෙන්ටර් (දත්ත මධ්‍යස්ථාන) ඉලක්ක කර ගනිමින් පසුගිය දා ප්‍රහාර එල්ල වුණා. ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ සමාගම් බොහොමයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තමයි ඔවුන්ගේ ආයෝජන කරගෙන යන්නේ. යුද්ධය නිසා මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. 

සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය බිඳ වැටෙනවා කියන්නේ ප්‍රෙටෝ ඩොලරයේ අවසානයයි. ඒ නිසා ඇමෙරිකාව මෙම රටවල් ආරක්ෂා කර ගත යුතු වෙනවා. ඇමෙරිකානු හමුදාව, විසි එක් වැනි සියවසේ යුද්ධයකට සූදානම් පිරිසක් නොවෙයි. ඇමෙරිකා හමුදාව වඩ වඩාත් ශක්තිමත් වුණේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවයි. හමුදාව නිර්මාණය වූයේ නිරවි යුද සමයේ දී ඇමෙරිකාවේ යුද ශක්තිය පෙන්වමින්. නිරවි යුද්ධය කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම තම ශක්තිය නැතිනම් බලය පෙන්වීමක්. 

ශක්තිවන්තයා කවුරුන්දැයි පෙන්වීමක්. නිරවි යුද සමයේ දී තමයි ඇමෙරිකාව සහ සෝවියට් දේශය ඔවුන්ගේ න්‍යෂ්ටික බලය පෙන්නුවේ. මිසයිල තාක්ෂණය පෙන්නුවේ. අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් තරග වැදුණේ. අන්තිමේදී එම තරගය ජය ගත්තේ ඇමෙරිකාව. ඒ සඳට මිනිසුන් යවමින්. ඇමෙරිකන් රජය මිල අධික සංකීර්ණ තාක්ෂණය ඔවුන්ගේ හමුදාව සමග ඒකාබද්ධ කර තිබෙනවා. 

ඇමෙරිකා මිසයිල තාක්ෂණය උසස්. ඒ වගේමයි එය මිල අධිකයි. මිලියන ගණනක් වැය කරමින් ප්‍රති මිසයිල නිපදවීම සිදුවෙනවා. ඇමෙරිකන් ඩොලර් 50,000 ක් තරම්වත් නැති නියමුවන් රහිත සතුරු ඩ්‍රෝන විනාශ කරන්න. සාමාන්‍යයෙන් ප්‍රහාරක මිසයිලවලට වඩා ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සතුරු මිසයිල අඩපණ කරන මිසයිල නිර්මාණය කිරීම ඉතාමත් මිල අධික කාරණාවක්. 

ප්‍රශ්නය: මේ මොහොතේ ජනාධිපති ට්‍රම්ප් මෙන්ම, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සිත් පවසා තිබෙනවා, ඉරානයට ඇමෙරිකන් හමුදා යවන්න. ගොඩබිම් සටන් සඳහා. ගුවන් ප්‍රහාරවලින් පමණක් ඉරානයේ රෙජීමය පෙරළීමට ඇමෙරිකාවට නොහැකි බව පැහැදිලියි. ඒ නිසා දැන් යුද්ධය නව අදියරකට අවතීර්ණ වේවි. මේ ගැන ඔබේ අදහස දැන ගන්න කැමතියි? 

මහාචාර්ය ජියැන්ග් ෂුකිං
ඉරානය ගොඩබිම් හමුදා යැවීම ඇමෙරිකාව ගන්නා වැරදිම තීරණය වේවි. ඇත්ත. කිසිම ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ගුවන් ප්‍රහාරවලින් කිසිම රටක රෙජීමයක් (පාලනයක්) පෙරළා දැමීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. ඒ නිසා ඉරානය යටත් කරගන්න නම්, ඇමෙරිකාවට ගොඩබිමින් හමුදාව යැවීම කළ යුතු වෙනවා. ඒත් එහෙම කළොත් එය ඇමෙරිකාවට වාසිසහගත වෙන්නේ නැහැ. මේ වන විටත් ඉරානයේ ප්‍රතිප්‍රහාරවලින් ගල්ෆ් කලාපීය රටවල් ඒ කියන්නේ සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය හෙම්බත් වෙලා ඉන්නේ. ඉරානයට ගොඩබිම් හමුදා යවන්න ඔවුන් පවා ඇමෙරිකාවට බල කරනවා. 

පෙට්‍රෝඩොලරය නිසා මේ රටවල් කියන දේ ඇමෙරිකාවට කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. ඊශ්‍රායලයත් කැමතියි ඇමෙරිකන් හමුදා සමග ඔවුන්ගේ හමුදා ඉරානයට යවන්න. ඉරානයෙන් ඊශ්‍රායලයට දරුණු ප්‍රහාර එල්ල වෙනවා. ඒක ඊශ්‍රායලය අපේක්ෂා කළ දෙයක් නොවෙයි. ඉරානයේ ඉල්ලීම්වලට කන් දී ඇමෙරිකාවට පුළුවන් යුද්ධය දැන්ම නවත්වන්න. ඒ වෙනුවෙන් ඔවුන්ට කිසියම් විදියේ අල්ලසක් දෙන්න පුළුවන්. ට්‍රිලියන පහක වන්දි මුදලක් වගේ දෙයක්. 

ඒත් ජනාධිපති ට්‍රම්ප් එහෙම කරන්නේ නැහැ. ඔබ සඳහන් කළ විදියට ට්‍රම්ප් ඉරානය සුන්නද්ධූලි කරන්න ඇමෙරිකන් ගොඩබිම් හමුදා යවන්නයි සූදානම. මා දන්නා විදියට ඇමෙරිකන් වැසියන් මේකට කැමැත්තක් දක්වන්නේ නැහැ. සමීක්ෂණවලින් පැහැදිලියි ඇමෙරිකානුවන්ගෙන් සියයට 78 ක් මේ යුද්ධයට දැනටමත් අකමැත්ත පළ කර අවසන්. 

ප්‍රශ්නය: ට්‍රම්ප් ඊශ්‍රායලය එක්ක හවුලේ ඉරානයට පහර දුන්නේ එසේ කරන්නැයි සෞදිය දිගින් දිගටම බල කළ නිසා යැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒක ඇත්තද? 

මහාචාර්ය ජියැන්ග් ෂුකිං
සෞදිය ප්‍රසිද්ධියේ ඒක පිළිගන්නේ නැහැ. සෞදිය සහ ඉරානය අතර පසුගිය කාලයේ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගුණු බව ඇත්ත. නමුත් සුන්නි සහ ෂියා මුස්ලිම් වශයෙන් පවා සෞදිය සහ ඉරානය අතරේ බෙදීමක් නැතිනම් විරසකයක් තියෙනවා. යේමනයේ පාලනය සෞදි හිතවාදී එකක්. ඒත් හූතිවරුන් ඊට එරෙහිව යනවා. හූතිවරුන් ෂියා මුස්ලිම් ඔවුන්ට සහාය දක්වන්නේ ඉරානය බව රහසක් නොවෙයි. ඒ නිසා මා නිතරම කී දෙයක් තමයි ඉරානයේ රෙජීම වෙනසක් ඊශ්‍රායලය පමණක් නොවෙයි, සෞදියත් අපේක්ෂා කරනවා. මැදපෙරදිග කලාපයේ න්‍යෂ්ටික අවි ඇති රට ඊශ්‍රායලයයි. ඒත් සෞදිය ඊශ්‍රායලයට වඩා ඉරානයට බයයි. ඉරානය සහ පාකිස්තානය අතරේ යහපත් සබඳතා තිබෙනවා. ඒත් පසුගිය කාලයේ සෞදිය සහ පාකිස්තානය අතරේ නව ගිවිසුමක් අත්සන් කෙරුණා. යුද්ධයකදී සෞදිය උදවු ඉල්ලන්නේ නම් පාකිස්තානය සෞදියේ සහායට හමුදාව එවිය යුතුයි. මේක තමයි ඒ ගිවිසුමට අදාළ කොන්දේසිය. අමතක කරන්න හොඳ නැහැ. පාකිස්තානය න්‍යෂ්ටික අවි ඇති රාජ්‍යයක් 

ප්‍රශ්නය: ඇමෙරිකාව හමුදා යැව්වොත් මොකද වෙන්නේ? 

මහාචාර්ය ජියැන්ග් ෂුකිං
ඇමෙරිකාව ඉරානයට ගොඩබිම් හමුදා යැව්වොත්, ආපසු හැරෙන්න බැහැ. එය නිශ්චිත වශයෙන්ම තවත් වියට්නාමයක් වේවි. භූ ගෝලීය වශයෙන් ඉරානය කඳුවලින් වටවෙලයි තියෙන්නේ. බලකොටුවක් වගේ. ඇමෙරිකන් හමුදා භටයන්ට ආරක්ෂිතව ඉරානයට ගොඩබෑම පවා පහසු වෙන්නේ නැහැ. ඔවුන් දැඩි ලෙස ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රහාරවලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන්නේ ගරිල්ලා යුද්ධයකට. ඒ වගේමයි, දීර්ඝ කාලීන යුද්ධයකට ඇමෙරිකාව කැමැති වෙන එකක් නැහැ. මේ ට්‍රම්ප් ජනාධිපතිගේ දෙවැනි සහ අවසන් ධුර කාලයයි. ඉදිරියේ දී මධ්‍යවාර මැතිවරණ තිබෙනවා. ඒක ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වේවි. 

රට යුද්ධයකට මුහුණ දී මැතිවරණ පැවැත්වීම ගැටලුවක් වුණොත්, රටේ ව්‍යවස්ථාව අභිබවා යෑමේ තීන්දු තීරණ ගැනීමට හැකි වේවි. සමහර විට තෙවැනි ධුර කාලයක් ජනාධිපති ලෙස කටයුතු කරාවි. කවුරු අකමැති වුණත් ඔහු ඒකට කැමැති වේවි. ඒක මට විශ්වාසයි. මේ වෙද්දි යූඑස්එස් ට්‍රිපොලි යුද නැව මධ්‍යධරණී මුහුදට සේන්දු වී අවසන්. නැවේ නිවැරදි පිහිටීම රහසක්. මේ නැවේ ඉන්නවා ගොඩබිම් හා සාගර සටන්වල අති පුහුණුවලත් මැරීන් සෙබලුන් 2200 කට අධික ප්‍රමාණයක්. 

ඒ වගේමයි ගොඩබිම් මෙහෙයුම්වලට බහුලව භාවිත කරන ඒ 10 වෝතොග් අටෑක් ජෙට්ස්, ඇපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් සහ මුහුදේ අතුරන බෝම්බ විනාශ කර දැමිය හැකි කුඩා යාත්‍රා ද මේ නැවට ඇතුළත් වෙනවා. එපමණක් නොවෙයි, ඇමෙරිකානු පස් වන නාවික බළගණය සහ හත්වන බළගණක කලාපයේ රැඳී ඉන්නවා. ඒ කියන්නේ 40,000කට අධික සෙබළ බළගණයක් මේ වෙද්දි මැදපෙරදිග ආසන්නයේ ස්ථානගත වෙලා ඉන්නේ. ඒ ඔවුන්ට අණ ලැබෙනකල් බලාගෙන. ඉදිරි දින කීපය අප කාට කාටත් අතිශය තීරණාත්මක වේවි. 

ලුසිත ජයමාන්න
තව කියවන්න

දියේගෝ ගාසියා

March 26, 2026
ඇමෙරිකාව-ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය ගැටුම මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වූයේ, පසුගිය දා ඉන්දීය සාගරයේ, දියේගෝ ගාසියා දූපතේ පිහිටි ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් සමගය. ඇමෙරිකා හමුදාව මෙතෙක් පවසා තිබුණේ ඉරානයට ඇත්තේ කිලෝ මීටර් 2,000 ක දුරක් විදිය හැකි මිසයිල පමණක් කියාය.

දියේගෝ ගාසියා දූපත පිහිටා ඇත්තේ ඉරානයේ සිට කිලෝමීටර් 4,000ක් දුරින් ඉන්දීය සාගරයේය. ඉරානය එම දූපතේ ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය කඳවුර ඉලක්ක කර ගනිමින් එල්ල කළ බැලැස්ටික් මිසයිලවලට කිලෝමීටර් 4,000 ක හෝ ඊට වැඩි දුරක් යෑමට හැකි විය. මෙය ඉරානය ඔවුන්ගේ බැලැස්ටික් මිසයිල ශක්තිය ඇමෙරිකාවට සහ සෙසු ලොවට පෙන්වීමකි. 

දියේගෝ ගාසියා යනු ඉන්දියන් සාගරයේ පිහිටි ඉතාම උපායමාර්ගික වැදගත්කමක් සහිත දූපතකි. මෙය මධ්‍යම ඉන්දියන් සාගරයේ පිහිටි චාගෝස් නමැති දූපත් සමූහයට අයත් විශාලතම දූපත වෙයි. භූගෝලීය වශයෙන් ගත් කළ මෙය ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පිහිටි දූපතක් නම් නොවේ. එසේ වුවත්, සතුරු මිසයිලයක් දශමයකින් හෝ ගමන් මග වැරදී අප වෙත ඒමට ඉඩ ඇත. එය එසේ විය නොහැකි යැයි කිව හැක්කේ කාටද? 

දියේගෝ ගාසියා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට දළ වශයෙන් කිලෝමීටර් 1,700ක් (සැතපුම් 1,000ක් පමණ) ඈතිනි. දියේගෝ ගාසියා අප ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවේ දකුණු වෙරළට දකුණු දෙසින් පිහිටා තිබේ. දියේගෝ ගාසියා දූපතේ දේශපාලනික ඉතිහාසය ඉතා සංකීර්ණ සහ මතභේදකාරී එකකි. 

1960 දශකයේදී බ්‍රිතාන්‍යය විසින් දියේගෝ ගාසියා ද ඇතුළු චාගෝස් දූපත් සමූහයේ පදිංචිව සිටි ස්වදේශික ජනතාව බලහත්කාරයෙන් ඉවත් කොට, දියේගෝ ගාසියා දූපත ඇමරිකානු එක්සත් ජනපදයට යුද කඳවුරක් පවත්වාගෙන යාම සඳහා බදු දෙන ලදී. 

වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර නීතිමය සටන්වලින් පසු, මෙම දූපත් සමූහයේ ස්වෛරීභාවය මුරුසි රාජ්‍යයට හිමිවිය යුතු බව තහවුරු විය. කෙසේ වෙතත්, එහි පවතින ඇමෙරිකානු යුද කඳවුරේ අවශ්‍යතාව මත, දූපතේ අයිතිය පිළිබඳ ගිවිසුම් තවමත් සංකීර්ණ ලෙස ක්‍රියාත්මක වේ. 

යුදමය වශයෙන් දියේගෝ ගාසියා ලෝකයේ අතිශය වැදගත් ස්ථානයකි. ඇමෙරිකානු ගුවන් සහ නාවික හමුදා විසින් මෙම දූපතේ කඳවුරක් පවත්වාගෙන යනු ලබන්නේ මැදපෙරදිග, දකුණු ආසියාව සහ අප්‍රිකානු කලාපයේ සිදුවන ඕනෑම ක්‍රියාකාරකමක් ඉතා ඉක්මනින් නිරීක්ෂණය කිරීමට සහ මැදිහත් වීමට පහසු වන පරිදිය. 

එහි සිටින ජනගහනය ප්‍රධාන වශයෙන්ම යුද කඳවුරේ සේවය කරන්නේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, සිවිල් ජනාවාසයක් නොමැත. මුරුසි දූපත් රාජ්‍යය පිහිටා ඇත්තේ අප්‍රිකාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව යා කරන ප්‍රධාන නාවික මාර්ගවලට ආසන්නවය. 

එනිසා, කලාපයේ නාවික ආරක්ෂාව සහ බලපෑම තහවුරු කර ගැනීමට ලෝක බලවතුන් මුරුසිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. මුරුසියේ සිට චාගෝස් දූපත් සමූහයේ උතුරු කෙළවර දක්වා ඇති දුර කිලෝමීටර් 2,000ත් 2,200ත් අතර ප්‍රමාණයකි. 

බ්‍රිතාන්‍ය පාලන සමයේදී මුරුසිය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම පාලනය වූයේ එකම කලාපීය පද්ධතියක් යටතේය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු වූ රොබට් බ්‍රවුන්රිග් වැනි නිලධාරීන් මුරුසියේ සේවය කර පසුව ලංකාවට පැමිණි අය වෙති. 

ඇහැලේපොළ මහා අධිකාරම් පිටුවහල් කෙරුණේ ද මුරුසි දූපතටය. ඒ, 1818 දීය. ඇහැලේපොළ මහා අධිකාරම් සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ මුරුසියේ වන අතර, 1829 දී එහිදී අභාවප්‍රාප්ත විය. ඔහුගේ ස්මාරකයක් අදටත් මුරුසියේ පොම්පල්මූසස් උද්‍යානය අසල දැකගත හැකිය. 

 16 වන සියවසේදී පෘතුගීසීන් විසින් සොයාගත් දියේගෝ ගාසියා, 18 වන සියවසේදී ප්‍රංශ පාලනය යටතට පත් විය. එකල මෙහි පොල් වගාවන් සඳහා අප්‍රිකානු සහ ඉන්දියානු ශ්‍රමිකයන් පදිංචි කරවා ගත් අතර, ඔවුන් ‘චාගෝසියානුවන්’ ලෙස හැඳින්විණි. 

1814 වසරේදී ඇති වූ ජාත්‍යන්තර ගිවිසුම් අනුව දූපත්වල පාලනය බ්‍රිතාන්‍යයට පැවරිණි. කෙසේ වෙතත්, 1966 වසරේදී බ්‍රිතාන්‍යය විසින් මෙම දූපත ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා බදු පදනම මත ලබා දීම, දූපතේ ඉරණම වෙනස් කළ සන්ධිස්ථානයක් විය. 

යුද කඳවුරේ ඉදිකිරීම් ඇරඹීමත් සමඟ, බ්‍රිතාන්‍යය විසින් 1960 සහ 70 දශකවලදී එහි පදිංචිව සිටි දේශීය චාගෝසියානු වැසියන් 2,000 කට අධික පිරිසක් බලහත්කාරයෙන් දූපතෙන් ඉවත් කරන ලදී. 

කිසිදු වන්දි මුදලක් හෝ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් නොමැතිව ඔවුන් පිටුවහල් කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් විය. තම මව්බිමට යළි පැමිණීමේ අයිතිය වෙනුවෙන් ඔවුහු වසර ගණනාවක් පුරා නීතිමය සටන්වල නිරත වූයේ ඉන් අනතුරුවය. 

1968 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමේදී චාගෝස් දූපත් වෙන් කර තබා ගැනීම නීතිවිරෝධී බව මුරුසි රාජ්‍යයේ දැඩි ස්ථාවරයයි. මෑතකදී ඇති වූ දේශපාලන එකඟතා අනුව, බ්‍රිතාන්‍යය චාගෝස් දූපත්වල ස්වෛරීභාවය මොරිෂස් රාජ්‍යයට පැවරීමට එකඟ වුණු අතර, මෙය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. 

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් අතරේ ද පසුගිය කාලයේ බහින්බස්වීම් පවා පැවැතිණි. කෙසේ නමුත්, දියේගෝ ගාසියාවේ පිහිටි ඇමෙරිකානු යුද කඳවුරේ පාලනය තවත් වසර 99ක කාලයක් බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව සතු වන පරිදි ගිවිසුම්ගතව පවතී. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි
තව කියවන්න

අවසන් නැති යුද්ධය

March 26, 2026
ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ අවසානයක් පෙනෙන්න නැත. යුද්ධය ආරම්භ වූයේ ඉකුත් පෙබරවාරි 28 වැනිදා, ඇමෙරිකා ජනාධිපති ඩානල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එක් වී ඉරානයට පහර දීමත් සමගය. 

අසල්වැසි ගල්ෆ් රටවල ඇමෙරිකන් ඉලක්කවලටත් ඊශ්‍රායලයටත් පහර දෙන අතරතුරේ ඉරාන විප්ලවීය හමුදාව, හෝමූස් වසා දැම්මේය. කෙසේ නමුත්, ඉරානයට අනුව, හෝමූස් වසා දමා නැත. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යෑමට අවසර දී ඇත්තේ, ඉරාන හිතවාදී රටවල නැව්වලට පමණි. දැනට මෙම මුහුදු මාර්ගය විවෘතව ඇත්තේ ඉරානය සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වන ඉන්දියාව, පාකිස්තානය, තුර්කිය සහ චීනය වැනි රටවලටය. ඊශ්‍රායලයට සහ ඇමරිකාවට එය සම්පූර්ණයෙන්ම තහනම් කලාපයකි. 

‘හෝමූස් හරහා ගියොත් ගහනවා’ ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට තර්ජනය කර ඇත. ‘හෝමූස් වහාම අරින්න. පැය 48 ක් කල් දෙන්නම්’ මේ ට්‍රම්ප් පසුගිය 21 වැනිදා ඉරානයට දුන් අවසන් නිවේදනයයි. ‘හෝමූස් අරින්නේ නැත්නම්, ඉරාන බලශකක්ති බලාගාරවලට ගහනවා’ ට්‍රම්ප්ගේ තර්ජනය වී ඇත. ‘ට්‍රම්ප්, අපේ බලශක්ති බලාගාරවලට ගැහුවොත්, අප අසල්වැසි කලාපීය බලශක්ති බලාගාරවලටත්, ජල පිරිපහදුවටත් ගහනවා’ මේ, ඊට ඉරාන දක්වා ඇති ප්‍රතිචාරයයි. 

ඉකුත් 23 වැනිදා වනවිට ට්‍රම්ප්ගේ පැය 24 අවසන් විය. ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේත් පසුව, මාධ්‍ය ඔස්සේත් කියා සිටියේ, ඇමෙරිකාව ඉරාන නායකත්වය සමග සාකච්ඡා කරමින් සිටින බවත්, ඉරානයට තීරණයක් ගැනීමට දින 5 ක් කල් දෙන බවත්ය. 

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉස්මායිල් බගේයි තරයේ කියා සිටියේ, ට්‍රම්ප් සෘජුව හෝ වක්‍රව ඉරාන නායකත්වය සමග සාකච්ඡා කර නැති බවය. සටන් විරාමයකට යන්න තමන්ට අවශ්‍ය නොමැති බව ද ඉරානය කියයි. 

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමග ඇති තරම් කාලයක් යුද වැදීමට තමන් සූදානම් බව ඉරාන විප්ලවී්‍ය හමුදාව පවසා ඇත. එසේ නම් ට්‍රම්ප් කියන්නේ බොරු? ඇමෙරිකා රජය සාකච්ඡා පවත්වනවා නම්, සාකච්ඡා පවත්වන ඉරාන නායකත්වය කවුරුන්ද? ට්‍රම්ප් දින පහක් දී කල් මරන්නේ ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමටද? 

 ඉරානයේ ඉහළ පෙළේ නායකයන් රැසක් සමඟ ඇමරිකාව සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ එරට සී.එන්.බී.සී. පුවත් නාළිකාවට අදහස් දක්වමිනි. සාකච්ඡා සඳහා මුල් පියවර තැබුවේ තමන් නොව, ඉරාන පාර්ශවය යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත. ‘මම ඔවුන්ට කතා කළේ නැහැ. ඔවුන්මයි මට කතා කළේ. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා ගනුදෙනුවකට එන්න. අපත් ඒකට සූදානම්’ මේ ට්‍රම්ප්ගේ වදන්ය. 

පසුව පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් තවත් සුවිශේෂී කරුණක් අනාවරණය කළේය. එනම්, ඇමරිකාව සාකච්ඡා කරමින් සිටින්නේ ඉරානයේ වත්මන් උත්තරීතර නායකයා මොජ්තාබා කමේනී සහ ඔහුගේ පාර්ශ්වකරුවන් සමඟ නොව ඉරානයේ සැබෑ නායකත්වය සමග බවය.

‘මොජ්තාබ් කමේනී ගැන කිසිම කෙනකු කිසිම තොරතුරක් දන්නේ නැහැ. ඔහු ජීවතුන් අතර ඉන්නවා ද කියලවත් දන්නේ නැහැ. ඔහු ජීවතුන් අතර සිටිනවා නම්, ඔහු සමග ගනුදෙනුකට යන්න මා සූදානම්. ඔහු මැරෙනවා දකින්න මට උවමනාවක් නැහැ’ මේ ට්‍රම්ප්ගේ වදන්ය. 

ට්‍රම්ප්ට අනුව, ඇමෙරිකාව මේ වනවිට සාකච්ඡා පවත්වන, ඉරාන නායකත්වයේ ප්‍රධානියා ඉතා සාධාරණ පුද්ගලයෙකි. අල් ජසීරා පුවත් සේවය ඊයේ (25) වාර්තා කළේ ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සාකච්ඡා පවත්වන්නේ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සමඟ විය හැකි බවය. 

එසේ වුවත්, ඉරාන රජය පමණක් නොව, කථානායක ගලිබාෆ් ද ඇමෙරිකාව සාකච්ඡා සිදුවන බව තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඉරාන දේශපාලන ක්‍රමය අනුව, ඇමෙරිකාව සමඟ ඕනෑම සාකච්ඡාවකට එරට නව උත්තරීතර නායක මුජ්තබා ඛමේනිසහ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. 

එම අනුමැතිය නොමැතිව පවත්වන කිසිදු සාකච්ඡාවකට ඉරානය තුළ වලංගුභාවයක් හිමි නොවෙයි. ඉරාන නායකයා ඝාතනය වනු දැකීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත්, මේ මොහොතේ එම ධුරය (ඉරාන උත්තරීතර නායක ධුරය) දැරීම ඉතා අසීරු කාර්යයක් බවත් ට්‍රම්ප් පවසා ඇත. 

ට්‍රම්ප්ගේ එකිනෙකට පරස්පර මෙවැනි ප්‍රකාශ මේ වනවිට ඉරානයට විහිළුවක් වී ඇත. ‘කියන්නේ මොනවද කියලා ට්‍රම්ප්වත් දන්නේ නැහැ’ යනුවෙන් ඉරානය ට්‍රම්ප්ට විහිළු කරයි. ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහන් ද විහිළුවක් වී ඇත. ‘ට්‍රම්ප් කට ඇරියොත් බොරු කියනවා’ යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇමෙරිකන් පුවත් නාළිකා සමග සජීවී සම්මුඛ සාකච්ඡාවලට එක් වෙමිනි. 

කෙසේ නමුත් ට්‍රම්ප් පවසන්නේ, ඉරානයේ ඉහළ පෙළ නිලධාරීන් බොහෝ දෙනකු ප්‍රහාරවලින් මියගොස් ඇති බැවින්, එරට පාලන තන්ත්‍රයේ වෙනසක් දැනටමත් ඉබේම සිදු වී ඇති බවය. ඉරානයේ නායකත්වයේ ‘ස්ථර’ කිහිපයක් තමන් විනාශ කළ බවත්, දැන් තමන් ගනුදෙනු කරන්නේ, එරට සිටින වඩාත්ම ගෞරවනීය නායකයා සමග බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත. 

 එම සාකච්ඡා අසාර්ථක වුවහොත් සහ ඉරානය දිගින් දිගටම ‘මුරණ්ඩු’ වුවහොත්, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකරන්නේ නම්,ඉරානයේ විශාලතම බලාගාරයේ සිට සියලුම බලශක්ති මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් අවධාරණය කළේ දින 5 ක් කල් මරණ බව පැවැසීමෙන් පසුවය.

ඉරානයේ විශාලතම බලාගාරය වන්නේ තෙහෙරාන් නුවරට නුදුරින් පිහිටි දමාවන්ඩ් බලාගාරයයි. මෙගාවොට් 2,900ක ධාරිතාවයකින් යුත් මෙම බලාගාරයෙන් ඉරානයේ ප්‍රධාන නගර කිහිපයකම විදුලි අවශ්‍යතාවය සපුරාලීම සිදුවෙයි. 

ඊට අමතරව, ඉරානයේ කෙර්මාන් සහ රාමින් වැනි ප්‍රධාන පෙළේ බලාගාර ද ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමට කුරුමාණම් අල්ලන ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇත. මෙම බලාගාරවලට හානි සිදුවුවහොත් මුළු ඉරානයම අඳුරේ ගිලී යනු ඇත. ට්‍රම්ප් විසින් එල්ල කරනු ලැබූ එම දැඩි අනතුරු ඇඟවීමට ඉරානය මේවනවිට ඉතා ප්‍රචණ්ඩ සහ සෘජු පිළිතුරක් දී අවසන්ය. 

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ, ඉරානයේ විදුලි බලාගාර ඉලක්ක කළහොත්, ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සියලුම බලශක්ති බලාගාර, ජල පිරිපහදු මෙන්ම කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන මධ්‍යස්ථාන ද විනාශ කරන බවය.‘ඔබ අපේ විදුලියට ගැහුවොත්, අප ඔබේ විදුලිය ගහනවා’ යනු ඉරාන විප්ලවීය හමුදාවේ නවතම සටන් පාඨයයි. 

ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්, තවත් පියවරක් ඉදිරියට තබමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ඇමෙරිකානු හමුදා අයවැයට මුදල් සපයන මූල්‍ය ආයතන ද තම (ඉරාන විප්ලවීය හමුදාවේ) ඉලක්ක ලැයිස්තුවේ ඇති බවය. ‘ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර තෙත් වී ඇත්තේ ඉරාන වැසියන්ගේ ලේවලින්. 

එම බැඳුම්කර මිලදී ගැනීම යනු ඔබේ මූලස්ථානයට ප්‍රහාරයක් මිලදී ගැනීම හා සමානයි’ යැයි පාර්ලිමේන්තු කථානායක දැඩි අනතුරු ඇඟවීමක් කළේය. ඉරානය එල්ල කිරීමට බලාපොරොත්තු වන ඉලක්ක අතර ඊශ්‍රායලයේ දැවැන්තම විදුලි බලාගාර වන ‘ඔරොට් රබින්’ සහ ‘රුටෙන්බර්ග්’ ප්‍රධාන වෙයි. 

මීට අමතරව, ගල්ෆ් කලාපයේ රටවල් දැඩි ලෙස යැපෙන ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන කෙරෙහි ද ඉරානයේ අවධානය යොමු වී ඇත. 

 මැදපෙරදිග කලාපය ලොව ධනවත්ම කලාපයක් විදියට සැලකෙන්නේ එහි ඇති තෙල් සම්පත නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ නමුත්, වර්තමානය වන විට ඒ කලාපයේ පැවැත්ම තීරණය කරමින් සිටින්නේ මේ ‘කළු රත්තරන්’ (තෙල්) මත නොව, ‘නිල් රත්තරන්’ මතය. නිල රත්තරන් යනු ජලයයි. 

ඒ නිසාම ස්වභාවික ජල මූලාශ්‍ර රහිත කාන්තාරික පරිසරයක වෙසෙන මිලියන 100 කට අධික ජනතාවකගේ ජීවිත අද පවතින්නේ ඉතාම අස්ථාවර තත්ත්වයකය. ඉරානය ගලාපීය රටවල ජල පිරිපහදුවලට පහර දුන්නොත් එය මහා විනාශයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. 

ගල්ෆ් කලාපයේ බොහෝ රටවලට ස්වභාවික ගංගා හෝ වැව් නැත. ඔවුන් තම දෛනික ජල අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගන්නේ මුහුදු ජලයෙන් ලුණු ඉවත් කිරීමේ (Desalination) තාක්ෂණය මගිනි. කුවේටය සිය ජල අවශ්‍යතාවයෙන් සියයට 90 ක් ලබා ගන්නේ මේ ක්‍රමයෙනි. 

ඕමානයේ ජල සැපයුමෙන් සියයට 86 ක් මුහුදු ජලය පිරිපහදු කිරීම මත රඳා පවතී. ඊශ්‍රායලය සිය පානීය ජලයෙන් සියයට 75 කට වඩා ලබා ගන්නේත් ලුණු ඉවත් කිරීමෙනි. ඇමෙරිකාව තමන්ගේ බලාගාරවලට පහර දෙන්නේ නම්, තමන් මෙම පිරිපහසු ඉලක්ක කර ගනිමින් පහර දෙන බවට ඉරානය තර්ජනය කිරීම විශාල ගැටලුවක් වී අවසන්ය.

පිරිපහදු මධ්‍යස්ථානවලට එල්ල වන එකම ප්‍රහාරයකින් සෞදි අරාබියට ඔවුන්ගේ ජලයෙන් සියයට 70 ක් අහිමි කර දැමීමට ඉරානයට හැකියාව ඇත. කටාර් රාජ්‍යයට තම ජල සැපයුමෙන් අඩක් එනම් සියයට 50 ක් එක රැයකින් අහිමි කර දැමීමට ඉරාන මිසයිලවලට හැකියාව ඇත. 

 ඉරානය, අසල්වැසි ගල්ෆ් කලාපය රටවල පිහිටුවා ඇති ඇමමෙරිකන් සමාගම් වන ගූගල්, මයික්‍රොසොෆ්ට්, එන්විඩියා සහ පලන්ටීර් වැනි තාක්ෂණික දැවැන්තයින් ද සිය ඉලක්ක ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙය ගෝලීය ඩිජිටල් යටිතල පහසුකම් බිඳ දැමීමක් වනු ඇත. 

මෙම සමාගම් අන්තර්ජාලය, ‘වලාකුළුගත ගබඩා’ (Cloud Storage) සහ කෘත්‍රිම බුද්ධි සේවා සපයන ප්‍රධානතම ආයතන වන බැවින්, ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථාන ඉලක්ක වුවහොත් ලොව පුරා බැංකු පද්ධති, විද්‍යුත් වාණිජ්‍යය සහ සන්නිවේදන ජාලයන්හි ක්ෂණික බිඳවැටීමක් සිදුවනු ඇත. එය මහා ව්‍යසනයක් වනු නොඅනුමානය. 

මිලියන ගණන් පරිශීලකයන්ගේ තොරතුරු අත්හිටුවීමට මෙන්ම, ගෝලීය වශයෙන් ආයතනික දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව මුළුමනින්ම අඩපණ කිරීමට හේතු වනු ඇත. ටෙදර් සහ සර්කල් වැනි ‘ස්ටේබල්කොයින්’ (Stablecoin) නිකුත් කරන ආයතන ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කරවල විශාල වශයෙන් ආයෝජනය කර තිබීම මූල්‍ය වෙළඳපොළට තවත් බරපතල තර්ජනයක් වී තිබේ. මෙම මූල්‍ය ආයතනවලට පහර දීම හෝ ඒවායේ වත්කම් අඩපණ කිරීම ගෝලීය ආයෝජකයන් තුළ බියක් ඇති කරනු ඇත. 

එම තත්ත්වය යටතේ කොටස් වෙළඳපොළ වහාම කඩාවැටීමටත්, ඩොලරයේ අගය අස්ථායී වීමටත් ඉඩ ඇති අතර, එය ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට තල්ලු කරනු ඇත. තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන්ට ද මෙම තර්ජනයෙන් විශාල බලපෑමක් එල්ල වනු ඇත. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධියට අවශ්‍ය මූලික චිප්ස් නිෂ්පාදනය කරන එන්විඩියා වැනි සමාගම්වල සැපයුම් දාමයන් අඩාල වුවහොත්, ලොව පුරා තාක්ෂණික දියුණුව වසර ගණනකින් පසුපසට යනු ඇත. 

පලන්ටීර් සහ ඔරකල් වැනි සමාගම් හමුදා සහ රාජ්‍ය දත්ත කළමනාකරණයට විශාල දායකත්වයක් ලබා දෙන බැවින්, ඔවුන්ගේ පද්ධති අඩාල වීමෙන් ලෝකයේ රාජ්‍ය ආරක්ෂක පද්ධති පවා අනාරක්ෂිත වීමේ අවදානමක් පවතී. අවසාන වශයෙන්, ලෝකයේ බොහෝ රටවල් සහ ව්‍යාපාර දැන් සම්පූර්ණයෙන්ම පාහේ ‘වලාකුළුගත සේවා’ (Cloud Services) මත යැපෙන තත්ත්වයකට පත්ව ඇත. 

මේ නිසා, දත්ත පද්ධතිවලට ප්‍රවේශ විය නොහැකි වීමෙන් කාර්යාල කටයුතු සහ නිෂ්පාදන ක්‍රියාවලීන් මුළුමනින්ම ඇණහිටීම නොවැළැක්විය හැකි වනු ඇත. කෙටියෙන් කිවහොත්, ඉරානයේ මෙම තර්ජනය හුදෙක් යුධමය උපායමාර්ගයක් නොව, ගෝලීය ඩිජිටල් සහ ආර්ථික පද්ධතියේ කොඳු නාරටියට එල්ල කරන අභියෝගයක් බවට පත්ව තිබේ. 

මධ්‍යම පෙරදිග කලාපයේ උණුසුම් වන යුද වාතාවරණය හමුවේ, ඇමෙරිකානු දේශපාලනයේ අතිශය මතභේදාත්මක මාතෘකාවක් වූ ‘ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ’ ඉරානය සිය වාසියට හරවාගෙන ඇතැයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයක් ‘පෝස්ටු’ පළ වෙයි. ග්‍රීන්ලන්තයේ පාලනය තමන් යටතට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලය පුරා උත්සාහ දැරුවේය. එම උත්සාහය අවසන් නැත. 

ට්‍රම්ප් දැරූ උත්සාහය සම්බන්ධයෙන් ඉරාන ඉහළ පෙළේ නිලධාරියකු ප්‍රසිද්ධියේ අදහස් පළ කර ඇත්තේ,යුරෝපයට ග්‍රීන්ලන්තය ආරක්ෂා කර ගැනීමට නොහැකි නම්, ට්‍රම්ප්ගෙන් ග්‍රීන්ලන්තය ‘ආරක්ෂා කර දෙන්න’ ඉරානයට හැකි බවය. මෙය උපහාසාත්මකව සිදු කළ ප්‍රකාශයකි.

කෙසේ නමුත් මෙය හුදෙක් සිනහවට ලක්වන විහිළුවක් පමණක් නොව, එය වත්මන් ලෝක දේශපාලනයේ පවතින ගැඹුරු අර්බුදයක සංකේතයකි. ට්‍රම්ප් පසුගිය මාස කීපයේ ග්‍රීන්ලන්තය මිලදි ගෙන එය ඇමෙරිකාවට ඇදා ගැනීමට උත්සාහ ගත්තේ, උපායමාර්ගික වශයෙන් ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට අවශ්‍ය නිසාය. ග්‍රීන්ලන්තය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකා මහද්වීපය සහ යුරෝපාය යා කරන මධ්‍යයේය. 

ලෝකයම ‘හිසරදයක්’ වුණු මැදපෙරදිග යුද ගින්නට පාකිස්තානයට ද මැදි වී සිටී. ඒ, ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතරේ සාමයේ පාලම බවට පත්වීමේ අරමුණින්ය. සාමාන්‍යයෙන් මෙවැනි සාම සාකච්ඡාවලදී පෙරමුණ ගන්නේ ඕමානය හෝ කටාරය වුවත්, මෙවර පාකිස්තානය එම භූමිකාවට පණ දෙන්නට උත්සාහ කරන්නේ පාකිස්තාන රජය ඇමෙරිකාව සමගත් ඉරානය සමගත් හොඳහිතක් පවත්වාගෙන යන බැවිනි.

පාකිස්තාන හමුදාපති අසීම් මුනීර්, ට්‍රම්ප්ගේ අඹ යාළුවෙකි. ට්‍රම්ප් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාමස් ෂරීෆ් හමුවන සෑමට වටදීම, විමසන්නේ ‘කෝ එයා ආවේ නැද්ද?’ හෝ ‘එයා සනීපෙන්ද?’ ආදීවශයෙනි. ‘එයා’ වෙන කවුරුවත් නොවෙයි, පාකිස්තාන හමුදාපති අසීම් මුනීර්ය. නිල නොවන මට්ටමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට වඩා බලවත් චරිතය හමුදාපතිය. ඉකුත් සති අන්තයේ, පාකිස්තාන හමුදාපති අසීම් මුනීර් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සෘජුවම අදහස් හුවමාරු කරගෙන ඇතැයි ද පැවැසෙයි. 

ඊට සමගාමීව, අගමැති ෂරීෆ් ද ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි පැවැසෙයි. ඉරානය සහ ඇමරිකාව අතර රහසිගත පණිවුඩ හුවමාරු කරන්නකු ලෙස පාකිස්තානය දැන් කටයුතු කරමින් සිටී.

ට්‍රම්ප්ගේ සමීපතමයන් වන බෑණා ජෙරාඩ් කුෂ්නර් වැනි අය සමඟ පවා පාකිස්තාන බලධාරීන් සම්බන්ධ වී ඇති බව පැවසෙයි. පාකිස්තානයට මේ අවස්ථාවේ ඇති වාසිය නම්, ඔවුන්ගේ රටේ විශාල ෂියා මුස්ලිම් ජනගහනයක් සිටීම සහ ඉරානය සමඟත්, සෞදි අරාබිය වැනි අරාබි රටවල් සමඟත් එක ලෙස සමීපව කටයුතු කිරීමට ඇති හැකියාවය. 

මෙම සාම මෙහෙයුම එතරම් ලෙහෙසි පහසු එකක් නොවනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. යුද්ධය ආරම්භ වී සති හතරක් ගත වී ඇතත්, දෙපාර්ශවයම (ඇමෙරිකාව ඊශ්‍රායලය සහ ඉරානය) තම තමන්ගේ ස්ථාවරවලින් මිදී නැත. හටගත් යුද්ධයක් නතර කිරීමට පාකිස්තානය යම් පොටක් පාදා ගත්තොත්, ලෝක දේශපාලනයේ තම නම රන් අකුරින් ලියා තැබීමට පාකිස්තානයට හැකි වනු ඇත. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි
තව කියවන්න

බව්වන්ගේ වික්‍රමය

March 26, 2026
ඇමෙරිකාව, ඊශ්‍රායලය, ඉරානය කෙහෙවලු පටලාගෙන පුවත් මවද්දි, මිත්‍රත්වය, එකමුතුකම සහ දිවිරැක ගැනීම පිළිබඳ හරි අපූරු කතාවක් අපට අසන්න පමණක් නොව දකින්න ද ලැබුණි. මේ කතාව බලු කතාවකි. බව්වන් රංචුවකගේ වික්‍රමයකි. පළමුවෙන් මේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ විය. ඉන්පසු එය විදෙස් මාධ්‍යවල අවධානය දිනා ගත්තේය. පැය කීපයක් යද්දී, මුලු ලෝකයම මේ ගැන කතා කරන්න වූයේ යුද ගිනි මැද එය අප කාගේත් හදවතට දැනෙන්න වූ නිසාය. අප බොහෝ දෙනකුගේ දෑත් තෙත් කළ නිසාය. 

ඔබට බලු සුරතලකු සිටී නම්, ඒ බව්වාගෙන් ඔබට ලැබෙන කොන්දේසි විරහිත ආදරය ගැන අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. අපට කොන්දේසි විරහිතව ආදරය කරන සුරතලකු සිටින්නේ නම් ඒ බලු සුරතලුන්ම පමණි.

පූසෝ ආඩම්බරකාරයෝය. 

විද්‍යාඥයන්ට අනුව, මිනිසා සමග මිනිසාගේ මිතුරකු ලෙස පරිණාමයට ලක් වුණු සතා බල්ලාය. බුද්ධිමත්, කීකරු, කරුණාවන්ත, දයාව සහ ආදරය පිරි බලු සරතලුන් විශේෂ බොහොමයකි. 

මේ කතාව අපට අසන්න දකින්න ලැබුණේ චීනයෙනි. චීනයේ ඇතැම් පළාත්, විශේෂයෙන් උතුරුදිග පළාත්වල බලු සුරතලුන්ට සුදුසු නැත. ඒ සාම්ප්‍රදායික චීන වැසියන් තවමත් බලු මස් කෑමට ගනී. ‘චීන්නු නොකන දෙයක් නැහැ’ යනුවෙන් කියන්නේ නිකමටම නොවෙයි.

කෙසේ නමුත්, චීනයේ බොහෝ දියුණු පළාත්වල, නගරවල බල්ලන් ආහාරයට ගැනීමක් සිදුවන්නේ නැත. අප මෙන්ම, එම පළාත්වල වැසියෝ ඉතා කරුණාවෙන් ආදරයෙන් බලු සුරතලුන් හදාවඩා ගැනීම කරති. 

ජිලිංග් පළාත පිහිටන්නේ, චීනයේ වයඹ දෙසිනි. ජිලිංග් පළාතේ අගනුවර චංචුංග්ය. මේ කාලයේ රාත්‍රියට චංචුංග් නගරයේ උෂ්ණත්වය පහළ යයි. අත්‍යාවශ්‍ය රාජකාරියකට මිස නගර වැසියන් එළියට බසින්නේ නැත.

අත්‍යාවශ්‍ය රාජකාරියක් තිබුණු බැවින්, ලූ නමැති චීන ජාතිකයා එදා රෑ ප්‍රධාන අධිවේග මාර්ගයේ සිය මෝටර් රථය පදවමින් සිටියේය. රාත්‍රී අඳුර අතරන්, මෝටර් රථවල සහ විදුලි පහන්වල ආධාරයෙන්, ඔහුට ප්‍රතිවිරුද්ධ මාර්ගයේ අසාමාන්‍ය දෙයක් නෙත ගැටුණි. ඒ, බව්වන් හත් දෙනකුගේ රංචුවකි. 

බව්වන් රංචුව, එකට එකතු වී, අධිවේගී මාර්ගය දිගේ ඇවිද යමින් සිටියහ. ඔවුන් සිටියේ දුවමින් නොවෙයි. ඔවුන් විමසිල්ලෙන් සහ සීරුවෙන් අධිවේගී මාර්ගය දිගේ ඇවිද යන්න විය. 

සාමාන්‍යයෙන් බලු රංචුවක් පාරේ දකින්න ලැබීම අරුමයක් නොවෙයි. ඒත්, මේ බලු රංචුවේ අමුත්තක් ඇති බව ලූ ට වැටහුණි. ලූ ද බලු සුරතලකුගේ හිමිකරුවෙකි. 

ලූ මෝටර් රථය සෙමින් මාර්ගයේ අයිනට කළේය. ඉන්පසු ඔහු බව්වන් රංචුව නිරීක්ෂණය කරන්න පටන්ගත්තේය. දුටු දෙයින් ඔහු මවිත විය. බව්වන් රංචුවේ සිටි බව්වන් හත් දෙනා එකිනෙකට වෙනස් විය.

රංචුවට නායකත්වය දෙන බව පෙනෙන්න වූයේ කෝර්ගියෙකි. කෝර්ගි යනු කුරු සුරතල් බලු විශේෂයකි. මෙම විශේෂය ලොව පුරා ජනප්‍රිය වූයේ දෙවැනි එලිසබත් මහ රැජින නිසාය. එලිසබත් මහ රැජින සතුව කෝර්ගි බල්ලන් දෙදෙනකු සිටි බැවිනි. බව්වන් රංචුවට නායකත්වය දුන් කෝර්ගි ඉදිරියට පය තබන්න වූයේ පරිස්සමෙනි. 

ඉදිරියට තබන සෑම පියවරක් පාසාම පසුපස බැලුවේ තම සගයන් තමන් සමග සිටිනවා නේද කියාය. ඔවුන් ප්‍රමාද නම්, කෝර්ගි ද නතර වී, ඔවුන් එනකල් සිටී. සෙසු බව්වන් අතර ගෝල්ඩන් රිට්‍රිවර් බව්වකු, ලැබ්‍රඩෝර් බව්වකු සහ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බව්වකු ද සිටින බව ලූට දකින්න ලැබුණි. ජර්මන් ෂෙපර්ඩ් කෙරෙහි වැඩි අවදානයක් යොමු විය. 

ජර්මන් ෂෙපර්ඩ් සිටියේ තුවාල වී කොරගසමිනි. ඇවිද යන්න වූයේ අපහසුවෙනි. වේදනාවෙනි. කෝර්ගි සහ සෙසු බව්වන් ගමන් කළේ ජර්මන් ෂෙපර්ඩ් වට කරගෙනය. ආරක්ෂාව සපයමිනි. ලූ උත්සාහ කළේ බව්වන් රංචුව අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමටය. තමා සිටි තැනට ගෙන්වා ගැනීමටය. එය අසාර්ථක විය. බව්වන් රංචුව, ලූ ව ගණන් ගත්තේ නැත. ලූ සිය ජංගම දුරකතනයෙන් බව්වන් වීඩියෝ කළේය. 

එම වීඩියෝ දසුන් පසුව ‘ඩෝ යිංග්’ සමාජ මාධ්‍ය වේදිකාවට ‘අප් ලෝඩ්’ කළේය. ‘ඩෝ යිංග්’ යනු චීනයේ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය වේදිකාවකි. පසුව සෙසු ජනප්‍රිය සමාජ මාධ්‍ය ඔස්සේත්, විදෙස් පුවත් ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වූයේ ලූගේ එම වීඩියෝව දසුන්ය. ඒ අනුව, බව්වන්ගේ කතාව ජනප්‍රිය වීමට, නැතිනම් වයිරල් වීමට පටන් ගත්තේය. 

චිනයේ පමණක් මිලියන 230 ක් එම වීඩියෝව නැරඹූහ. බව්වන්ගේ කතාවේ අගමුල දැනගත් සැණින්, එම ගණන දෙගුණ තෙගුණ විය. එය නැරැඹූ බොහෝ දෙනෙක් සංවේදී වූහ. බව්වන් රංචුව පැය කිපයක් යද්දී ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවට විවිධාකාරයේ ‘කමෙන්ට්’ පළ විය. 

එය හොලිවුඩ් චිත්‍රපටයක් වැනි යැයි ඇතැම්න් ‘කමෙන්ට්’ කරන්න විය. එය හොලිවුඩ් චිත්‍රපටයකට සුදුසු කතා තේමාවක් යැයි තමන් සමහරෙක් අදහස් දැක්වීය. එය සැබෑ ‘පෝ පැටෝල්’ කතාවක් වැනි යැයි තවත් සමහරෙක් ‘කමෙන්ට්’ කරන්න විය. ‘පෝ පැටෝල්’ යනු විවිධ වික්‍රමවල යෙදන බලු සුරතලුන් තේමා කරගත් සජීවීකරණ කාටූන් කතා මාලාවකි. මෙය කුඩා දරුවන් අතරේ ප්‍රකටය. 

ඔය අතරතුරේ, මේ සිද්ධිය ගැන හරිහැටි නොදන්නා කීප දෙනකු ‘මේ මොන විකාරයක්ද?’ යැයි කී අවස්ථාවද නැතුවාම නොවෙයි. බවුන්ගේ කතාව සම්පූර්ණයෙන් දැනගන්න ලැබුණේ වීඩියෝ දසුන් ප්‍රසිද්ධවීමෙන් අනතුරුවය. එය හදකම්පා කරවන්නකි. 

බව්වන් සියලු දෙනා එක් ගම්මානයක විවිධ නිවාසවල ජීවත් වූ අය යැයි පැවැසිණි. ගම්මානය පිහිටියේ ලූ ට මෙම බව්වන් රංචුව දකින්න ලැබුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 17 ක් ඈතිනි. ඔවුන් එම ගම්මානයේ නිදැල්ලේ සතුටින් ජීවත් වුණු සුරතලුන්ය. 

දිනක් රාත්‍රියේ බව්වන් 7 දෙනා අතුරුදන් විය. කනස්සල්ලට පත් හිමිකරුවන්ගෙන් පොලිසියට පැමිණිලි ලැබුණි. ඒත් බව්වන් ගැන කිසිදු හෝඩුඩාවක් ලැබුණේ නැත. බව්වන් අතුරුදන් වුණේ කාහොමද? ඒ ඇයි? ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නැත.

කිසියම් නරුමයන් පිරිසක්, එදා රාත්‍රියේ බව්වන් හත් දෙනා පැහැර ගත්තේය. ඒ, ආදරේට හදා ගැනීමට නම් නොවෙයි, මස් කර විකිණීමටය. උතුරු චීනයේ බලු මස් වෙළෙඳසැල් බහුල නොවුණත්, ඒවා දකින්න ලැබේ.

පැහැරගත් බව්වන් හත් දෙනා ලොරියකට පටවා ඔවුන් රැගෙන යමින් තිබියදී, අතරමග කොතැනකදී හෝ බව්වන්ට ලොරියෙන් පැන ගැනීමට හැකිවී ඇත. ජර්මන් ෂෙපර්ඩ් තුවාල ලැබුණේ එසේ ලාරියෙන් පනිද්දී විය හැක. නැතිනම්, ඒ ඌ අනෙක් බව්වන් බේරා ගැනීමට, පැහැර ගැනීම කළ නරුමයන් සමග සටන් කළා විය හැක. එහි ඇත්ත නැත්ත අප දන්නේ නැත. දැනගන්න ක්‍රමයක් ද නැත. 

කෙසේ හෝ ලොරියෙන් බේරුණු බව්වන් හත් දෙනා, ඉව අනුව යමින්, අධිවේගී මාර්ගය දිගේ ගමන් කරමින් අවසානයේ ඔවුන්ගේ ගම්මානයට පැමිණි බව වාර්තා වේ. 

ලූගේ වීඩියෝව ජනප්‍රිය වෙද්දී, සත්ව සුරතල් සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් නියමුවන් රහිත ඩ්‍රෝන යානා පවා භාවිතයට ගනිමින්, බව්වන්ගේ ගමන් මඟ නිරීක්ෂණය කරන්න විය. බව්වන් රංචුව ආපසු ඔවුන්ගේ ගම්මනයේ ඔවුන්ගේ හිමිකරුවන් වෙත යහතින් යනතුරු එම පිරිස බව්වන් ගැන අවදානයෙන් පසුවුණු බව ද දැනගන්න ලැබුණි. 

 මෙම සිද්ධිය ගැන චීන රජය නිහඩය. චීන්නු බලු මස් අනුභව කිරීම යනු චීනයේ ප්‍රතිරූපයට හොඳ නැත. ඒත් එක් දෙයක් පැහැදිලිය. ලූ ට මහ රෑ බව්වන් දකින්න ලැබෙද්දී, ඔවුන් සිටියේ අකරතැබ්බකට මුහුණ දෙමිණි.

නොදන්නා පළාතක සිට, ඉව අල්ලමින්, මග සලකුණු සොයා ගනිමින්, එකිනෙකා රැකබලා ගනිමින්, මහ රෑ සීතලේ, කිලෝ මීටර් 17 ක දුරක් ගමන් කළ බව්වන් හත් දෙනා ට අවසානයේ ඔවුන්ගේ ආදරණීයන් හමුවිය. එය සැබැවින්ම වික්‍රමයකි. 

ලුසිත ජයමාන්න 
First-Post ඇසුරිනි
තව කියවන්න

Mar 21, 2026

South Pars සහ North Dome

March 21, 2026
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට පහර දීමටත්, ඉරානය පෙරළා ඊශ්‍රායලයටත්, අසල්වැසි කලාපීය රටවල ඇමෙරිකන් හමුදා කඳවුරු සහ ඇමෙරිකන් ඉලක්කවලට පහර දීමටත් පටන්ගෙන දින 20 ක් ගත වෙද්දී යුද්ධය නව මාවතකට පිවිස ඇත. ඒ ඉකුත් 18 වැනිදා ඉරානයේ සවුත් පාර්ස් වෙත ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර එල්ල වීමත්, ඊට ප්‍රතිචාර දක්වමින්, ඉරානය කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමගය.

සවුත් පාර්ස් සහ නෝත් ඩෝම් යනු ලොව පවතින විශාලතම ස්වාභාවික වායු (ගෑස්) නිධිය වන අතර, මෙය පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරානය සහ කටාර් රාජ්‍යය අතර මුහුදු සීමාවේ පිහිටා ඇත. මෙම දැවැන්ත බලශක්ති කලාපය ඉරානය සහ කටාරය අතරේ බෙදී යයි. ඊශ්‍රායලය පහර දුන් ඉරානයට අයත් කොටස සවුත් පාර්ස් වන අතර කටාර් රාජ්‍යයට අයත් කොටස නෝර්ත් ඩෝම් ලෙස හැඳින්වෙයි. 

සවුත් පාර්ස් කොටසේ ස්වාභාවික වායු (ගෑස්) ඝන අඩි ට්‍රිලියන 1,800 ක් පවතී. වසර 13 ක් යනතුරු මුළු ලෝකයටම ස්වාභාවික වායු (ගෑස්) සැපයීම සවුත් පාර්ස් හරහා කළ හැකිය. සවුත් පාර්ස් වෙත මිසයිල ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී ඉරානය ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඒ ගැන චෝදනා කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් කටාර් රාජ්‍යයට අයත් නෝර්ත් ඩෝම් කොටසේ ඇති රාස් ලෆාන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දුන්නේය. 

ඒ අනුව, ඉරානය රාස් ලෆාන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කළේය. සවුත් පාර්ස් සහ නෝත් ඩෝම් සමස්ත කලාපය වර්ග කිලෝමීටර් 9,700ක පමණ වපසරියකින් යුක්තය. එයින් ද වර්ග කිලෝමීටර් 3,700ක් ඉරාන මුහුදු සීමාවේ පිහිටා ඇත. භූ දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් මෙම නිධිය ඉරානයට ඉතා වැදගත් වෙයි. ඉරානයේ දේශීය බලශක්ති අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ද මෙම නිධිය (සවුත් පාර්ස්) මගිනි. 

1990 දශකයේ අගභාගයේදී මෙහි කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අදියර කිහිපයක් ඔස්සේ එහි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ඉරාන රජය පියවර ගත්තේය. මෙහි පවතින වායු සංචිත ප්‍රමාණය ඝන මීටර් ට්‍රිලියන 14ක් පමණ වන බවත්, ඊට අමතරව බොරතෙල් බැරල් බිලියන 18ක් පමණ අඩංගු වන බවත් ගණන් බලා ඇත. මෙම වායු නිධියෙන් උපරිම ඵල ලබා ගැනීම සඳහා ඉරානය පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ අසලූයේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත කාර්මික කලාපයක් ස්ථාපනය කර ඇත. 

එහිදී නිධියෙන් ලබා ගන්නා වායු (ගෑස්) පිරිපහදු කිරීම සිදුවෙයි. එල්ඒන්ජී හෙවත් ද්‍රවීකෘත ස්වාභාවික වායු නිෂ්පාදනය සිදුවෙයි. පෙට්‍රෝ රසායනික නිෂ්පාදන සිදු කෙරෙයි. කෙසේ නමුත්, ඇමෙරිකාව සහ යුරෝපය ඇතුළු බටහිර රටවල් ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විදේශීය ආයෝජන ලබා ගැනීමේදී ඉරානය විවිධ අභියෝගවලට මුහුණ දී ඇත. ගෝලීය බලශක්ති වෙළඳපොළේ ඉරානය සතු බලය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ සවුත් පාර්ස් නිධියයි.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ, බලශක්ති සැපයුම පවත්වාගෙන යෑම සහ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා මෙම වායු නිධියෙන් ලැබෙන දායකත්වය මිල කළ නොහැකිය. කලාපීය බලවතුන් අතර පවතින තරඟකාරීත්වය හමුවේ වුවද, ඉරානය සිය බලශක්ති ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට මෙම ස්වභාවික සම්පත උපරිමයෙන් භාවිතයට ගනී. 

 ඉරානයෙන් ප්‍රහාර එල්ල වුණු රාස් ලෆාන් යනු ලොව විශාලතම සහ වැදගත්ම බලශක්ති අපනයන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන කාර්මික නගරයයි. දෝහා නගරයට කිලෝමීටර් 80ක් පමණ උතුරින් පිහිටි මෙම වෙරළබඩ කලාපය, කටාරයේ ආර්ථිකයේ හදවත යැයි කීවොත් එය නිවැරදිය. 

විශේෂයෙන්ම ලොව විශාලතම ස්වභාවික වායු නිධිය වන, නෝර්ත් ඩෝම් නිධියෙන් ලබාගන්නා වායු (ගෑස්) පිරිපහදු කිරීම සහ අපනයනය කිරීම සඳහා වූ ප්‍රධාන ද්වාරය වන්නේ මෙයයි. 1990 දශකයේ අගභාගයේදී මෙහි මෙහෙයුම් ආරම්භ වූ අතර, අද වන විට එය ලොව ද්‍රවීකෘත ස්වාභාවික වායු (එල්එන්ජී) නිෂ්පාදනයේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. 

මෙම කාර්මික නගරය තුළ, ලොව විශාලතම ‘ගෑස් සිට ද්‍රව’ දක්වා පිරිපහදු කටයුතු සිදු කෙරෙන පිරිපහදු මධ්‍යස්ථාන පිහිටා ඇත. පර්ල් ජී.ටී.එල් වැනි දැවැන්ත ව්‍යාපෘති හරහා ස්වභාවික වායු උසස් තත්ත්වයේ දියර ඉන්ධන බවට පත් කිරීම මෙහිදී සිදුවෙයි. මෙහි ඇති වරාය සංකීර්ණය, ලොව විශාලතම කෘත්‍රිම වරායන්ගෙන් එකක් වන අතර, එමගින් දිනකට ද්‍රවීකෘත ස්වාභාවික වායු මෙට්‍රික් ටොන් මිලියන ගණනක් ලොව පුරා විසිරී ඇති රටවලට ප්‍රවාහනය කිරීමට පහසුකම් සලසා ඇත. 

කටාර් එනර්ජි (බලශක්ති) සමාගම මගින් පාලනය වන මෙම කලාපය, තාක්ෂණික අතින් ඉතා දියුණු යටිතල පහසුකම්වලින් සමන්විතය. ආර්ථිකමය වශයෙන් බලන කල, රාස් ලෆාන් යනු කටාරය ලොව ධනවත්ම රටක් බවට පත් කිරීමට මූලික වූ සාධකයයි. මෙහි සිදුවන දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් ලෝකයේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට කටාරයට විශාල හැකියාවක් ලැබී ඇත. 

විශේෂයෙන්ම යුරෝපය සහ ආසියානු රටවල් තම බලශක්ති අවශ්‍යතා සඳහා රාස් ලෆාන් වෙතින් අපනයනය කරන වායු මත දැඩි ලෙස රඳා පවතී. කාර්මික කටයුතුවලට අමතරව, මෙහි සේවය කරන දහස් සංඛ්‍යාත සේවකයින් සඳහා අවශ්‍ය නේවාසික පහසුකම්, විදුලි බලය සහ ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ද මෙම පරිශ්‍රය තුළම ස්ථාපනය කර ඇත.

ගෝලීය භූ දේශපාලනය තුළ ද රාස් ලෆාන් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී. පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින දේශපාලන අස්ථාවරත්වයන් හමුවේ වුවද, ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළට බාධාවකින් තොරව සැපයුම් ලබා දීමට මෙම මධ්‍යස්ථානය හැකි විය. 

කටාරයේ 2030 ජාතික දැක්ම යටතේ රාස් ලෆාන් තවදුරටත් නවීකරණය කිරීමටත්, එහි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත් පියවර ගනිමින් පවතී. මෙය හුදෙක් කාර්මික නගරයක් පමණක් නොව, කටාර් රාජ්‍යයේ ගෝලීය බලය විදහා දක්වන ප්‍රධාන සංකේතයකි. 

ලුසිත ජයමාන්න‍ 
BBC ඇසුරිනි
තව කියවන්න

Upside-down ග්‍රහ මණ්ඩලය

March 21, 2026
අප ජීවත් වන ග්‍රහලෝකය පෘථිවියයි. පෘථිවිය අයත් ග්‍රහ මණ්ඩලයට අයිති තාරකාව සූර්යයාය. එහෙයින්, පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලය හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය යනුවෙනි. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද සූර්යයා නැතිනම් හිරුය. 

පෘථිවියේ ජීවය පහළ වීමට ද හේතු සාධක වුණු හිරුගේ ඇති අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා, පෘථිවිය ද ඇතුළු අනෙකුත් සියලුම ග්‍රහලෝක සහ ග්‍රහ වස්තූන් සූර්යයා වටා නිශ්චිත කක්ෂවල රඳවා තබා ගැනීමක් සිදුවෙයි. සූර්යයාගේ සිට පිළිවෙළින් ග්‍රහලෝක අටකි. 

මෙම ග්‍රහලෝක අට, ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙයි. ඒ, පාෂාණමය ග්‍රහලෝක සහ වායු යෝධයන් වශයෙනි. ග්‍රහලෝකවලට අමතරව උපග්‍රහයන් එසේත් නැතිනම් චන්ද්‍රයන්, ග්‍රහක, ධූමකේතු හෙවත් වල්ගාතරු සහ වාමන හෙවත් කුරු ග්‍රහයන් ද දකින්න ලැබේ. ප්ලූටෝ සැලකෙන්නේ කුරු ග්‍රහයකු ලෙසය. 

මේ සියල්ල එකට ගත් කළ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙයි. අප පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලය ඇත්තේ මන්දාකිණියක් තුළය. මේ මන්දාකිණිය ක්ෂීරපථය යන නමින් හැඳින්වෙයි. තාරකා විද්‍යාඥයන්ට ක්ෂීරපථයෙන් තවත් ග්‍රහ මණ්ඩල හමුවී ඇත. 

සාමාන්‍යයෙන් ග්‍රහ මණ්ඩලයක් පිහිටන්නේ තරුවක් කේන්ද්‍ර කර ගනිමිනි. තාරකා විද්‍යාඥයන් අලුතින් සොයා ගන්නා ග්‍රහ මණ්ඩල අධ්‍යයනය කරන්නේ ඒවා අප සෞරග්‍රහ මණ්ඩලය හා සන්සන්දනය කිරීමෙනි. පසුගියදා විද්‍යාඥයෝ නව සොයා ගැනීමක් කළහ. විද්‍යාඥයන් සොයා ගත්තේ නව ග්‍රහ මණ්ඩලයකි. 

මෙම ග්‍රහ මණ්ඩලය, සෞරග්‍රහ මණ්ඩලය සමඟ සැසඳීමට යෑමේදී, එය හාත්පසින්ම වෙනස් එකක් බව අවබෝධ විය. දැන් මෙම නව සොයා ගැනීම, ග්‍රහ මණ්ඩල ගැන මෙතෙක් අප දැන සිටි කරුණු කාරණා වෙනස් කිරීමට හේතුවක් වී තිබේ. 

අප සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණමය ග්‍රහලෝක යනුවෙන් හැඳින්වෙන්නේ, ප්‍රමාණයෙන් කුඩා, මතුපිට ඝන පාෂාණවලින් සැදුම්ලත් ග්‍රහලෝකය. බුධ සූර්යයාට සමීපතම සහ කුඩාම ග්‍රහලෝකයයි. සිකුරු දීප්තිමත්ම සහ උණුසුම්ම ග්‍රහලෝකයයි. අප ජීවත් වන පෘථිවිය, අප දන්නා පරිදි විශ්වයේ ජීවය පවතින එකම ග්‍රහලෝකයයි. අඟහරු හෙවත් රතු ග්‍රහයා පිහිටන්නේ පෘථිවියෙන් පසු සිවුවැනි ස්ථානයේය. 

මේ ග්‍රහයන් පාෂාණමය ග්‍රහලෝක අතරට අයත් වෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ වායු යෝධයන් යනුවෙන් හැඳින්වෙන්නේ සෙසු ග්‍රහයන්ය. මේවා ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර වැඩි වශයෙන් වායූන්ගෙන් සමන්විතය. යෝධයන් යැයි කියන්නේ ඒ නිසාය. 

බෘහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකයයි. සෙනසුරු සුන්දර වළලුවලින් සමන්විත වායු යෝධයෙකි. යුරේනස් අයිස් යෝධයෙක් වන අතර, නෙප්චූන් සූර්යයාට දුරින්ම පිහිටි ශීතල ග්‍රහලෝකයයි. පසුගිය වසර ගණනාව පුරාම, සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි පිහිටි තවත් ග්‍රහ මණ්ඩල දහස් ගණනක් තාරකා විද්‍යාඥයන් විසින් මේ වන විට සොයාගෙන ඇත. මේවා බහිර්සූර්ය ග්‍රහලෝක ලෙස හැඳින්වෙයි. 

විශ්වය යනු අප සිතනවාට වඩා අති විශාල සහ විවිධත්වයෙන් පිරි තැනකි. වසර 1990 දශකයට පෙර, අපගේ සූර්යයාට හැර වෙනත් තාරකාවලට ග්‍රහලෝක පවතින බවට ස්ථිර සාක්ෂි තිබුණේ නැත. ඒත් අද වන විට නාසා ආයතනයට අනුව අපගේ ක්ෂීරපථය තුළ පමණක් තහවුරු කරන ලද බහිර්සූර්ය ග්‍රහලෝක 5,000 කට වඩා සොයාගෙන තිබේ. සෞරග්‍රහ මණ්ඩලයේ පිළිවෙළ අනුව හිරුට ළං වී මුලින්ම ඇත්තේ එක පෙළට පාෂාණමය ග්‍රහලෝකයන්ය. 

වායු යෝධයන් ඇත්තේ එක පෙළට ඉන් පසුවය. තාරකා විද්‍යාඥයන් මෙතෙක් කල් විශ්වාස කළේ ඕනෑම ග්‍රහ මණ්ඩලයක ග්‍රහලෝක පිහිටන නිශ්චිත රටාවක් පවතින බවය. සෞරග්‍රහ මණ්ඩලයේ මෙන්ම, අනෙකුත් ග්‍රහ මණ්ඩලවල ද ඒවායේ ඇති තාරකා වටා මුලින්ම කුඩා පාෂාණමය ග්‍රහලෝක පිහිටන බවත්, ඉන්පසු විශාල වායුමය ග්‍රහලෝකත් පිහිටන බවත් විද්‍යාත්මක පිළිගැනීම විය. 

කෙසේ නමුත්, අලුතින් හමුවුණු ‘එල්.එච්.එස්. 1903’ නම් රතු වාමන තාරකාව සහ එය වටා ඇති ග්‍රහ මණ්ඩලය මේ මත සියල්ල වෙනස් කර ඇත. ඒ, මෙතෙක් පැවැති මෙම මූලික විද්‍යාත්මක මතය සම්පූර්ණයෙන්ම අභියෝගයට ලක් කරමිණි. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ චියොප්ස් දුරේක්ෂය ඇතුළු ප්‍රබල නිරීක්ෂණාගාර කිහිපයක දත්ත ඇසුරින් මෙම ‘එල්.එච්.එස්. 1903’ වාමන තාරකාව සහ ග්‍රහ මණ්ඩලය යොසා ගැනීම සිදුවිය.

‘එල්.එච්.එස්. 1903’ ග්‍රහ මණ්ඩලයට ග්‍රහලෝක හතරක් ඇති බව හඳුනා ගැනුණි. අසාමාන්‍ය දේ වන්නේ, ග්‍රහලෝක පිහිටා ඇති අනුපිළිවෙළය. පළමු ග්‍රහලෝකය පාෂාණමය එකක් වන අතර, දෙවැනියට සහ තෙවැනියට පිහිටා ඇත්තේ වායුමය ග්‍රහලෝක දෙකකි. 

විද්‍යාඥයන් මවිතයට පත් කරමින් පද්ධතියේ කෙළවරින්ම, එනම් තාරකාවට බෙහෙවින් ඈතින් සොයාගත් සිවුවැනි ග්‍රහලෝකය යළි පාෂාණමය ග්‍රහලෝකයකි‍. මෙවැනි දෙයක් විද්‍යාඥයන් බලාපොරොත්තු වී නැත. විද්‍යාඥයන් පවසා ඇත්තේ තමන්ට ඇතුළත සහ පිටත මාරු වූ ග්‍රහ මණ්ඩලයක් හමුවුණු බවය.

වෝර්වික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් විල්සන් මෙම සොයා ගැනීමට සහ මේ සම්බන්ධයෙන් සිදු කරන අධ්‍යයනයන්ට සම්බන්ධ වී සිටී. 

“සාමාන්‍යයෙන් තාරකාවක සිට මෙතරම් ඈතකදී පාෂාණමය ග්‍රහලෝකයක් නිර්මාණය වීමට අවශ්‍ය ද්‍රව්‍ය සාන්ද්‍රණය අවම බැවින්, මෙය මෙතෙක් විශ්වයේ නිරීක්ෂණය නොකළ අලුත්ම ආකාරයක ග්‍රහලෝක බිහිවීමේ ක්‍රියාවලියක් විය හැකි බව මාගේ අදහසයි. මෙම සොයාගැනීමත් සමඟ ග්‍රහලෝක විද්‍යාව සම්බන්ධයෙන් අප භාවිතයට ගන්නා බොහෝ ගණිතමය ආකෘති සහ උපකල්පන ගැන වෙනස් විදියකට බලන්න අපට සිදුවේවි” යැයි මහාචාර්ය තෝමස් විල්සන් පැහැදිලි කරයි. 

තරුවලට සමීපව පිහිටන අභ්‍යන්තර ග්‍රහලෝක කුඩා සහ පාෂාණමය ඒවා වනු ඇතැයි තාරකා විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීම වෙයි. ඊට හේතුව, එ් ඒ තාරකාවෙන් නිකුත් වන ප්‍රබල විකිරණ මගින් එම ග්‍රහලෝකවල පාෂාණමය හරය වටා ඇති වායූන් ඉවත් කර දැමීමය. 

කෙසේ වෙතත්, සෞරග්‍රහ මණ්ඩලයක ඈතින් පිහිටි සීත කලාපවලදී, ග්‍රහලෝක හරය වටා ඝන වායුගෝලයක් නිර්මාණය විය හැකි අතර එමගින් වායු යෝධයන් බිහි වේ. ‘එල්.එච්.එස්. 1903’ නමැති මෙම අසාමාන්‍ය ග්‍රහ මණ්ඩලය පිළිබඳව විමතියට පත් වූ තාරකා විද්‍යාඥයෝ එය එසේ නිර්මාණය වූ අයුරු සෙවීමට උත්සාහ කරමින් සිටිති‍. සාමාන්‍යයෙන් ග්‍රහලෝක නිර්මාණය වන්නේ, ප්‍රෝටෝප්ලැනටරි තැටිය ලෙස හැඳින්වෙන වායු සහ දූවිලි සහිත දැවැන්ත වළල්ලක් තුළ එකවරය. 

මෙහිදී කුඩා දූවිලි අංශු එකිනෙක එකතු වී, පසුව විශාල හරයන් බවට පත්වී, අවසානයේ ප්‍රබල ග්‍රහලෝක ලෙස පරිණාමය වෙයි. කෙසේ නමුත් මහාචාර්ය විල්සන් පවසන පරිදි, ‘එල්.එච්.එස්. 1903’ ග්‍රහ මණ්ඩලයේ සිවුවැනි ග්‍රහලෝකය නිර්මාණය වන විට, එම පද්ධතියේ තිබූ වායු අවසන් වී යන්නට ඇත.‍ ඒ අනුව, සිවුවැනි ග්‍රහලෝකය වායු-හීන නිර්මාණය වූවකි. එපමණක් නොවෙයි, වායු-හීන පරිසරයක නිර්මාණය වූ ග්‍රහලෝකයක් පිළිබඳ ලැබුණු පළමු සාක්ෂිය වන්නේ මෙය යැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. 

ලුසිත ජයමාන්න 
Science Alert ඇසුරිනි
තව කියවන්න

උතුරු කොරියාවේ කුරුමාණම

March 21, 2026
මැදපෙරදිග ගැටුම දිනෙන් දින උණුසුම් වී, අපේ ජීවිත උඩු යටිකුරු කිරීමට පටන්ගෙන ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ අඹ යාළුවා ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙදන්යාහු හෙවත් ‘බීබී’ ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර අවසන් කරන බවක් පෙනෙන්නට නැත. 

පුරාණ ප්‍රෞඪ ජාතියක් වන පර්සියානුවන්ගෙන් සැදුම්ලත් ඉරානය කිසිසේත්ම ඇමෙරිකාවට යටත් වන බවක් පෙනෙන්නට ද නැත. ඉරානය ඇමෙරිකාවට යටත් වීම යනු එරට ඉස්ලාමීය පාලනයේ අවසානයයි. 

තමන්ට ආරක්ෂා වීමට අයිතිය ඇතැයි පවසමින් ඉරානය සිය කලාපයේ ඇමෙරිකන් ඉලක්කවලට පහර දෙයි; ඊශ්‍රායලයට පහර දෙයි. මේ අතරතුරේ සැතපුම් දස දහස් ගණනක් ඈතින් පිහිටි උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ද ඇමෙරිකා-ඊශ්‍රායල ඉරාන ගැටුමට මැදිහත් වීමට පොටක් පාදා ගැනීමට උනන්දුවක් දක්වන බවක් ද පෙනෙයි.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙන එක් හේතුවක් නම්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනය. ට්‍රම්ප් සහ බීබී චෝදනා කරන්නේ ඉරානය ‘නුදුරු අනාගතයේ කවදා හෝ දිනයක’ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ පරමාණු බෝම්බ නිපදවනු ඇති බවත්, එය ලෝකයට තර්ජනයක් වනු ඇති බවත්ය. 

එසේ වීම වැළැක්වීමට දැන් සිට ම ඉරානයට පහර දී අඩපණ කළ යුතු බව ට්‍රම්ප්ගේත් බීබීගේත් තර්කය වී ඇත. උතුරු කොරියාව සතුව ද න්‍යෂ්ටික වැඩසටහනක් ඇත. ඉරානය මෙන් නොව, උතුරු කොරියාව එළිපිට න්‍යෂ්ටික අත්හදා බැලීම් කරයි.

න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන ඇමෙරිකාවට පවා විදිය හැකි දිගු දුර මිසයිල අත්හදා බලයි. උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ කරන්නේ මොනවාදැයි කියා ඇමෙරිකන් බුද්ධි අංශ හරිහැටි දන්නේ ද නැත. මෙය භයානක තත්ත්වයකි. 

 ඇමෙරිකාව දිගට හරහට ඉරානයට මෙන්ම උතුරු කොරියාවට ද සම්බාධක පනවා ඇත. සම්බාධක මැද ඉරානයට උදවු කරන්නේ චීනය, අසල්වැසි රුසියාවයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට සහාය දක්වන්නේ ද මෙම රටවල්ය. උතුරු කොරියාව අභ්‍යවකාශ වැඩසටහනක් ද ආරම්භ කර ඇති අතර, ඊට රුසියාව සහ චීනය සහාය දක්වයි. 

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙද්දී සහ ඉරාන උත්තරීතර නායක අලි කමේනී ඝාතනය කළ අවස්ථාවේ, බොහෝ දෙනකු සිතුවේ රුසියාව සහ චීනය මැදිහත් වී, ඔවුන් රුසියාව සහ ඊශ්‍රායලය සමග පැටළෙනු ඇතැයි කියාය. ඒත් එවැන්නක් සිදු නොවිණි. 

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ‘කට වචනයෙන්’ ඉරානය වෙනුවෙන් පෙනී සිටියේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඉරානය වෙනුවෙන් පෙනී සිටිමින් ඊශ්‍රායලයටත් ඇමෙරිකාවටත් ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීය. 

ඒ, ඉරානයේ සිටින එක උතුරු කොරියානුවකුට හෝ අනතුරක් සිදුවුවහොත් තම හමුදාව සහ තම න්‍යෂ්ටික මිසයිල ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට පැමිණෙනු ඇති බවටය. යුදෙව් ඊශ්‍රායලය සුනුවිසුණු කරන්න, ඉරානයට අවශ්‍ය වනු ඇත්තේ තමන්ගේ එක් බැලස්ටික් මිසයිලයක් පමණක් යැයි නායක කිම් ජොන් උන් පවසා ඇත. මෙය සුළුවෙන් තැකිය හැකි තර්ජනයක් නම් නොවෙයි.

අද අප දකින උතුරු සහ දකුණු කොරියාව වසර දහස් ගණනක් තිස්සේ එකම සංස්කෘතියක්, එකම භාෂාවක් සහ එකම උරුමයක් බෙදාගත් එකම රටකි. දෙරටේ වැසියන්ගේ ආගම ද එකමය. 

ඒත් අවාසනාවකට, මේ එකම ජාතිය දෙකඩ වූයේ ලෝක දේශපාලනික බල අරගලයක් හමුවේ, මීට දශක කිහිපයකට පෙරය. විසිවන සියවස මුල් භාගයේදී කොරියාව පැවතියේ ජපානයේ යටත් විජිතයක් ලෙසය. 

වසර 35ක ජපාන පාලනය අවසන් වූයේ 1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී, ජපානය පරාජය වීමත් සමඟය. ජපානයෙන් නිදහස ලැබූ කොරියාවට තමන්ගේම පාලනයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලැබුණ ද, එදා ප්‍රධාන ලෝක බලවතුන් දෙදෙනා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය ඊට මැදිහත් විය.

දෙවන ලෝක යුද්ධය අවසානයේ සෝවියට් දේශය, ඔවුන්ට මායිම්ව පිහිටන කොරියාවේ උතුරු ප්‍රදේශයත්, ඇමෙරිකාව කොරියාවේ දකුණු ප්‍රදේශයත් පාලනය කිරීමට තීරණය කළේය. 

මේ සඳහා ඔවුන් කොරියානු සිතියමේ ‘38 වන සමාන්තර රේඛාව’ යන නමින් මායිමක් ලකුණු කළේය. මෙය තාවකාලික බෙදීමක් ලෙස සැලකුණත්, නිරවි යුද්ධයේ ආරම්භයත් සමඟ උතුරේ සෝවියට් හිතවාදී කොමියුනිස්ට් පාලනයක් සහ දකුණේ ඇමෙරිකන් හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකුත් ස්ථාපිත විය. 

 1950 දී උතුරු කොරියාව මුළු අර්ධද්වීපයම තම පාලනයට නතු කරගැනීමේ අරමුණින් දකුණු කොරියාව, උතුර ආක්‍රමණය කළේය. හටගත් යුද්ධය වසර තුනක් තිස්සේ පැවතිණි. මිලියන ගණනකට ජීවිත අහිමි විය. 

1953 දී දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් අත්සන් කෙරුණ ද, එය සාම ගිවිසුමක් නොවීය. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයා වන්නේ ලී ජේ මයුංග් ය. ඔහු නම්‍යශීලී ජනාධිපතිවරයෙකි. 

පවතින සටන් විරාමය සාම ගිවිසුමකට පෙරළන්න දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු රජය සමග සාකච්ඡා පවත්වමින් සිටී. උතුරු කොරියාව නිල වශයෙන් හැඳින්වෙන්නේ, මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය යනුවෙනි. වර්තමාන ලෝකයේ පවතින වඩාත්ම රහසිගත සහ මධ්‍යගත පාලනයක් සහිත රාජ්‍යය ලෙස සැලකෙන්නේ ද උතුරු කොරියාවය. 

උතුරු කොරියාවේ පාලනය 1948 වසරේ සිට ‘කිම්’ පරම්පරාව සතුව පවතී. මෙම පරම්පරාවේ ආරම්භකයා කිම් ඉල්-සුං ය. මොහු වත්මන් නායක කිම් ජොං උන්ගේ සීයාය. ලෝකයේ එකම පරම්පරාගත කොමියුනිස්ට් පාලනය ඇත්තේ උතුරු කොරියාවේය. 

නායක කිම් ජොං උන් රජයේ, හමුදාවේ සහ පාලක පක්ෂයේ නිරපේක්ෂ නායකයා වන අතර, ඔහුගෙන් තොරව කිසිදු තීරණයක් රට තුළ ක්‍රියාත්මක නොවෙයි. රටේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ කොරියානු කම්කරු පක්ෂය මගිනි. උතුරු කොරියානු පාලනයේ මූලික පදනම ‘ජුචේ’ නමැති දේශපාලන දර්ශනයයි. මෙයින් අදහස් කරන්නේ ‘ස්වයංපෝෂිත බව’ යන්නය. 

බටහිර සම්බාධක මැද උතුරු කොරියාව නොසැලී සිටින්නේ ඔවුන්ගේ මෙම ස්වයංපෝෂිත බව නිසාය. උතුරු කොරියානු රජයේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ‘සොන්ගුන්’ හෙවත් ‘හමුදාවට මුල් තැන’ දීමේ ප්‍රතිපත්තියයි. මැදපෙරදිග යුද උණුසුම මැද පසුගිය දා උතුරු කොරියානු පාලක කම්කරු පක්ෂයේ මහ සමුළුව ප්යොන්ග්යැන්ග් අගනුවර පැවැත්විණි. එහිදී මුළු ලෝකයේම අවධානය යොමු වූයේ නායක කිම් ජොන් උන්ගේ 13 හැවිරිදි දියණිය කෙරෙහිය. 

කිම් ජොන් උන්ගෙන් පසු ඔහුගේ උරුමක්කාරයා වනු ඇත්තේ ඇය බව පැවැසෙයි. ඇය කිම් ජූ අයි ය. පසුගිය දා නායක කිම් ජොන් උන් දියණිය ද කැටුව උතුරු කොරියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් නිරීක්ෂණයට ගිය අතර, එහිදී ඇය එම කම්හලේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල පරීක්ෂා කිරීමට ද අමතක කළේ නැත. කිම් ජොන් උන් මෙන්, දියණිය ද පිස්තෝල පරීක්ෂා කළේ ඒවායින් ඉලක්කයට වෙඩි තබමිනි. 

ලුසිත ජයමාන්න 
Aljazeera ඇසුරිනි
තව කියවන්න

පෙට්‍රෝඩොලරය

March 21, 2026
අප සියලු දෙනා මැදපෙරදිග හටගෙන ඇති අර්බුදය හේතුවෙන් පීඩාවට පත් වී සිටී. එය දිගු කාලීනව අප කාගේත් ජීවිත උඩු යටිකුරු තිරීමට සමත් වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයන් පුරෝකතනය කර අවසන්ය.

ලෝකයේ සියලු දේ පාලනය කරන එක්තරා පද්ධතියක් ඇත. ලෝකය පාලනය කරන්නේ මේ පද්ධතියයි. මිල ගණන් තීරණය කරන්නේ මෙයයි. බලශක්තිය සම්බන්ධයෙන් තීරණය ගන්නේ මෙයයි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ මෙයයි. මෙය බැංකු පද්ධතියක් නොවෙයි. කොටස් වෙළෙඳපොළ ද නොවෙයි. මේ පද්ධතිය හැඳින්වෙන්නේ ‘පෙට්‍රෝඩොලර්’ යනුවෙනි. 

ගෙවී ගිය පනස් වසරක පමණ කාලය පුරාවට ‘පෙට්‍රෝඩොලර්’ ලෝකය වෙනස් කර ඇත. ඉරාන ඊශ්‍රායල ඇමෙරිකා යුද්ධය මැද අද ලෝකය මුහුණ දෙන අර්ර්බුබුදයට මුල ද මේ පෙට්‍රෝඩොලරයයි. පෙට්‍රෝඩොලරය යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට නම්, පළමුවෙන්, තෙල් අපට කොතරම් වටින්නේ ඇයිදැයි අප වටහාගත යුතුය. අප තෙල් (ඩීසල් සහ පෙට්‍රල්) අපේ වාහන සඳහා භාවිතයට ගනී. ගුවන්යානාවලට නැව්වලට යොදා ගනී. ප්‍රවාහන කටයුතුවලට තෙල් අත්‍යාවශ්‍ය දෙයකි. ප්ලාස්ටික් නිපදවීමටත් තෙල් භාවිත කෙරේ. 

විදුලි බලය නිපදවා ගැනීමටත් තෙල් (ඩීසල්) භාවිත කෙරේ. අප අපට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිපදවා ගැනීමටත් තෙල් භාවිතයට ගනී. පොහොර වර්ග නිපදවීමට යොදා ගනී. ඔබ නොදන්නවා විය හැක ඒත් සපත්තු, දත් බෙහෙත්, මේකප් වර්ග, ෂැම්පූ, පිරිසුදුකාරක දියර, ඇස් කණ්ණාඩිවලට යොදා ගන්නා කාච, සෙල්ලම් බඩු, ආහාර ඇසුරුම් සහ කසල බෑග් නිෂ්පාදනය ද ඇතුළු තවත් විවිධ කාර්යයන් සඳහා තෙල් භාවිතයට ගනී. 

සරලව කීවොත් අපගේ ආර්ථිකය රැඳී පවතින්නේ තෙල් මතය. තෙල් මෙතරම් වැදගත් නිසා රටවල් නිරන්තරයෙන් තෙල් මිලදී ගනී. ඇතැම් රටවල් බහුලව තෙල් නිෂ්පාදනය කරයි. වැඩිම තෙල් ඇති රට ලෙස සැලකෙන්නේ වෙනිසියුලාවය. වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ පාලනය අවසන් කිරීමෙන් පසු ඒ තෙල් දැන් අයිති ඇමෙරිකාවටය. දෙවැනියට වැඩියෙන්ම තෙල් නිෂ්පාදනය කරන රට වන්නේ සෞදි අරාබියයි.

තවත් සමහර රටවල් තෙල් බහුලව භාවිතයට ගන්නා නමුත් තෙල් බහුල වශයෙන් නිෂ්පාදනය කරන්නේ නැත. ඊට උදාහරණයක් වන්නේ ජපානයයි. තෙල්වලට ඇති මේ විශාල ඉල්ලුම නිසා ඊට විශාල වෙළෙඳපොළක් නිර්මාණය විය. මේ තෙල් වෙළෙඳපොළ පාලනය කරන්නේ ඇමෙරිකන් ඩොලරයයි. එය එසේ වූයේ කෙසේද?

මෙය වටහා ගැනීමට නම් දෙවැනි ලෝක යුද්ධය අවසානයට යා යුතුය. දෙවැනි ලෝක යුද්ධය අවසාන වෙද්දී, ලෝකයේ රටවල් බොහොමයක් යුද්ධයෙන් හෙම්බත් වී සිටි අතර, එම රටවලට සිදුවී තිබුණු විනාශය අතිමහත් විය. ඒත් ඇමෙරිකා එක්සත් ජනපදය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වී නැගී සිටීමට පටන් ගෙන තිබුණි.

ඇමෙරිකන් කර්මාන්තශාලාවල නිෂ්පාද කටයුතු නොකඩවා සිදුවෙන්න විය. 1944 වසරේ දී, බ්‍රෙට්න් වුඩ්ස් ක්‍රමය යටතේ ලෝකයේ ප්‍රධාන මුදල් ඒකකය ලෙස ඩොලරය පිළිගැනුණි. නව ‘ලෝක පිළිවෙළකට’ ලෝකය හැඩ ගැසෙන්න විය. ඇමෙරිකාව පොරොන්දුවක් දුන්නේ, රත්තරන්වලට ඇමෙරිකන් ඩොලර් මාරු කළ හැකි බවටය. 

1971 වසරේ දී, එවකට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ රිචඩ් නික්සන්, ඇමෙරිකන් ඩොලරයට රන් මගින් ලබාදුන් සහතිකය අහෝසි කළේය. ඉන්පසු ඩොලරයේ වටිනාකම සහ ඉල්ලුම පවත්වා ගැනීම සඳහා ඇමෙරිකාව 1974 දී සෞදි අරාබිය සමඟ විශේෂ ගිවිසුමකට එලැඹුණි.

එම ගිවිසුමේ කොන්දේසිය වූයේ සෞදි අරාබිය තම තෙල් විකිණිය යුත්තේ ඇමෙරිකානු ඩොලර්වලින් පමණක් යන්නය. ඒ වෙනුවෙන් ඇමෙරිකාව සෞදි අරාබියට යුදමය ආරක්ෂාව සහ නවීන අවි ආයුධ ලබාදීමට එකඟ විය. 

අද පවා ඇමෙරිකාව සහ සෞදි අතරේ ඇති හිතවත්කම මෙයයි. ඊට අමතරව, සෞදි අරාබිය තෙල් විකුණා උපයන අතිරික්ත ඩොලර් නැවත ඇමෙරිකා බැංකු සහ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමටද එකඟ විය. පසුව තෙල් අපනයනය කරන සෙසු රටවල් (ඔපෙක් සංවිධානයට අයත් රටවල්) ද මෙම ක්‍රමය නැතිනම් මෙම පද්ධතිය අනුගමය කිරීමට පටන් ගත්තේය. 

පෙට්‍රෝඩොලර් යනු මෙයයි. පෙට්‍රෝඩොලර් පද්ධතිය නිසා ඇමරිකාවට සුවිශාල ආර්ථික වාසි රැසක් හිමිවෙයි. ඕනෑම රටකට තෙල් මිලදී ගැනීමට නම් ඩොලර් අවශ්‍ය වෙයි. එබැවින් ලෝකයේ සෑම රටක්ම තම සංචිත ලෙස ඩොලර් තබා ගැනීමට පෙළඹේ. සෙසු රටවල් තෙල් විකුණා ලබාගන්නා ඩොලර් නැවත ඇමෙරිකා බැඳුම්කරවල ආයෝජනය කරන බැවින්, ඇමෙරිකා රජයට ඉතා අඩු පොලියකට ණය ලබාගත හැකිවෙයි. 

ලෝකයේ බලශක්ති ගනුදෙනු ඩොලර් හරහා සිදුවන බැවින්, වෙනත් රටවලට ආර්ථික සම්බාධක පැනවීමට ඇමෙරිකාවට විශාල බලයක් හිමිවෙයි. ඇමෙරිකාව ලෝක බලවතා වන්නේ මේ අයුරිනි. අද වනවිට ලෝකය වෙනස් වී ඇති අතර, පෙට්‍රෝඩොලර් පද්ධතිය යම් අභියෝගයකට ලක්වෙමින් පවතී. මේවනවිට ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින අර්බුදයට හේතුව ද එයයි. 

පෙට්‍රෝඩොලර් පද්ධතිය අභියෝගයට ලක් වීමට එක් ප්‍රධාන හේතුව වන්නේ චීනය සහ රුසියාව රටවල් ඩොලර් වෙනුවට තමන්ගේම මුදල් ඒකක (යුවාන්, රූබල්) මගින් තෙල් ගනුදෙනු කිරීමට උත්සාහ කිරීමය. ‘බ්‍රික්ස්’ සංවිධානය ද පෙට්‍රෝඩොලර් පද්ධිතයට අභියෝගයකි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල එකමුතුවය. 

මෙම එකමුතුව ඩොලරය මත ඇති යැපීම අඩු කිරීමට පියවර ගනිමින් සිටී. ට්‍රම්ප් පෞද්ගලිකව ‘බ්‍රික්ස්’ සංවිධානයට අකමැත්ත පළ කරන්නේ ද එබැවිනි. ඇමෙරිකාව ලෝකයේ ප්‍රබලතම ආර්ථිකය ලෙස පවත්වා ගැනීමට උදවු වන කොඳු නාරටිය පෙට්‍රෝඩොලර්ය. 

කෙසේ නමුත්, සෞදි අරාබිය සහ ඇමෙරිකාව අතරේ ඇතිකරගත් ගිවිසුම කිසියම් ආර්බුදයකට ලක් වී ඇත. ඒ, සෞදි අරාබියේ වෙනස්වන ප්‍රතිපත්ති නිසාය. මෑතකදී සෞදිය ද චීනය සමඟ කරන ගනුදෙනු වලදී චීනයේ යුවාන් මුදල් ඒකකය භාවිතා කිරීමට කැමැත්ත පළ කිරීම ඊට හේතුව බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තව කියවන්න

Mar 15, 2026

ඇපල් ඇටවල සයනයිඩ්

March 15, 2026
බොහෝ දෙනෙක් ප්‍රිය කරන පලතුරක් වන ඇපල් ඇට තුළ ඇමිග්ඩලින් (Amygdalin) නමැති ස්වභාවික රසායනික සංයෝගය අඩංගු වෙයි. ඇපල් ඇට සපා කෑමේදී හෝ කුඩු වී ශරීරගත වීමේදී, ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමඟ ප්‍රතික්‍රියා කර මාරාන්තික සයනයිඩ් (Cyanide) වායුව මුදා හැරීමට සමත් වෙයි. 

සයනයිඩ් යනු ශරීරයේ සෛලවලට ඔක්සිජන් භාවිත කිරීමේ හැකියාව අඩාල කරන ප්‍රබල විෂකි. අත්වැරදීමකින් ඇපල් ඇට කිහිපයක් ගිලීමෙන් බිය විය යුතු නැත. ඇපල් ඇටයක ඇති දැඩි පිටත ආවරණය නිසා එය ජීර්ණය නොවී ශරීරයෙන් බැහැර වීමට වැඩි ඉඩක් පවතී. 

එමෙන්ම, ඉතා සුළු ප්‍රමාණයකින් ශරීරගත වන සයනයිඩ් විෂහරණය කර ඉවත් කිරීමේ ස්වභාවික හැකියාවක් අපගේ ශරීරයට ඇත. ඇපල් ඇට විශාල ප්‍රමාණයක් හපමින් හෝ කුඩු කර දිගින් දිගටම ආහාරයට ගැනීම සෞඛ්‍යයට ඉතා අන්තරායදායක විය හැකිය. 

මෙලෙස ඇපල් ඇට විශාල ප්‍රමාණයක් සපා කෑමෙන් සිරුරට අවශෝෂණය වන සයනයිඩ් ප්‍රමාණය ඉහළ යන අතර, එය ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා වැනි දරුණු අතුරු ආබාධ ඇති කිරීමට හේතු වේ. එබැවින් ඇපල් ආහාරයට ගැනීමේදී එහි ඇට ඉවත් කිරීමට වගබලා ගැනීම සුදුසුය. 

ලුසිත ජයමාන්න 
Brain Maze ඇසුරිනි
තව කියවන්න

Classified_Ad