September 23, 2026

බොලිවුඩයේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක වන යමි ගෞතම්, සිය සිනමා දිවියේ ප්‍රථම ජාතික චිත්‍රපට සම්මානයෙන් (National Film Award) පිදුම් ලැබුවාය. ඇය මෙම කීර්තිමත් සම්මානය දිනාගත්තේ ඉමහත් ආන්දෝලනයකට හා පැසසුමට ලක් වූ ආර්ටිකල් 370 (Article 370) චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි.
ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැති සම්මාන උළෙලේදී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු අතින් යමි ගෞතම්ට සම්මාන ප්‍රදානය කෙරුණි.
සම්මානය ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් යමි ප්‍රකාශ කළේ තමන්ට ලැබුණු මෙම සුවිශේෂී ගෞරවයේ බරපතලකම තවමත් තමාට සම්පූර්ණයෙන් වැටහී නොමැති තරම් බවය.
"මා තාමත් මේ මොහොතේ සතුට විඳින්න උත්සාහ කරනවා. ජීවිත කාලය පුරාම කැපවීමෙන් වැඩ කරන ඕනෑම කලාකරුවකුට මේක ලොකු ආඩම්බරයක් සහ ගෞරවයක්. අපි හැමෝම හීන දකිනවා, ඒ හීන පසුපස හඹාගෙන නගරයට එනවා. ජීවිතය අපිට ඊළඟට ගෙන එන්නේ මොකක්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ." යැයි ඇය මාධ්‍ය හමුවේ පැවැසුවාය.

මෙම සම්මානය තමාට විශාල ආඩම්බරයක් ගෙන දුන් බව පවසන අතරතුරම, තමාගේ සිනමා ගමන තවමත් ආරම්භක අවධියක පවතින බවත් ඉගෙන ගැනීමට තව බොහෝ දේ ඇති බවත් ඇය නිහතමානීව සිහිපත් කළාය.
"අප මහන්සි වෙමින් හොඳ වැඩ කරගෙන යද්දී, එක දිනක මෙවැනි දෙයක් සිදුවෙනවා. මම කොතැනකට පැමිණ ඇත්තෙම්දැයි මම හරියටම දන්නේ නැහැ. මගේ ගමනේදී මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා, ගොඩක් වැඩ කරන්න තියෙනවා. මේ සම්මානයම මට ලොකු දෙයක්, ඒ වගේම මෙවැනි ඓතිහාසික ස්ථානයකදී එය ලැබීම මට ඉමහත් ආඩම්බරයක්," යනුවෙන් යමි වැඩිදුරටත් සඳහන් කළාය.
යමි ගෞතම් නිරන්තරයෙන්ම ප්‍රශංසාවට ලක්වන දක්ෂ ජනප්‍රිය නිළියකි. හිමාචල් ප්‍රදේශ්හි උපත ලද ඇය, මින් පෙර ටෙලි නාට්‍ය සහ ප්‍රචාරක දැන්වීම් හරහා කලා ලෝකයට පිවිසි තැනැත්තියකි.
2012 දී අධ්‍යක්ෂ ජුජිත් සර්කාර්ගේ 'වික්කි ඩෝනර්' (Vicky Donor) චිත්‍රපටය හරහා ඇය බොලිවුඩයට පිවිසියාය. එම පළමු චිත්‍රපටයෙන්ම අතිශය ජනප්‍රියත්වයක් සහ විචාරක පැසසුම් දිනා ගැනීමට සමත් විය.
ඉන්පසු 'Uri: The Surgical Strike' (2019), 'Bala' (2019), 'A Thursday' (2022), 'OMG 2' (2023) සහ 2024 වසරේ තිරගත වුණු 'Article 370' ඇගේ කැපී පෙනෙන සිනමා නිර්මාණ වෙයි.
ප්‍රේමණීය සැහැල්ලු චරිතවලට පමණක් සීමා නොවී, ත්‍රාසජනක, දේශපාලන සහ බරපතල සමාජීය කතා තේමා රැගත් අභියෝගාත්මක චරිත නිරූපණය කිරීමෙහි ඇය දැක්වූ දක්ෂතාව විශේෂයෙන් කැපී පෙනේ. යමි 2021 වසරේදී ප්‍රකට බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයකු වන ආදිත්‍ය ධර් සමග විවාහ විය.


























