මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

mawitha

Stay Safe

May 29, 2026

සයිරේ රටින් ආ මරණයේ දූතයා

May 29, 2026
මේ දිනවල ඉබෝලා වසංගතවක් ගැන තොරතුරු අප්‍රිකා රටවලින් අසන්න ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන අවදානයෙන් පසුවෙයි. ඔවුන් මෙම ඉබෝලා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අනතුරු අඟවමින්, මෙය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කර ඇත. 

එසේ වුවත්, ඉබෝලා සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අද්හනම් ගෙබ්‍රෙයෙසස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. කොවිඩ් 19 වසංගතයෙන් ඇති පදමට අප (ලෝකය) බැට කෑ බැවින්, තවත් වසංගතයක් කී සැණින් කලබල වීම ස්වභාවිකය. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කලබල විය යුතු නැත. 

මෙම වසංගත තත්ත්වය අප්‍රිකාවේ, එම වසංගතය පැතිර යන රටවලට සීමා කිරීමට සියලු පියවර අනුගමනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබ්‍රෙයෙසස් සහතික වී ඇත. ඉබෝලා යනු අපි නොදන්නා වයිරසයක් නොවෙයි. කොවිඩ් 19 මෙන් හිටිහැටියේ පහළ වුණු මාරක ආගන්තුකයකු ද නොවෙයි. මේ නවතම වසංගත තත්ත්වය ආරම්භ වූයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙනි. 

ඉබෝලා වයිරසය, ස්වභාවිකව වන සතුන්ගේ සිරුරු තුළ දකින්න ලැබේ. පළතුරු වවුලන් වයිරසයේ ප්‍රධාන වාහකයන් ලෙස හදුනාගෙන ඇත. වනාන්තරවල ඉන්න ඉබෝලා වයිරසය ආසාදනය වුණු සතුන් දඩයම් කර ආහාරයට ගැනීම, නැතිනම් උන් ස්පර්ශ කිරීම ආදිය මගින් වයිරසය මනුෂ්‍ය සිරුරට ඇතුළු වෙයි. 

ආසාදිතයකුගේ ලේ, වමනය වැනි ශරීර දියර වර්ග තවත් අයකුගේ සිරුරේ ස්පර්ශ වීමෙන් රෝගය වේගයෙන් මනුෂ්‍යයන් අතරේ පැතිරෙන්න පටන් ගනී. වයිරසය ශරීරගත වී දින 2 සිට 21 දක්වා කාලයක් ඇතුළත රෝග ලක්ෂණ මතු වෙයි.

මුලින්ම උණ, හිසරදය, අධික මහන්සිය වගේ සෙම්ප්‍රතිශ්‍යාව හෝ මැලේරියාව වගේ ලක්ෂණ පෙන්නුවත්, රෝගය උත්සන්න වෙද්දී වමනය, පාචනය වගේම ශරීරයේ අභ්‍යන්තර හා බාහිර අවයවවලින් ලේ ගැලීම් සිදුවෙයි. අවසානයේ සිරුරේ ඉන්ද්‍රියයන් අක්‍රිය වෙයි. රෝගියා මියයයි. 

අප්‍රිකාවෙන් මීට පෙර ඉබෝලා වසංගත වාර්තා වී තිබේ. ඒවා මාස 5 කින් හෝ 6 කින් අවසන් විය. ඒත් මෙවර ව්‍යාප්ත වන වසංගත තත්ත්වය තරමක් වෙනස්ය. කලබල වීමට හෝ බියවීමට හෝ අවශ්‍ය නොවුණත්, එය ගැන අවබෝධයෙන් සිටීම වැදගත්ය. 

මේ වනවිට අප්‍රිකාවේ කොංගෝවෙන් ආරම්භ වී උගන්ඩා රාජ්‍යයේ ද ව්‍යාප්ත වන්නේ ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නමැති ඉබෝලා ප්‍රභේදයයි. ඉබෝලා වයිරසය වෙනස් වී, විකෘති වී, ‘බුන්ඩිබුග්යෝ’ නිර්මාණය වී ඇත. වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මෙය ඉතාමත් දුර්ලභ මෙන්ම බිහිසුණු ප්‍රභේදයකි. ‘බුන්ඩිබුග්යෝ’ ප්‍රභේදය මෙසේ හිස ඔසවා ඇත්තේ වසර 10 කට පමණ පසුවය. 

මීට පෙර ඉබෝලා වසංගතවලදී ව්‍යාප්ත වූයේ ‘සයිරේ’ (Zaire) නමැති ප්‍රභේදයයි. මෙම ‘සයිරේ’ ප්‍රභේදය අඩපන කිරීමට ලහිලහියේ එන්නතක් නිපදවා ඇති නමුත්, ‘බුන්ඩිබුග්යෝ’ සඳහා එන්නත් නැත. 

‘සයිරේ’ ප්‍රභේදය සඳහා නිර්මාණය කළ එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර අවසන්ය. ඉබෝලා පිළිබඳව ලෝකයා ප්‍රථම වරට දැනගත්තේ 1976 වසරේදීය. එම වසරේදී අප්‍රිකානු මහද්වීපයේ සයිරේ (වත්මන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) සහ වත්මන් දකුණු සුඩානය යන කලාප මුල් කරගනිමින් මෙම රෝගී තත්ත්වය එකවර හිස එසවීය. එහිදී සයිරේ රාජ්‍යයේ (අද කෙංගෝව) 'යම්බුකු' ගම්මානය අසලින් ගලා බසින 'ඉබෝලා' නදිය සිහිපත් කරමින්, විද්‍යාඥයන් විසින් වයිරසය ඉබෝලා ලෙස නම් කරන ලදී. 

වෛද්‍ය පර්යේෂණවලට අනුව වයිරසය, වවුලන් හරහා වනාන්තරයේ වෙසෙන වඳුරන්, චිම්පන්සීන් වැනි සතුන්ටද, පසුව වන සතුන් දඩයම් කිරීම සහ ඔවුන්ගේ මස් පරිභෝජනය හරහා මිනිසාට ද වයිරසය ව්‍යාප්ත විය. 1976 දී සිදුවූ මුල්ම ව්‍යාප්තියේදීම ආසාදිතයන්ගෙන් සියයට 88 කට වැඩි පිරිසක් මියගියේය. ඉබෝලා මරණයේ දූතයා බවට පත් විය. 

එකල පැවති අවම සෞඛ්‍ය පහසුකම් සහ රෝගීන්ගේ දේහයන් ස්පර්ශ කර සිදුකරන සාම්ප්‍රදායික අවමංගල්‍ය චාරිත්‍ර හේතුවෙන් මුල් කාලීන ව්‍යාප්තිය පාලනය කිරීම අසීරු විය. කෙසේ වෙතත්, වෛද්‍ය ඉතිහාසයේ දරුණුතම ඉබෝලා වසංගතය වාර්තා වූයේ 2014-2016 කාලයේ බටහිර අප්‍රිකාවෙනි. එම වසංගතයෙන් 11,300 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 

 වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවද මිනිසාට තවමත් සම්පූර්ණයෙන්ම මෙල්ල කිරීමට නොහැකි වූ ක්ෂුද්‍ර ජීවී විශේෂයක් ලෙස වයිරස සැලකෙයි. වයිරසයක් යනු සරල පියවි ඇසට තබා සාමාන්‍ය අන්වීක්ෂයකට පවා හසු නොවන, අතිශය කුඩා ජානමය ද්‍රව්‍ය කොටසකි. විද්‍යාඥයන් වයිරස හඳුන්වන්නේ ජීවී සහ අජීවී ලෝකය යා කරන පාලමක් ලෙසය. 

හේතුව, ශරීරයකින් බාහිරව පරිසරයේ පවතින විට කිසිදු පණක් නැති අජීවී දූවිලි අංශුවක් මෙන් පවතින වයිරස, ජීවී සිරුරක් තුළට ඇතුළු වූ සැණින් පණ ලබා ක්‍රියාත්මක වීමේ සුවිශේෂී හැකියාවකින් යුක්ත බැවිනි. වයිරසයක ව්‍යුහය දෙස බැලූ විට එය ඉතා සරල ය. එහි අඩංගු වන්නේ ප්‍රෝටීනමය ආවරණයකින් වට වූ ඩීඑන්ඒ DNA හෝ ආර්එන්ඒ RNA නමැති ජානමය ද්‍රව්‍ය කොටසක් පමණි. 

බැක්ටීරියා වැනි සෙසු ක්ෂුද්‍ර ජීවීන්ට මෙන් තමන්ටම කියා ස්වයංව ප්‍රජනනය වීමේ හෝ ශක්තිය නිපදවීමේ සෛලීය ව්‍යුහයක් වයිරස සතුව නැත. මේ නිසා තමන්ගේ වර්ගයා බෝ කිරීම සඳහා වයිරස අනිවාර්යයෙන්ම මනුෂ්‍යයකු, සතකු, ශාකයක් හෝ අවසානයේ බැක්ටීරියාවක් වැනි වෙනත් සත්කාරක ජීවියකුගේ සෛලයක් ආක්‍රමණය කළ යුතුය. 

කිසියම් ජීවී සෛලයකට රහසින් ඇතුළු වන වයිරසය, එම සෛලයේ පාලනය තමන් සතු කර ගනී. ඉන්පසුව එම සෛලයේ ඇති ශක්තිය සහ ද්‍රව්‍ය උපයෝගී කරගනිමින්, කර්මාන්ත ශාලාවක භාණ්ඩ නිෂ්පාදනය කරන්නාක් මෙන්, තමන් වැනිම වූ වයිරසය පිටපත් මිලියන ගණනින් බිහි කිරීමට සෛලයට බල කරයි. 

අවසානයේ සෛලය පුපුරුවා හරිමින් පිටතට පැමිණෙන නව වයිරසය සිරුරේ සෙසු සෛල කරා ගමන් කරමින් රෝගාබාධ ඇති කරයි. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට ඉබෝලා, එච්.අයි.වී සහ කොවිඩ්-19 දක්වා වූ බිහිසුණු ලෙඩ රෝග රැසක් මානව සංහතියට දායාද කරනු ලබන්නේ මෙම අන්වීක්ෂීය සතුරන් විසිනි. 

 ලෝකයේ බිහිසුණුම වයිරසය කුමක්ද යන්න තීරණය කරන්නේ සිදුවන මරණ ප්‍රතිශතය සහ පැතිරීමේ වේගය වැනි කරුණු පදනම් කරගෙනය. ඒ අනුව, ලොව භයානකම සහ බිහිසුණුම වයිරස කීපයකි. කොවිඩ් 19, ඉබෝලා පමණක් නොව, නූතන ලෝකයේ වැඩිම බලපෑමක් කළ වයිරසය ලෙස එච්අයිවී ද ඒ අතර ඇත. 

එසේ වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට, ජලභීතිකාව නැතිනම් ජල භීතිකා වයිරසය මාරාන්තික බව අතින් ගත් කල ලොව බිහිසුණුම වයිරසයයි. මරණ ප්‍රතිශතය සියයට 99 කට වැඩිය. වයිරසය, ශරීරගත වී රෝග ලක්ෂණ මතු වූ පසු, ප්‍රතිකාර කර සුව කිරීම අතිශය දුෂ්කරය. මරණය ස්ථිර තරම් වේ. එහෙත්, රෝග ලක්ෂණ මතු වීමට පෙර ලබාදෙන එන්නත් මඟින් මෙය සියයට 100 ක් වළක්වා ගත හැකිය. 

ලුසිත ජයමාන්න 
ස්තුතිය - WHO
තව කියවන්න

අනන්‍යා හැඩ කරන සූදුරු පානය

May 29, 2026
අනන්‍යා පාණ්ඩේ බොලිවුඩ් සිනමාවේ අලුත් පරපුරේ නළියකි. ඇය බොලිවුඩයේ ජනප්‍රිය ප්‍රහසන නළු චන්කි පාණ්ඩේගේ දියණියයි. සිනමා පසුබිමක් ඇති පවුලකින් පැමිණි සුරූපිනියක නිසා, අනන්‍යා රංගන ක්ෂේත්‍රය තුළ ආරම්භයේ පටන්ම කැපී පෙනෙන චරිතයක් බවට පත්වී සිටින්නීය. 

අනන්‍යා උපන්නේ 1998 ඔක්තෝබර් 30 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවරදීය. ඇය රංගන දිවිය ආරම්භ කළේ 2019 දීය. ඒ, Student of the Year 2 චිත්‍රපටයෙනි. Student of the Year 2 චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට හොඳම නවක නිළියට හිමි Filmfare සම්මානයද හිමිවිය. 
රංගන ශිල්පිණියකට අමතරව, අනන්‍යා සමාජ මාධ්‍ය තුළ ඉතාමත් සක්‍රීය, මිලියන ගණනක රසික පිරිසක් සිටින Fashion Icon එකකි. මෙවර Filmfare නවතම කලාපය හැඩවන්නේ අනන්‍යාගේ රුවෙනි. අනන්‍යා ඇගේ හැඩැති සුරූපී සිරුරේ රහස ගැන විවෘතව අදහස් දක්වන්නීය. ඇය පවසන්නේ ඇගේ තරුණ නිරෝගී සුරුරේ රහස ‘ජීර පානි’ (Jeera Pani) බවය. 


‘ජීර පානි’ යනු ඉන්දීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අතිශය ජනප්‍රිය පානයකි. ‘ජීර පානි’ යනු සූදුරු වතුරය. මෙය සෞඛ්‍ය සම්පන්න පානයක් බොලිවුඩ් සුරූපිනියන්ගේ පිළිගැනීමය."මා මගේ දවස ආරම්භ කරන්නේ සූදුරු වතුර වීදුරුවකින්" අනන්‍යා, Filmfare සඟරාවට පවසා ඇත. 
අනන්‍යාගේ මෙම උදෑසන පානය මඟින් සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියකි. සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) වේගවත් කිරීම සහ සිරුර විජලනයෙන් වළක්වා ගැනීමට අමතරව, ශරීරයේ බර අඩු කර ගැනීමටද සූදුරු වතුර මහඟු පිටුවහලක් වේ. සූදුරු නැතුවම බැරි කුළුබඩුවකි. එහි පොටෑසියම්, මැන්ගනීස්, යකඩ සහ තන්තු (Fibre) බහුලව අඩංගු වේ. 

සූදුරු වැනි පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාරයක් ශරීරයට ලැබුණු විට, සිරුර මඟින් එම පෝෂ්‍ය පදාර්ථ වඩාත් හොඳින් අවශෝෂණය කර ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර වඩාත් කාර්යක්ෂමව ජීර්ණය වන අතර, බඩ පිපුම ඇතිවීම සහ අනවශ්‍ය ලෙස සිරුරේ ආහාර රඳවා තබා ගැනීම වළක්වයි. 
උදෑසන අවදි වූ වහාම සූදුරු වතුර වීදුරුවක් පානය කිරීම ඔබේ ආහාර ජීර්ණ සෞඛ්‍යය, පරිවෘත්තීය ක්‍රියාවලිය සහ සමස්ත සෞඛ්‍යය ඉහළ නැංවීමට කදිම ක්‍රමයකි. දෙහි යුෂ සහ මී පැණි මිශ්‍ර කළ වතුර වීදුරුවකින් ශරීරයට ලැබෙන ගුණයට සමාන ගුණයක් සූදුරු වතුරෙන්ද ලැබේ. එමඟින් ආමාශයික අම්ලවල (Stomach acid) ගුණාත්මකභාවය ඉහළ නංවයි. 

ජීර පානි සාදා ගන්නේ කෙසේද? 
1. වතුර ලීටරයකට සූදුරු තේ හැඳි 1ක් හෝ 2ක් එකතු කරන්න. 
2. එය රැයක් පුරා (නැතහොත් අවම වශයෙන් පැය 4-5ක්) පෙඟෙන්නට හරින්න. 
3. උදෑසනට වතුර ටික පෙරාගෙන සූදුරු ඇට ඉවත් කරන්න. 
4. මෙම සූදුරු වතුර උදෑසන හිස්බඩ පානය කරන්න.

වැදගත් උපදෙස් සහ පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග 
• මුලින්ම කුඩා ප්‍රමාණයකින් (අඩු සාන්ද්‍රණයකින්) ආරම්භ කර පසුව ක්‍රමයෙන් ප්‍රමාණය වැඩි කරන්න. 
• අධික ලෙස පානය කිරීමෙන් වළකින්න. සූදුරු වතුර පමණට වඩා පානය කිරීමෙන් බඩේ අමාරු හෝ වෙනත් ආහාර ජීර්ණ ගැටලු ඇති විය හැක. 
• නිදන්ගත රෝගාබාධයක් හෝ සෞඛ්‍ය ගැටලුවක් පවතින්නේ නම්, සූදුරු වතුර දිනපතා පානය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

Filmfare ඇසුරිනි
තව කියවන්න

May 26, 2026

අඩු නින්දත් වැඩි නින්දත් හොඳ නෑ

May 26, 2026
ප්‍රමාණවත් නින්දක් එනම්, දිනකට පැය 6 ත් 7 ත් අතර නිදා ගැනීම වයසට යෑම මන්දගාමී කරන බවත්, තරුණ පෙනුම රැකගැනීමට උපකාරී වන බවත් විද්‍යාඥයෝ පවසති. 

විදයාඥයන් පැහැදිලි කරන ආකාරයට අඩු නින්දක් මෙන්ම වැඩි නින්දක් යනු ශරීරයේ මොළය, හෘදය, පෙනහගු සහ ප්‍රතිශක්ති පද්ධතිය ඇතුළු අවයව වේගයෙන් වයස්ගත වීමට හේතුවකි. 

පැය 6 කට අඩු නින්දක් ලබන අය අතර හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, මානසික අවපීඩනය සහ ආතතිය වැඩි වශයෙන් දකින්න ලැබේ. 

පැය 8 කට වැඩි කාලයක් නිඳාගැනීම මොළයේ සෞඛ්‍යයට අහිතර ලෙස බලපෑම් ඇතිවෙයි. එබැවින්, සමබල නින්ද තරුණ පෙනුම රැක ගැනීමට පමණක් නොව, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ද නැතිවම බැරි දෙයකි. 

මනීෂි මංජරී 
NDTV ඇසුරිනි
තව කියවන්න

උඩ ගිය පොලිස් නිලධාරිනිය

May 26, 2026
ඔබ දන්නවාද? මීටර් 350 ක් 400 ක් ඉහළ පෘථිවි කක්ෂයේ, චීනය කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ නැවතුම්පොළක් එකලස් කර රඳවා ඇති බව. මේ නැවතුම්පොළ හැඳින්වෙන්නේ ටියැන්ගොන්ග් Tiangong යන නමින්. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම නැවතුම්පොළට මාස කීපයකට සැරයක් චීන ගගනගාමීන් යෑම සහ ඒම සිදුවෙයි. ඒ, වරකට ගගනගාමීන් තිදෙනකු බැවිනි. 

 ගගනගාමීන් අභ්‍යවකාශ නැවතුම්පොළට යෑම සිදුවන්නේ චීනයේ ප්‍රබල රොකට්ටු සහ අභ්‍යවකාශ යානා ආධාරයෙනි. පසුගිය දා 23 වැනි ගගනගාමීන් කණ්ඩායම (ගගනගාමීන් තිදෙනා), දස දහස් ගණනකගේ ඔල්වරසන් හඬ මැද, චීනය සතු ලෝංග් මාච් නමැති ප්‍රබල රොකට්ටුවෙන් ටියැන්ගොන්ග් නැවතුම්පොළ බලා ගියේය. 

රොකට්ටුව ගුවන්ගත කෙරුණේ චීනයේ ගැන්ෂු පළාතේ, ජියුකාන්ට නුදුරින් පිහිටා ඇති ජියුකාන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙනි. ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කරන්නේ ෂෙන්ෂූ Shenzhou නමැති ගගන යානයයි. 

පෘථිවි කක්ෂය බලා යද්දී, මෙය ලෝංග් මාච් Long March රොකට්ටුවේ මුදුනට සවි කෙරේ. පෘථිවි කක්ෂයට යද්දී රොකට්ටුවෙන් වෙන් වන මෙම යානය, ගගනගාමීන් ද සමග ගොස්, ටියැන්ගොන්ග් නැවතුම්පොළ හා සම්බන්ධ වෙයි. ගගනගාමීන් ආපසු එන්නේ ෂෙන්ෂූ යානයෙනි. එය පෘථිවියට පතිත කෙරෙන්නේ පැරෂූට් ආධාරයෙනි. 
වසර කාලයක් ටියැන්ගොන්ග් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට අභ්‍යවකාශය බලා ගිය තිදෙනා 39 හැවිරිදි අභ්‍යවකාශ ඉංජිනේරු ෂූ යැන්ග්ෂූ, 39 හැවිරිදි හිටපු ගුවන් හමුදා නියමු ෂැන්ග් ෂියුවෑන්  සහ 43 හැවිරිදි ලී ජියායින්ග් ය. ලී ජියායින්ග් කාන්තාවකි. 

ටියැන්ගොන්ග් නැවතුම්පොළට මීට පෙර චීන ගගනගාමීන් ලෙස කාන්තාවන් ගොස් ඇත. ඒත්, ලී ජියායින්ග් සුවිශේෂී තැනැත්තියක වෙයි. ඇය හොංකොං වැසියෙකි. 

හොංකොං යනු චීන හිතවාදී පාලනයක් ඇති, වෙනම පාලන ප්‍රදේශයකි. ලී ජියායින්ග් හොංකොං පොලිස් නිලධාරිනියක ලෙස සේවය කළ අයෙකි. චීන අභ්‍යවකාශ ආයතනය හා එක්වුණු ඇය ගගනගාමියකු ලෙස පුහුණව ලබා ඇත. 
එබැවින්, අභ්‍යවකාශයට ගිය පළමු හොංකොං වැසියා ලෙස ලී ජියායින්ග් ඉතිහාස ගතවී සිටී. එපමණක් නොවෙයි. චීනය වසරක කාලයක් ඔවුන්ගේ අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන් රඳවා තබන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 

ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි
තව කියවන්න

ගීත අස්සේ ආදර කතා

May 26, 2026
දිල්කි උරේෂා, හඬට වගේම රුවටත් රසික ආදරේ ලැබෙන මේ කාලයේ ජනප්‍රියම ගායන ශිල්පිනියක්. ඇගේ ගීතවලට වයස් භේදයක් නැතිව හැමෝම කැමැතියි. දිල්කිගේ ගීත අතරින් සත්තයි මට ඔබ වාගේ, මාගෙත් ආයුෂ, මගෙන් දුර, හුස්මක් තරමට වැනි ගීත අතිශය ජනප්‍රියයි. පසුකාලීනව ඒ ගීත ඇගේ හඬින්ම ප්‍රසංග වේදිකාවෙත් අහන්න ලැබුණා. විවාහයත් සමග කලක් විදේශ ගතවෙලා හිටියත් ඇය යළිත් සංගීත වැඩ කටයුතු එක්ක දකින්න පුළුවන්. 

දිල්කි ඔබේ සංගීත වැඩ කටයුතු කොහොමද?
සුපුරුදු විදිහටම වැඩ කරගෙන යනවා. අලුත් ගීත කිහිපයක් වෙනුවෙන් මහන්සි වෙනවා. සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා. 
පුංචි කාලේ ඉඳන් ආසාව තිබුණේ ගායිකාවක් වෙන්නද?
පුංචි කාලේ ඉඳන් කියන්නේ පාසල් යන කාලේ ඉඳන් වගේ ගායිකාවක් වෙන්න ආසාව තිබුණා. ඒ වුණාට ගායිකාවක් වෙලා මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා නම් කීයටවත්ම හිතුවේ නැහැ. 
ගායිකාවක් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ගායන ක්ෂේත්‍රයට එන්න ලැබුණේ ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයෙන්. ඊට පස්සේ මගේ ගීත හරහා සංගීත ක්ෂේත්‍රයේ ගමන හදාගත්තා. හැරවුම් ලක්ෂ්‍යයක් තමා ‘සත්තයි මට ඔබ වාගේ’ ගීතය. ඒක හුඟක් ජනප්‍රිය වුණා. බොහෝ දෙනා මාව දැනගත්තේ ඒ ගීතයෙන් පස්සේ. ඒ ගීතයේ පද රචනය නිසල් ප්‍රනාන්දුගේ. සංගීතවත් කළේ අශාන් ප්‍රනාන්දු. මගේ ගීතවලින් වැඩිපුර ප්‍රතිචාර ලැබුණේ ඒ ගීතයට. 

වැඩිපුරම ගායනා කරන්නේ ආදර ගීත නේද? 
ඔව්. ආදර ගීත තමයි. 
රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? 
ප්‍රතිචාර හොඳයි. නරක ප්‍රතිචාර නම් ලැබිලම නැති තරම්. ගොඩාක් සතුටුයි. 

අමතක නොවන විදිහේ ප්‍රතිචාර එහෙමත් ඇති නේද? 
මගේ සමහර ගීත ඇතුළේ එයාලගේ ආදර කතාව කියලා ගොඩාක් අය කියනවා. ඒක මගේ හිතට තදින්ම දැනෙන විදිහේ ප්‍රතිචාරයක් කිව්වොත් හරි. 
ප්‍රසංග වේදිකාවෙනුත් ලොකු ඉල්ලුමක් තියෙනවා නේද? 
ඔව්. ඒ අතින් නම් හරිම වාසනාවන්තයි. 

දහස් ගාණක් ඉදිරියේ ගීත ගායනය මොන වගේද? 
එකම වෙලාවක රසික රසිකාවියන් දහස් ගණනක් ඉදිරියේ ගයන්නට ලැබීම සහ එයාලව ගීතයෙන් සතුටු කිරීම ලොකු සතුටක්. 

ගායිකාවක් නොවුණා නම් අද මොන වගේ වෘත්තියකද? 
ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න ඉඩ තිබුණා. නැත්නම් ගුරු වෘත්තිය වගේ එකක් තෝරගනියි. 
දිල්කි එන්න එන්නම හැඩවෙනවා. රහසක් මොකක්ද? 
මං මාව ලස්සනට බලාගන්නවා ඇරෙන්න වෙන රහසක් නැහැ.    

අපේ රටේ ඇතැම් තරුණයන්ගේ ක්‍රෂ් එක ඔබ කියලා හිතනවාද? 
සතුටුයි. රසික ආදරයක් ලැබෙනවා කියන්නේ කලාකාරිනියක් විදිහට සතුටට කාරණයක්. 

විවාහවෙන්න කලින් ගොඩාක් ආදර යෝජනා එන්න ඇති නේද? 
ඒක හැම ගෑනු ළමයකුටම වගේ පොදු දෙයක්නේ. 
ඔබ විවාහකයි. පවුල් ජීවිතේ එහෙම කොහොමද? 
අපි දෙන්නා ආදරේ කරපු කාලේ වගේ ආදරෙන් සතුටින් ඉන්නවා. 

විලාසිතා කරන්නේ සීමාවකටද?
මම සාමාන්‍යයෙන් මගේ පෙනුමට ගැළපෙනම විලාසිතා විතරයි කරන්නේ. හිතුණු හිතුණු හැම විලාසිතාවම කරන්නේ නෑ. තැනකට ගියත් මං එතැනට උචිත ඇඳුමක් අඳින්නේ. නොගැළපෙන විලාසිතා කරන්නේ නෑ. 
නිළියක් වෙන්න සුදුසුකම් එහෙමත් තියෙනවා?
ඇත්තටම රඟපාන්න ආරාධනා ඇවිදින් තියෙනවා. ඒකට කැමැත්තක් නෑ. 

ගායන ශීල්පිනියක විදිහට ඉදිරි බලාපොරොත්තු මොනවද? 
එකම බලා පොරොත්තුව වෙන්නේ මට පුළුවන් කාලයක් සංගීත ක්ෂේත්‍රයේ රැඳිලා, ගායනය තුළින් සංගීත ක්ෂේත්‍රයට මගේ උපරිමය දෙන එක තමයි. ඒ වගේම හැමදාමත් මිනිස්සුන්ගේ හදවතේ ගායිකාවක් විදිහට රැඳිලා ඉන්නත් කැමැතියි.

ඡායාරූප - මුහුණු පොතෙන්
තව කියවන්න

සහරා කතරේ බිම්මල් මිනිසා

May 26, 2026
සහරා කාන්තාරය අද වැලිවලින් පිරුණු වියලි කර්කශ තැනක් වුවත්, වසර දහස් ගණනකට පෙර අතීතයේ එය සශ්‍රීක වනාන්තරවලින් සහ ගංගාවලින් පිරුණු, වන සතුන්ගෙන් ගහණ හරිත පාරාදීසයක් යැයි විද්‍යාඥයෝ පවසති. 

මෙම හරිත සහරාවේ ජීවත් වුණු ප්‍රාග් ඓතිහාසික මිනිසුන් තමන්ගේ අපූරු අත්දැකීම් ලෙන් බිත්ති මත සිතුවම් කර ඇත. එවැනි සිතුවම් අතරින්, විද්‍යාඥයන් මවිතයට පත් කළ එක් ලෙන් සිතුවමක් වන්නේ තසීලිහි මී මැසි මිනිසා (The Bee-Man of Tassili) එසේත් නැත්නම් බිම්මල් යකැදුරා (The Mushroom Shaman) යන සිතුවමය. 

මිනිස් ශිෂ්ටාචාරවලට, පුරාණ පිටසක්වළ ජීවීන්ගේ බලපෑමක් එල්ල වුණා යැයි විශ්වාස කරන විද්‍යාඥයන්ට අනුව, මේ බිම්මල් මිනිසා ද පිටසක්වළයෙකි. බිම්මල් මිනිසාගේ ලෙන් සිතුවම හමුවී ඇත්තේ, ඇල්ජීරියාවට අයත් සහරා කාන්තාරයේ ගිනිකොනදිග කොටසේ තසීලි එන් අජර් (Tassili n’Ajjer) නමැති ගල් පර්වත සහිත ප්‍රදේශයේ ඇති ලෙනකිනි. කාල නිර්ණය අනුව, මේ සිතුවම, වසර 9,000කට වඩා පැරණිය. 

මිනිස් සිරුරක හැඩයක් ලෙන් සිතුවමේ දකින්න ලැබෙන නමුත්, නිරූපණය වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයකු නම් නොවෙයි. සිතුවමේ දකින්න ලැබෙන රූපය බිම්මල්වලින් හැඩ ගැන්වූ එකකි. දෑත්වලින් ද බිම්මල් දරා සිටින බව දකින්න ලැබෙයි. පුදුමයට කරුණක් නම්, මේ මිනිසාගේ මුහුණ මීමැස්සෙකුගේ මුහුණකට සමාන වීමය. 

විද්‍යාඥයන් අනුමාන කරන්නේ, මේ ‘මිනිසා’ එදා සමාජයේ සිටි ගුප්ත බලයක් සහිත ආධ්‍යාත්මික නායකයෙකු නැතිනම් යකැදුරෙකු කියාය. සිතුවමේ ඇති බිම්මල් ද සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා බිම් මල් නොවෙයි. ඒවා, මිනිස් මොළයට සහ මනසට අමුතුම බලපෑමක් ඇති කළ හැකි, මායාවන් පෙනෙන විශේෂිත ශාක/දිලීර (Psychoactive plants/fungi) විශේෂයක් විය හැකි බව ද පැවැසෙයි. 

 ප්‍රකට මානව විද්‍යාඥයකු වන ටෙරන්ස් මැකේනා පවසන්නේ, මිනිස් මොළයේ පරිණාමය වේගවත් වීම සහ භාෂාව බිහිවීමට හේතුව පුරාණ මිනිසා මෙවැනි ස්වභාවික දිලීර (බිම්මල් නැතිනම් හතු) වර්ග ආහාරයට ගැනීම බවය. ඔහුට අනුව මේ සිතුවම මානව ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. සිතුවමේ සිටින රූපයට මීමැස්සකුගේ මුහුණක් ලැබුණේ ඇයි යන්න විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවකි. 

පුරාණයේ, මිනිසුන් බිම්මල් වර්ග නරක් නොවී දිගුකාලීනව තබා ගැනීමට මී පැණි භාවිත කළ බවට උපකල්පනයක් පවතී. ඒ අනුව, මී මැස්සා යනු සොබාදහමේ සශ්‍රීකත්වයේ සංකේතය විය හැකිය. සහරා ලෙන් සිතුවම් යුග කීපයකට බෙදෙයි. මේ බිම්මල් මිනිසා සිතුවම අයත් වන්නේ, වටකුරු හිස් සහිත මිනිසුන්ගේ යුගයට (Round Head Period) ය. 

මේ යුගයට අයත් සෙසු ලෙන් සිතුවම්වල රූප මිනිසුන්ට වඩා හාත්පසින්ම වෙනස්, අද්භූත හැඩතල ගනී. එම සිතුවම්වලින් නිරූපණය වන්නේ පුරාණ පිටසක්වළයින් (Ancient Aliens) යැයි බොහෝ විද්‍යාඥයන්ගේ පවා අදහස වී ඇත්තේ ඒ නිසාය. 

ලුසිත ජයමාන්න 
Ancient Aliens ඇසුරිනි
තව කියවන්න

May 17, 2026

ඇටන්බරෝ සහ ටෙනිස් බෝලය

May 17, 2026
ඔබ ලොව කොතැන සිටියත් ඔබ පරිසරයට ආදරය කෙනකු නම්, විශේෂයෙන් සතුන් සහ සොබාදහම ගැන අපූරු බීබීසී වාර්තා වැඩසටහන් ප්‍රිය කරන්නකු නම්, ඔබට ඔහුගේ හඬ ආගන්තුක නොවෙයි. ඒ හඬෙහි ඇත්තේ හුදු විස්තර විචාරයක් නොව, සොබාදහමට ඇති අප්‍රමාණ ආදරයයි. ඔහු ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝය. 

ලෝකයට ආදරය කරන්න, පරිසරයට ආදරේ කරන්න, සතා සිවුපාවාට ආදරය කරන්න කියා දුන් ඩේවිඩ් ඇටන්බරෝ මැයි 8 වැනිදා සිය දිවියේ 100 වැනි සැතපුම් කණුව පසු කළේය. 

පෘථිවි හුස්ම ගන්නා රිද්මය අපේ විසිත්ත කාමරයට රැගෙන ආ මේ අසහාය මිනිසා, මුළු මහත් ලෝකයේම පරිසර හෘද සාක්ෂිය බවට පත්ව සිටින බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. ඩේවිඩ් ඇටන්බරෝ උපත ලැබුවේ 1926 මැයි මස 8 වැනිදාය. 

ඩේවිඩ්ගේ පියා ෆෙඩ්රික් ඇටන්බරෝ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. ඩේවිඩ් හැදී වැඩුණේ අධ්‍යාපනික වටපිටාවක් සහිත පවුලකය. 

ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ රිචඩ් ඇටන්බරෝ ලෝක පූජිත නළුවකු සහ අධ්‍යක්ෂවරයෙකු වූ අතර (ගාන්ධි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය, ජුරාසික් පාර්ක් චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.), බාල සහෝදරයා වූ ජෝන් ඇටන්බරෝ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ විධායක නිලධාරියකු ලෙස කටයුතු කළේය. 

දෙවන ලෝක යුද්ධ සමයේදී ඔහුගේ දෙමාපියන් යුදෙව් සරණාගත දැරියන් දෙදෙනකු හදා වඩා ගැනීමට භාර ගැනීම නිසා ඔවුහු ද ඩේවිඩ්ගේ සහෝදරියන් ලෙස පවුලට එක් වූහ.

ඩේවිඩ් ඇටන්බරෝ 1950 වසරේදී ජේන් එලිසබෙත් එබ්ස්වර්ත් රියල් සමඟ විවාහ විය. ඔවුන් දෙදෙනා වසර 47ක් පුරා ඉතා සාර්ථක යුග දිවියක් ගත කළ අතර, 1997 වසරේදී ජේන්ගේ හදිසි අභාවය ඩේවිඩ්ගේ ජීවිතය උඩු යටිකුරු කළේය. 

ඔහුට රොබට් සහ සූසන් නමින් දරුවෝ දෙදෙනෙකි. රොබට් ඇටන්බරෝ ජෛව මානව විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර, සූසන් ඇටන්බරෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදුහල්පතිනියක ලෙස සේවය කරයි. ඩේවිඩ් ඇටන්බරෝ බීබීසී ආයත.නය සමග එක් වෙද්දී, එය ළදරු අවදියක පැවැතිණි. 

දශක හතකට වැඩි කාලයක් ඩේවිඩ් පෘථිවියේ සෑම අඟලක්ම ගවේෂණය කළේය. ලයිෆ් ඔන් අර්ත්, ලිවින් ප්ලැනට්, ප්ලැනට් අර්ත්, බ්ලූ ප්ලැනට්, ග්‍රීන් ප්ලැනට් ආදී වාර්තා වැඩසටහන් අපට නැරඹීමට හැකිවූයේ එබැවිනි. 

හිම කඳු මුදුන්වල වෙසෙන හිම දිවියන්ගේ සිට මහා සාගරයේ අගාධවල වෙසෙන අද්භූත සාගර ජීවීන් දක්වා විස්මිත දසුන් අපටඑ දකින්න සැලැස්වූ ඔහු, ස්වභාවික ලෝකය පිළිබඳ මිනිසා තුළ පැවති කුතුහලය දැනුම බවට පරිවර්තනය කළේය. ඔහුගේ නිවැරදි උච්චාරණයත්, අවේණික කථන විලාසයත් අපව සොබාදහමේ අසිරිය මැද තනි කිරීමට සමත් විය. ඇටන්බරෝ හුදෙක් පරිසරවේදියකු පමණක් නොව, ඔහු අප සැමට අපේ පෘථිවිය දෙස නව ඇසකින් බලන්නට ඉගැන්වූ ගුරුවරයෙකි. 

මේ සියවස් පූර්ණය සැමරීම යනු සොබාදහම කෙරෙහි අප තුළ ඇති වගකීම යළි පණ ගැන්වීමකි. ටෙනිස් බෝලය, දීප්තිමත් ළා කොළ පැහැයක් ගන්නේ ඩේවිඩ් ඇටන්බරෝ නිසා බව ඔබ දැන සිටියාද? මෙය බොහෝ දෙනකු නොදන්නා කතාවකි. ඉතිං ඩේවිඩ් ඇටන්බරෝ 100 වැනි ජන්ම දිනය සමරද්දී, ඩේවිඩ් සහ ටෙනිස් බෝලය ගැන කතා නොකර කොහොමද? ඒ, 1960 දශකයයි. 

ඒ කාලයේ ඩේවිඩ්, බීබීසී ටූ නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදන සහ පරිපාලන නිලධාරියකු ලෙස රාජකාරි කරන්න විය. ඒ වනවිට කළුසුදු වෙනුවට වර්ණ රූපවාහිනි කරළියට පැමිණ තිබුණු අතර, වර්ණ රූපවානී හරහා වැඩසටහන් විකාශය සිදුවිය යුත්තේ කෙසේදැයි තීරණ ගැනීම පැවරී තිබුණේ ඩේවිඩ්ටය. 

1967 විම්බල්ඩන් ටෙනිස් පිටියට ඩේවිඩ් වර්ණ ටෙලි කැමරා යැවීය. ඒ, පළමුවරට වර්ණ රූපවාහිනී ඔස්සේ ටෙනිස් ක්‍රීඩා විකාශය කිරීමටය. මෙතෙක් කල් ටෙනිස් ක්‍රීඩා විකාශය වූයේ කලු සුදු ලෙසය. 

ඒ වනවිට ටෙන්සි තරග සඳහා සාම්ප්‍රදායිකව, භාවිතයට ගැණුනේ සුදු පැහැති ටෙනිස් බෝලය. ටෙනිස් පිටියේ මායිම් ලකුණු කෙරුණේ සුදු වර්ණයෙන් බැවින්, ටෙනිස් බෝලය සුදු පාට වීම, රූපවාහිනී තිරයෙන් එය කරඹන කෙනකුට නිසි ලෙස ග්‍රහණය කර ගැනීම ගැටලුවක් විය. බෝලය නියමිත මායිමේ පතිත වූවා ද මායිමෙන් පිටත පතිත වූවා ද යන්න නිවැරදිව දැන ගැනීම ගැටලුවක් විය. ඩේවිඩ් ඇටන්බරෝ අපූරු යෝජනාවක් කළේය. 
ටෙනිස් බෝලය පහසුවෙන් දැක ගැනීමට එහි සුදු වර්ණය වෙනස් කරමු යැයි ඔහුගේ යෝජනාව විය. ජාත්‍යන්තර ටෙනිස් ෆෙඩරේෂන් ඒ ගැන අවදානය යොමු කළේය. ත්‍යන්තර ටෙනිස් සම්මේලනය, ටෙනිස් බෝලයේ වර්ණය කෙසේ වෙනස් විය යුතුදැයි තීරණය කිරීමට එකඟ වියත කුමන වර්ණයකින් ටෙනිස් බෝලය වර්ණ ගැන්වීම කළ යුතුදැයි අත්හදා බැලීම් කරන්න පටන් ගත්තේය. 

දීප්තිමත් කොළ මුසු කහ වර්ණය ටෙනිස් බෝල සඳහා සුදුසු යැයි අවසානයේ දී තීරණය කෙරුණි. ඒ අනුව, වර්ණ ගන්වන ලද ටෙනිස් බෝල, පළමුවෙන්ම භාවිතයට ගැණුනේ ඇමෙරිකාවේ යූ.එස්. ඕපන් ටෙනිස් තරගාවලියකටය. ඒ, 1973 වසරේදීය. 

බ්‍රිතාන්‍යයේ විම්බල්ඩන් ටෙනිස් තරග සුදු ටෙනිස් බෝල වෙනුවට දීප්තිමත් කොළ කහ ටෙනිස් බෝල භාවිතය ආරම්භ කළේ 1986 දීය. අද ටෙනිස් ක්‍රීඩා කරද්දී භාවිතයට ගන්නා ටෙනිස් බෝලයට ආවේණික සුවිශේෂී වර්ණය බවට දීප්තිමත් කොළ කහ වර්ණය පත්වී අවසන්ය. 

මීළඟ වතාවේ ඔබ ටෙනිස් බෝලයක් අතට ගනිද්දී හෝ ටෙනිස් බෝලයක් දකිද්දී, ශ්‍රීමත් වේඩිඩ් ඇටන්බරෝ සිහිවනු නිසැකය. අමතක කරන්න එපා. ටෙනිස් බෝලයේ වර්ණය වෙනස් කිරීමට දායක වූයේ ඔහුය. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි
තව කියවන්න

Gen-Z කුමරියෝ

May 17, 2026
යුරෝපීය රාජකීය උරුමය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුවෙමින් පවතී. මෙතෙක් කලක් පිරිමින්ට පමණක් සීමා වී තිබූ රජ කිරුළ, දැන් ජෙන් සී (Gen-Z) පරපුරේ තරුණ කුමරියන් අතට පත්වීමට නියමිතය. පසුගිය දශක කිහිපය තුළ හඳුන්වා දුන්, ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොර, අනුප්‍රාප්තික නීති හේතුවෙන්, උපතින් වැඩිමලා වීම පදනම් කරගනිමින් මෙම කුමරියෝ ඔවුන්ගේ රටවල කිරුළේ හිමිකාරියන් බවට පත්ව සිටිති

බෙල්ජියමේ එලිසබෙත්, නෙදර්ලන්තයේ කැතරිනා-අමාලියා, ස්පාඤ්ඤයේ ලියොනෝර් සහ නෝර්වේ රාජ්‍යයේ ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්රා මෙම නව රැල්ලේ පෙරගමන්කාරියෝය. මෙම ජෙන් සී කුමරියෝ, සාම්ප්‍රදායික රාජකීය සීමාවන් බිඳ දමමින්, නූතන ලෝකයට ගැළපෙන කාන්තා නායකත්වයක් කරා පියනගමින් සිටිති. 

ඔවුහු සමාජ මාධ්‍ය පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත, දේශගුණික විපර්යාස සහ සමාජ සමානාත්මතාවය වැනි මානුෂීය ගැටලු කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන පරපුරක කොටස්කරුවෝය. මෙම විප්ලවීය වෙනසට මූලික වී ඇත්තේ, සම්පූර්ණ ප්‍රාථමික උරුම නම් ක්‍රමයයි. මෙහිදී ලිංගභේදය නොසලකා පවුලේ වැඩිමහල් දරුවාට කිරුළ හිමිවේ. 

1980 දී ලොව ප්‍රථම වරට ස්වීඩනය මෙම ක්‍රමය අනුමත කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වික්ටෝරියා කුමරිය සිය බාල සොහොයුරා අභිබවා ඔටුන්න හිමි කුමරිය බවට පත්වූවාය. බෙල්ජියම, නෙදර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යයන් ද පසුව මෙම මාවතට අවතීර්ණ විය. ස්පාඤ්ඤය තවමත් පිරිමි දරුවන්ට මුල්තැන දෙන නීති අනුගමනය කළද, වර්තමානයේ එරට කිරුළට හිමිකම් කියන්නේ ද දියණියකි. 

 ස්වීඩනයේ වික්ටෝරියා ඔටුන්න හිමි කුමරියගේ සහ ඩැනියෙල් කුමරුගේ වැඩිමහල් දියණිය වන එස්ටෙල් කුමරිය, ස්වීඩන රාජාණ්ඩුවේ අනාගත බලාපොරොත්තුවය. 2012 පෙබරවාරි 23 වන දින උපත ලැබූ ඇය, සිය මවට පසුව ස්වීඩන සිහසුන හිමි කර ගැනීමට සිටින දෙවැනි උරුමකාරියයි. 1979 වසරේදී ස්වීඩනය සිය උරුම නීති වෙනස් කිරීමෙන් පසු, පිරිමි දරුවකුට වඩා වැඩිමහල් දියණියකට රජකම හිමිවීමේ අයිතිය යටතේ උපතින්ම මෙම ස්ථානය හිමි කරගත් පළමු කුමරිය ඇයයි. 

ඔස්ටර්ගොට්ලන්ඩ් හි ආර්යාව යන නාමය දරන එස්ටෙල් කුමරිය, ඉතා සුහදශීලී සහ ක්‍රියාශීලී දැරියක ලෙස ස්වීඩන ජනතාව අතර අතිශය ජනප්‍රියය. ඇය සාමාන්‍ය පාසලකට ඇතුළත්ව අධ්‍යාපනය ලබන අතර, කුඩා කල සිටම විවිධ රාජකීය උත්සව සහ පොදු උත්සව සඳහා සිය දෙමාපියන් සමඟ සහභාගී වෙමින් ජනතාව සමඟ සමීප වීමට පුහුණු වෙයි. 

ස්වභාවික පරිසරයට සහ ක්‍රීඩාවට ලැදි ඇය, අනාගතයේදී ස්වීඩනය ලෝකය හමුවේ නියෝජනය කරන නිහතමානී පාලිකාවක වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ස්පාඤ්ඤයේ හයවන ෆෙලිප් රජුගේ සහ ලෙටිසියා රැජිනගේ වැඩිමහල් දියණිය වන ලියොනෝර් කුමරිය, වර්තමාන යුරෝපීය රාජකීය පරපුරේ වඩාත්ම අවධානයට ලක්වන චරිතයකි. 2005 ඔක්තෝබර් 31 වන දින උපත ලැබූ ඇය, ඇස්ටූරියාස් හි කුමරිය ලෙස නිල වශයෙන් නම් කර ඇත. 

ඇය ස්පාඤ්ඤ සිහසුනට උරුමකම් කියන පළමු තැනැත්තිය වන අතර, වසර 150කට වැඩි කාලයකට පසු ස්පාඤ්ඤයේ රජකමට පත්වන පළමු මහරැජින වීමටද නියමිතය. ලියොනෝර් කුමරිය මේ වන විට දැඩි හමුදා පුහුණුවක් ලබමින් සිටින්නේ අනාගතයේදී ස්පාඤ්ඤ සන්නද්ධ හමුදාවල උත්තරීතර අණදෙන නිලධාරිනිය ලෙස කටයුතු කිරීමට සූදානම් වෙමිනි. 

ඒ යටතේ ඇය යුද, නාවික සහ ගුවන් යන අංශ තුනේම විශේෂ පුහුණුව ලබමින් සිටින්නීය. ඉතා සන්සුන් සහ බුද්ධිමත් තරුණියක ලෙස ප්‍රකට ඇය, ස්පාඤ්ඤ භාෂාවට අමතරව කැටලන්, ගැලීසියානු, බාස්ක් සහ ඉංග්‍රීසි යන භාෂා රැසක් හැසිරවීමට සමත්ය. බෙල්ජියමේ පිලිප් රජුගේ සහ මැතිල්ඩා රැජිනගේ වැඩිමහල් දියණිය වන එලිසබෙත් කුමරිය, බෙල්ජියම් ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය නායිකාව හෝ මහරැජින වීමට නියමිත රාජකීය උරුමක්කාරියයි. 

2001 වසරේ ඔක්තෝබර් 25 වන දින උපත ලැබූ ඇය, මේ වන විට බ්‍රබන්ට් ආර්යාව යන ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටින අතර, නූතන බෙල්ජියම් රාජාණ්ඩුවේ බුද්ධිමත් මෙන්ම සක්‍රීය නියෝජිතවරියක ලෙස කැපී පෙනෙයි. එලිසබෙත් කුමරියගේ අධ්‍යාපන සුදුසුකම් ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්ව ඇත. ඇය වේල්සයේ ඇට්ලන්ටික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලින්කන් විද්‍යාලයෙන් ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තාය.

මේ වන විට ඇය ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් කෙනඩි පාසලේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින්නීය. ලන්දේසි, ප්‍රංශ, ජර්මන් සහ ඉංග්‍රීසි යන භාෂා හතරම ඉතා චතුර ලෙස හැසිරවීමට ඇති හැකියාව නිසා ඇය බෙල්ජියමේ විවිධ ජන කොටස් අතර ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. කුමරිය, හමුදා පුහුණුවටද සක්‍රීයව දායක වෙයි. 

 නෝර්වේ රාජ්‍යයේ හකොන් ඔටුන්න හිමි කුමරුගේ සහ මෙට්-මාරිට් කුමරියගේ වැඩිමහල් දියණිය වන ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්රා කුමරිය, එරට රාජකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සූදානම් වන සුවිශේෂී තරුණියකි. 2004 වසරේ ජනවාරි 21 වන දින උපත ලැබූ ඇය, නෝර්වේ රාජකීය පරම්පරාවේ සිහසුනට උරුමකම් කියන දෙවැනි තැනැත්තියයි. 

වසර සිය ගණනකට පසු නෝර්වේ රාජ්‍යයේ පාලනය භාර ගැනීමට නියමිත පළමු මහරැජින වන්නේද ඇය වීම විශේෂත්වයකි. ඉන්ග්‍රිඩ් කුමරිය සිය අධ්‍යාපන කටයුතු මෙන්ම හමුදා පුහුණුව කෙරෙහිද දැඩි උනන්දුවක් දක්වන තරුණියකි. විශේෂයෙන්ම මෑතකදී ඇය නෝර්වේ රාජකීය හමුදාවේ ඉංජිනේරු බලකාය සමඟ එක්ව වසරක දැඩි හමුදා පුහුණුවක් ආරම්භ කළාය. 

සරල ජීවිතයකට ප්‍රිය කරන ඇය, බොහෝ විට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අතර පරිසර සංරක්ෂණය වෙනුවෙන්ද හඬ නගන ක්‍රියාකාරිනියකි. ක්‍රීඩාශීලී තරුණියක වන ඇය රළ මත ලිස්සා යාම හෙවත් සර්ෆින් ක්‍රීඩාවට ඉහළ දක්ෂතාවක් දක්වන අතර, 2020 දී නෝර්වේ තරුණ සර්ෆින් ශූරතාවලිය පවා ජයග්‍රහණය කළාය. 

නෙදර්ලන්තයේ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජුගේ සහ මැක්සිමා රැජිනගේ වැඩිමහල් දියණිය වන කැතරිනා-අමාලියා කුමරිය, නෙදර්ලන්ත රාජවංශයේ අනාගත උරුමක්කාරිය ලෙස වර්තමානයේ ලෝක අවධානයට ලක්ව සිටින්නීය. 

2003 වසරේ දෙසැම්බර් 7 වන දින උපත ලැබූ ඇය, මේ වන විට ඔරේන්ජ් හි කුමරිය යන ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටින අතර, නෙදර්ලන්තයේ රජකමට පත්වන ඊළඟ රාජකීය උරුමකරු වන්නේ ද ඇයයි. කුඩා කල සිටම ඉතා සරල මෙන්ම බුද්ධිමත් තරුණියක ලෙස හැදී වැඩුණු අමාලියා කුමරිය, සිය අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන්නීය. 

ඇය මේ වන විට ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ දේශපාලනය, මනෝවිද්‍යාව, නීතිය සහ ආර්ථික විද්‍යාව යන විෂයන් හදාරමින් සිටින්නීය. සාමාන්‍ය ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන ඇය, රාජකීය සැප සම්පත්වලට වඩා වගකීම් සහගත සේවයට මුල්තැන දෙන තරුණියක ලෙස නෙදර්ලන්ත ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී සිටී. 

ලුසිත ජයමාන්න 
NDTV ඇසුරිනි
තව කියවන්න

ඇමෙරිකාවේ බුදු දහම

May 17, 2026
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කැපී පෙනෙන බෞද්ධ පිබිදීමක් සහ වර්ධනයක් දැකගත හැකිය. මෙය සාම්ප්‍රදායික ආගමික රාමුවෙන් ඔබ්බට ගිය, නවීන බටහිර සංස්කෘතියට ගැළපෙන අයුරින් සිදුවන සුවිශේෂී පරිවර්තනයකි. ඊට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වියට්නාම් ජාතික පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේය. ඇමෙරිකාවේ සමස්ත බෞද්ධ ජනගහනය මෙම 2026 වසර වෙද්දී, මිලියන 4.4 ඉක්මවා ගොස් ඇත. ආසියාතික රටවලින් (වියට්නාමය, චීනය, තායිලන්තය, අප ශ්‍රී ලංකාව වැනි) පැමිණෙන සංක්‍රමණිකයන් නිසා සාම්ප්‍රදායික බුදුදහම ශක්තිමත්ව පවතින අතර, ඇමෙරිකානු සමාජයේ බුදුදහම වැළඳගන්නා පිරිස ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඇමෙරිකානුවන් බොහෝ පිරිසක් බුදුදහමට සහ එහි ඉගැන්වීම්වලට අතිශය සමීප වී සිටින්නේ, ඔවුන් බුදුදහම ආගමකට වඩා, මානසික නිදහස ලබාදෙන ජීවන දර්ශනයක් හෝ ජීවන රටාවක් ලෙස දකින බැවිනි. 

සාම පා ගමන 
2025 වසර අවසානයේ, පඤ්ඤාකාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 19 දෙනකු උන්වහන්සේලා වැඩවාසය කරන ටෙක්සාස් ජනපදයේ හුවොන්ග් ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට වොෂින්ටන් ඩී.සී. දක්වා සැතපුම් 2,300 ක් දුර පා ගමනක නියැලුණු කතාව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ඇමෙරිකානුවන්ට බුදු දහමේ හරය පෙන්වා දිය හැකි ආකාරයට මෙය සාමයේ පා ගමන ලෙස නම් කෙරුණි. ආලෝකා ද ඊට එක් විය. පා ගමන සාම පා ගමන ලෙස නම් කෙරුණේ බෞද්ධ දර්ශනය ගැන කිසිදු පඅවබෝධයක් නොමැති ඇමෙරිකානුවන්ට පවා, සරලව අවබෝධයක් ලබා දීමය. සාම පා ගමනේ හරය “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” යන බුදුරජාණන් වහන්සේගේ දේශනාව පදනම් කරගනිමින් කරුණාවේ සහ මෛත්‍රීයේ පණිවිඩය ප්‍රචලිත කිරීමය. 
ඒහිපස්සිකෝ පා ගමන
අප රටේ පැවැත්වූයේ ඒහිපස්සිකෝ සාම පා ගමනයි. පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සෙසු භික්ෂූන් වහන්සේලා වැඩම කරවීමටත්, ගුවන් මගින් ආලෝකා මෛහට ගෙන්වා ගැනීමටත් මැදිහත් වී කටයුතු කළේ පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේය. බොහෝ දෙනාට ගැටලුවක් වූ කරුණ නම්, අපේ රටේ යුද්ධ නැහැ සාම පා ගමනක් පවත්වන්නේ ඇයි යනුවෙනි. සිතා බලන්න. සාමය යනු වෙන්වන් අර්ථ ගැන්වෙන්නේ ඔබ සහ මම ඇතුළු අප සියලු දෙනා තුළ සාමය වඩවා ගැනීමය. ගැටීමක් නොමැතිව ජීවත් වීමය. ගැටුම් නැතිනම්, එය ලෝක සාමය නොවේද? ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 7 ක් පුරා පැවැති ඒහිපස්සිකෝ සාම පා පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 
ආපසු වැඩම කරති
ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේට ලැබුණු අතර, උන් වහන්සේ ඇතුළු සෙසු භික්ෂූන් වහන්සේලා එය ටෙක්සාස් ජනපදයේ හුවොන්ග් ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කිරීම සිදු කළහ. සාම පා පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය පැවැති අවස්ථාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කළ පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අනාගතයේ කෙදිනක හෝ ඇමරිකාවේ බුදු දහම පිළිබඳ කතා කරන තැනක ලංකාවෙන් වැඩම කළ බෝධින් වහන්සේ සහ ධාතුන් වහන්සේ පිළිබඳ මෙම ඓතිහාසික අවස්ථාව සිහිපත් කරනු ඇති බවය. එය ශ්‍රී ලාංකික ජාතිය ලෙස ඇමරිකාවේ බුදු දහම පිළිබඳ ආඩම්බර විය හැකි ඓතිහාසික අවස්ථාවක් බවද උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන්හ. 

ජගත් සංවිධානයේ උත්සවය 
වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කරන ලද 2026 ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වෙනුවෙන්, පඤ්ඤාකාර හිමියන් ප්‍රමුඛ එම භික්ෂූන් වහන්සේලා පසුගිය දා ටෙක්සාස් සිට නිව්යෝක් නුවරට වැඩම කළහ. ඒ, වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති විශේෂ වැඩසටහනට සම්බන්ධ වීමටය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 54/115 සම්මුතිය මගින් වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන වසර 27ක් සපිරීම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. බුදුදහම හරහා ලොවට දායාද වූ සාමය කරුණාව සහ සහජීවනය වැනි විශ්වීය වටිනාකම් ජාත්‍යන්තර ප්‍රජාව වෙත නැවත වරක් සිහිපත් කරලීම ඇමෙරිකාවේ වැඩවසන වියට්නාම භික්ෂූන් වහන්සේ නමක වන පඤ්ඤාකාර හිමියන් ප්‍රධාන අරමුණ වෙයි. 

පඤ්ඤාකාර හිමියෝ
පඤ්ඤාකාර හිමි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී විශේෂ දේශනයක් ද පැවැත්වීය. ඒ, අහිංසාව, අන්‍යෝන්‍ය අවබෝධය සහ බුදුදහමේ ඉගැන්වීම් අතිශය කාලීන මඟපෙන්වීමක් බව සිහිපත් කරමිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා සහ තායිලන්ත නිත්‍ය නියෝජිත කාර්යාල එක්ව සංවිධානය කළ මෙම සැමරුම ලෝක සාමය සහ තිරසාර සංවර්ධනය උදෙසා බෞද්ධ දර්ශනයෙන් ලැබෙන පිටුවහල විදහා දැක්වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙයි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම සිවිල් සංවිධාන මට්ටමින් ද බොහෝ දෙනෙක් සහභාගී වී සිටියහ. 
තව කියවන්න

ලොව වටා වෙසක්

May 17, 2026
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික උත්සවය වෙසක් පුණ්‍ය මහෝත්සවයයි. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල වෙසක් උත්සවය ඉතා ඉහළින් සමරන අතර, වර්තමානය වන විට සංක්‍රමණික බෞද්ධ ජනතාව සහ බුදුදහමට ඇලුම් කරන විදේශිකයන් නිසා ලෝකයේ විවිධ කලාපවල, විශේෂයෙන්ම බටහිර රටවල පවා වෙසක් සැමරුම් ඉතා අලංකාරවත්ව සිදුවේ. දේශසීමා සහ සංස්කෘතික භේදයකින් තොරව, ලෝකයේ විවිධ රටවල් තමන්ටම ආවේණික වූ සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් මෙම උදාර තෙමඟුල සමරනු ලබයි. 

බුදුන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ නේපාලයේ ලුම්බිණිය සහ බුද්ධත්වයට පත්වුණු ඉන්දියාවේ බුද්ධගයාව කේන්ද්‍ර කරගනිමින් ආසියාවේ ප්‍රධාන වෙසක් සැමරුම් පැවැත්වේ. 

එහිදී සුදු වස්ත්‍රයෙන් සැරසුණු බැතිමතුන් විහාරස්ථාන කරා පැමිණ සිල් සමාදන් වීම, බුද්ධ පූජා පැවැත්වීම සහ දුප්පතුන්ට ආහාර පැළඳුම් පරිත්‍යාග කිරීම වැනි දානමය කටයුතුවල නිරත වෙති. 

තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය වැනි රටවල වෙසක් දිනය 'විසාඛ බුචා' ලෙස හඳුන්වන අතර, එහිදී බැතිමතුන් රාත්‍රී කාලයේදී අතින් ගත් පහන් හෝ ඉටිපන්දම් ඇතිව විහාරස්ථාන වටා තුන් වරක් ප්‍රදක්ෂිණා කිරීමේ සුවිශේෂී ආගමික චාරිත්‍රයක නිරත වෙති. 

ලෝකයේ විශාලත්ම බෞද්ධ මන්දිරය වන ඉන්දුනීසියාවේ බොරෝබුදූර් විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වෙසක් සැමරුම ද ඉතා උත්කර්ෂවත් ය. එහිදී භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් විශාල පිරිසක් එක්ව රාත්‍රී අහසට වර්ණවත් පහන් කූඩු දහස් ගණනක් මුදාහැරීම ලෝක ප්‍රසිද්ධ දර්ශනයක් බවට පත්ව ඇත. 

මේ අතර දකුණු කොරියාවේ වෙසක් උත්සවය සති කිහිපයක් තිස්සේ 'නෙළුම් පහන් උත්සවය' ලෙස සමරන අතර, සෝල් නුවර වීදි පුරා විවිධ හැඩැති වර්ණවත් පහන් කූඩු ප්‍රදර්ශනය කෙරේ. 

ජපානයේ බුදුන් වහන්සේගේ උපත අප්‍රේල් මාසයේදී සමරන අතර, එහිදී කුඩා බුදු පිළිම මතට මිහිරි තේ පැන් වත්කර දෝවනය කිරීමේ චාරිත්‍රයක් පවත්වනු ලබයි. ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ යුරෝපීය රටවල වෙසක් උත්සවය සමරනු ලබන්නේ වර්තමානයේ එහි වෙසෙන ශ්‍රී ලාංකික, ටිබෙට් සහ වියට්නාම වැනි සංක්‍රමණික බෞද්ධ ප්‍රජාව මුල් කරගනිමිනි.

බටහිර රටවල වෙසක් පොහොය යෙදෙන සතියේ දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බැවින්, බොහෝවිට වෙසක් උත්සවයට අදාළ ප්‍රධාන පිංකම් සහ සැමරුම් පවත්වනු ලබන්නේ ඒ ආසන්නයෙන්ම යෙදෙන සෙනසුරාදා හෝ ඉරිදා දිනයන්හිදීය. 

එහි පිහිටි බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිල් සමාදන් වීම්, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් බහුලව සංවිධානය කෙරේ. බටහිර රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් එකතු වී තමන්ගේ නිවෙස් සහ විහාරස්ථාන භූමිය වෙසක් කූඩු සහ විදුලි බුබුළු දල්වා ආලෝකමත් කරන අතර, විහාරස්ථාන පරිශ්‍රයන්හි හෝ කුලියට ගත් පොදු ශාලාවල බත්, කොත්තු, අයිස්ක්‍රීම්, කෝපි වැනි විවිධ දන්සල් පැවැත්වීමට ද කටයුතු කරති. 

එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ ප්‍රධාන නගරවල පොදු උද්‍යාන හෝ නගර ශාලා තුළ බහු-සංස්කෘතික වෙසක් උත්සව පවත්වන අතර, එහිදී විවිධ රටවල බෞද්ධ චාරිත්‍ර, නර්තන සහ සංස්කෘතික සංදර්ශන ඉදිරිපත් කෙරේ. 

බටහිර වෙසක් සැමරුම් හරහා බුදුදහමේ එන සාමය, මෛත්‍රිය සහ අවිහිංසාව යන පණිවිඩය බටහිර සමාජයට ප්‍රබලව සන්නිවේදනය වන අතර, වර්තමානයේ බොහෝ බටහිර ජාතිකයන් ද මේ සඳහා ඉතා උනන්දුවෙන් සහභාගි වෙති.

ජාත්‍යන්තර වෙසක් දිනය දේශසීමා, ජාති හෝ සංස්කෘතික භේදයකින් තොරව වෙසක් උත්සවය අද වන විට ලෝක ව්‍යාප්ත උත්සවයක් බවට පත්ව ඇත. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පවා වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබීම නිසා, ලෝකයේ කොතැනක වුවද බෞද්ධ ජනතාවට තම ආගමික නිදහස භුක්ති විඳිමින්, ලෝක සාමය උදෙසා වෙසක් උත්සවයේ අසිරිය සහ ආමිස-ප්‍රතිපත්ති පූජාවන් ලොව පුරා ප්‍රචලිත කිරීමට මාවත විවර වී තිබේ. 

වෙසක් පොහොය නිමිත්තෙන්, ඉන්දියාවේ ලඩාක් ප්‍රාන්තය කේනද්‍රකොට ගනිමින් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ආරම්භ විය. ඒ, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ ප්‍රධානත්වයෙනි. ජාත්‍යන්තර බුද්ධ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය යනුවෙන් මෙය නම් කෙරුණි. 
බුදුන් වහන්සේගේ දේශනා කළ කරුණාව, සාමය සහ අහිංසාව වර්තමාන ලෝකයට වෙන කවරදාටත් වඩා අදාළ වන බව එම ධාතු ප්‍රදර්ශනයේ දී ඉස්මතු විය. නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා, ඉන්දීය රජයේ විශේෂ ගුවන් මගින් ලඩාක් ප්‍රාන්තයේ ලේ නුවර වෙත වැඩම කරනු ලැබුණි. 
ලඩාක් යනු බෞද්ධයන් වැඩිපුර වාසය කරන ඉන්දීය ප්‍රාන්තයකි. බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය ආරම්භ කරමින් පැවැති විශේෂ උත්සවයේ දී රැස්ව සිටි පිරිස ඇමතූ අමිත් ෂා ප්‍රකාශ කළේ මෙම වෙසක් පුන් පොහෝ දිනය ලඩාක් වැසියන්ට සුවිශේෂී දිනයක් වන බවය. 

ධාතු ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලඩාක් සහ අවට ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාවක් මෙන්ම සංචාරකයන් ද පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. “වසර 75 කට පසුව, යළිත් වරක්, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ලඩාක් ප්‍රාන්තයට වැඩම කර තිබෙනවා. 
වසර 75 කට පෙර මෙම ධාතූන් වහන්සේලා මෙහි වැඩම කළ අවස්ථාවේදී දුෂ්කර මාර්ග සහ ප්‍රවාහන පහසුකම් අවම වීම හේතුවෙන් වන්දනාමාන කිරීමට අවස්ථාව ලැබුණේ ඉතා සුළු පිරිසකට පමණයි. ඒත් අද වන විට දියුණු මාර්ග පද්ධතියක් තිබෙනවා. ගමන් බිමහන් පහසුයි. ඒ නිසා ලඩාක් සහ කාර්ගිල් ප්‍රාන්තවල බෞද්ධ බැතිමතුන්ට බුදුන්ගේ අධ්‍යාත්මික පණිවිඩය සමීප කර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.” යැයි අමිත් ෂා පැවැසීය. 

හිමාල අඩවියේ බෞද්ධ උරුම ආරක්ෂා කිරීමටත්, ආධ්‍යාත්මික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජය කැපවී සිටින බව ද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස අමතමින් අවධාරණය කළේය. 

ලෝවැසි බෞද්ධ ජනතාවට අතිශය වැදගත්, වෙසක් පුන් බොහෝ දිනය අයත්, මැයි මාසය ‘බෞද්ධ උරුම මාසය’ ලෙස නම් කිරීමට කැනඩාව තීරණය පසුගිය ද තීරණය කිරීම සිදුවීශේෂී සිදුවීමකි.ශ්‍රී ලාංකික සම්භවයක් ඇති – කැනේඩියානු බෞද්ධ නායකයකු වන විසිත සිරින් ලීලාරත්නය කැනේඩියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහජන පෙත්සමක් සලකා බලා මෙම පියවර ගත් බව පැවැසෙයි. 

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ද මේ බව තහවුරු කළේය. ශ්‍රී ලංකාවේ ඉපදි කැනඩාවේ පදිංචි බෞද්ධ නායකයකු වන විසිත සිරින් ලීලාරත්නය ඔටාවා නුවරට වෙසක් හදුන්වාදීමේ පුරෝගාමියාය. e-6893 ලෙස ලියාපදිංචි කළ පෙත්සමට අදාළව, රට පුරා කැනේඩියානුවන් 3,102 දෙනකුගේ අත්සන් ලැබීමත් සමග කනාටා ආසනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනා සඩ්ස්, එම අදාළ යෝජනාව නිල වශයෙන් ඉදිරිපත් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනා සඩ්ස් ප්‍රයත්නයේ වැදගත්කම ඉස්මතු කරමින්, කැනේඩියානුවන් 300,000 කට අධික ප්‍රමාණයක් තමන් බෞද්ධයන් ලෙස හඳුන්වා ගෙන ඇති බවත්, ඔවුන් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, අන්‍ය ආගමික සංවාදය සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල අර්ථවත් කාර්යභාරයක් ඉටු කරන බවත් පෙන්වා දී ඇත. 

ලොව පුරා පිළිගත් වෙසක් සමය සමඟ එකට ගලා යන මැයි මාසය, බෞද්ධ උරුමය ගෞරවයෙන් සනිටුහන් කිරීමට වඩාත් සුදුසු මාසය බව ඇය අවධාරණය කර තිබෙන අතර නගරාධිපති මාක් සට්ක්ලිෆ් යටතේ ඔටාවා නගරය, 2026 මැයි ‘බෞද්ධ උරුම මාසය’ ලෙස නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 

එය ඒ ලෙස කළ ප්‍රථම බටහිර අග නගරය වන අතර කැනඩා අග්‍රාමාත්‍ය මාක් කාර්නේ ද, මෙම අවස්ථාව සනිටුහන් කරමින්, කැනේඩියානුවන් බෞද්ධ සම්ප්‍රදායන් හා වටිනාකම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට දිරිමත් කරමින්, නිල ප්‍රකාශයක් නිකුත් කළේය.

නීතියක් ලෙස සම්මත වූ විට, ජාතික මට්ටමින් බෞද්ධ උරුමය සැමරීමට සම්පූර්ණ මාසයක් නිල වශයෙන් කැපකරන ලොව ප්‍රථම රාජ්‍යය ලෙස කැනඩාව ඉතිහාසගත වන අතර, ලෝක බෞද්ධ ප්‍රජාව සඳහා ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරයි.
තව කියවන්න

යළි පණ ලබන බ්ලූ බක්

May 17, 2026
වඳවී ගිය සතුන්ට යළි පණ දීමට උත්සාහ ගන්නා ඇමෙරිකන් ජාන පර්යේෂණ ආයතනයක් වන කොලෝසල් බයෝ සයන්ස්, වඳ වී ගිය බ්ලූ බක් නමැති අප්‍රිකානු නිල් ඇන්ටිලොප් ගෝනාට ද පණ දීමට සුදානම් වෙයි. මේ ඇන්ටිලොපයා මිහිමතින් තුරන් වූයේ මීට අවුරුදු 200 කට පෙරය. 

බ්ලූ බක්, බ්ලූ ඇන්ටිලොප් යන නමින් ද හැඳින්වෙයි. ඒ, මොවුන්ගේ සමේ පැහැය තද අලු සහ කළු මිශ්‍ර නිල් පැහැයක් ගැනීම නිසාය. මෙම ඇන්ටිලොපයෝ අතීතයේ, දකුණු අප්‍රිකාවේ සවානා තණ බිම් ආශ්‍රිතව ජීවත් වූහ. ඇස් අසල ඇති සුදු පැහැය, දිග වක ගැසුණු අං මෙම සත්වයාට ආවේණික සුවිශේෂ ලක්ෂණ බව පැවැසෙයි. 

පර්යේෂකයන්, බ්ලූ බක් ට පණ දෙන්න උත්සාහ ගන්නේ, කෞතුකාගාරයක ඇති බ්ලූ බක් ඇන්ටිලොපයකුගේ අස්ථිවලින් ලබා ගත් ඩී.එන්.ඒ. සාම්පල, ජාන සංස්කරණය කිරීමෙනි. බ්ලූ බක් ඇන්ටිලොපයන්ගේ සමීපතමයන් ලෙස සැලකෙන්නේ රෝන් ඇන්ටිලොප් නමැති ඇන්ටිලොප්ය. 

මොවුන් අප්‍රිකාවේ දකින්න ලැබේ. ඒ අනුව, ජාන සංස්කරණයෙන් සකස් කරන ලද කලලයක්, රෝන් ඇන්ටිලොප් ගෝනකුගේ ගර්භාෂයේ තැන්පත් කර, කලලය වර්ධනය කර බ්ලූ බක් ඇන්ටිලොප් පැටවකු බිහි කර ගැනීම ඉදිරියේ දී සිදුවනු ඇත.

Brain Maze ඇසුරිනි
තව කියවන්න

AI මනෝ විද්‍යා උපදෙස් අනතුරක්

May 17, 2026
කෘතිම බුද්ධිය එසේත් නැතිනම් AI දෛනික වැඩ කටයුතු පහසු කරන මෙවලමක් බවට පත් වී අවසන්ය. කෘත්‍රිම බුද්ධි මෙවලම් අප කාගේ කාගේත් ජීවිතවලට කොතරම් සමීප ද කියනවා නම්, පෞද්ගලික ප්‍රශ්න, රහස් සහ තොරතුරු පවා අප භාවිතයට ගන්නා AI සමග බෙදා ගනී. 

අප අපගේ රෝගී තත්ත්වයන් ගැන විමසයි. ඖෂධ ගැන විමසයි. එපමණක් නොවෙයි; මනෝ විද්‍යාත්මක එසේත් නැතිනම් මානසික සෞඛ්‍ය උපදෙස් පවා ලබා ගැනීමට පෙළඹී සිටී. 

 කෘතිම බුද්ධිය (AI) හරහා මානසික සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමේ නව ප්‍රවණතාවය පිළිබඳව බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විශේෂ අධ්‍යයනයක් සිදුකර ඇත. 

එහිදී අනාවරණය වී ඇත්තේ ChatGPT වැනි පද්ධති පුහුණු උපදේශකයන් ලෙස පෙනී සිටීමට උත්සාහ කළ ද, වෘත්තීය මනෝ විද්‍යාත්මක සේවාවක තිබිය යුතු සදාචාරාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට ඒවා අපොහොසත් වන බවය. බලපත්‍රලාභී මනෝවිද්‍යාඥයන් සමඟ සැසඳීමේදී, AI පද්ධතිවලට තැනට සුදුසු නිවැරදි උපදෙස ලබා දීම කළ නොහැකිය. ගැටලුව නිසි ලෙස කළමනාකරණය කිරීමට AI දන්නේ නැත. 

එය ගැටලුව තවත් උත්සන්න කිරීමට හේතුවක් වෙයි. එය මානසික සෞඛ්‍ය උපදෙස් බලාපොරොත්තු වන තැනැත්තාගේ ජීවිතයට අනතුරක් වීමට පවා ඉඩ ඇත. AI පද්ධතිවල නිර්මාණය කර ඇත්තේ ව්‍යාජ සංවේදීතාවක් (Deceptive Empathy) මවා පෑමටය. 

AI පද්ධති ඉතා සහයෝගී සහ කරුණාවන්ත වචන භාවිතා කරමින් පුද්ගලයාගේ හැඟීම් තමන්ට වැටහෙන බව ඇඟවීම සිදුකරයි. යන්ත්‍රයකට මිනිස් හැඟීම් පිළිබඳ සැබෑ අවබෝධයක් නොමැති අතර, මෙම ව්‍යාජ ආකර්ෂණය නිසා මානසික සෞඛ්‍ය අපේක්ෂා කරන තැනැත්තා නොමග යැවීමක් සිදුවෙයි. 

එබැවින්, මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ AI භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති සහ මාර්ගෝපදේශ සකස් කිරීම අත්‍යවශ්‍ය බව බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති. 

Live Science ඇසුරිනි
තව කියවන්න

DNA රොබෝ තාක්ෂණය

May 17, 2026
වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනස් කළ හැකි අතිශය විස්මයජනක සොයාගැනීමක් ලෙස DNA රොබෝවරුන් හැඳින්විය හැකිය. මේවා සාමාන්‍ය රොබෝවරුන් මෙන් ලෝහ හෝ විදුලි පරිපථවලින් නොව, ජීවයේ මූලික පදනම වන DNA අණුවලින්ම නිර්මාණය කර ඇති වැඩසටහන්ගත කළ හැකි අන්වීක්ෂීය යන්ත්‍ර වෙයි. 

DNA ඔරිගාමි (DNA folding) නමැති සුවිශේෂී තාක්ෂණය ඔස්සේ මෙම අණු විවිධ හැඩතලවලට නැමීම සිදු කරමින්, නිර්මාණය කරන අතර, රොබෝ විද්‍යාවේ මූලධර්ම භාවිත කරමින් ඒවාට සිරුර තුළ ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව ලබා දෙයි. 

මෙම රොබෝවරුන්ගේ ප්‍රධානතම මෙහෙය වන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තරයට ගොස් රෝගී සෛල හෝ වෛරස් හඳුනාගෙන ඒවාට එරෙහිව ක්‍රියා කිරීමයි. විශේෂයෙන්ම පිළිකා වැනි රෝගවලදී, නිරෝගී සෛලවලට හානි නොවන පරිදි අදාළ පිළිකා සෛලය වෙතම නිවැරදිව ඖෂධ ප්‍රවාහනය කිරීමටත්, රුධිරයේ ඇති වෛරස් ග්‍රහණය කර ගැනීමටත් මෙම රොබෝවරුන් සමත් වේ. 

සිරුරේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා, ආලෝකය හෝ චුම්බක ක්ෂේත්‍ර වැනි බාහිර සංඥා මගින් මෙම රොබෝවරුන්ගේ චලනයන් ඉතා නිවැරදිව පාලනය කළ හැකි වීම විශේෂත්වයකි. මෙම තාක්ෂණය තවමත් පවතින්නේ මුල්කාලීන පර්යේෂණ මට්ටමේය. 

චීනයේ හර්බින් තාක්ෂණ ආයතනයේ (Harbin Institute of Technology) පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි, මෙම රොබෝවරුන්ගේ පාලනය සහ සංකීර්ණත්වය සම්බන්ධයෙන් තවමත් අභියෝග රැසක් පවතී. මෙම රොබෝවරුන් ප්‍රායෝගිකව වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දීමට නම් ඒවායේ සැලසුම්කරණය, පරිගණක අනුකරණය (Simulation) සහ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් දියුණු විය යුතුව ඇත. 

Live Science ඇසුරිනි
තව කියවන්න

වසර 40,000 ක් පැරණි විලෝපිකයා

May 17, 2026
රුසියාවේ සයිබීරියානු හිම තට්ටු (Permafrost) යට වසර 40,000කට ආසන්න කාලයක් මිදී සැඟවී නිහඬව සිටි පියවි ඇසට නොපෙනන, අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි විලෝපික ජීවියෙකු යළි පණ ගැන්වීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. 

අඩි 30 ක් පමණ ගැඹුරු හිම යට සැඟවී සිටි මෙම ජීවියා ලෙට් ප්ලයිස්ටොසීන් (Late Pleistocene) යුගයට, එනම් ලොම් සහිත මැමත් ඇතුළු සතුන් පෘථිවියේ සැරිසැරූ කාලයට අයත් වන්නකි. ආක්ටික් රුසියාවේ යමාලෝ-නෙනෙට්ස් ප්‍රදේශයෙන් හමු වූ මෙම ක්ෂුද්‍ර ජීවියා, විද්‍යාඥයන්, Acanthocystis yamallongha ලෙස නම් කර ඇති අතර, එහි තේරුම පෘථිවියේ කෙළවර සැගවුණු ආත්මය යන්නය. 

මිලිමීටරයකින් දහසකින් පංගුවකටත් වඩා සිහින් වූ කටු සහ කොරපොතු වලින් වැසුණු මෙම ජීවියා සෙන්ට්‍රොහෙලිඩ් (Centrohelid) නම් ඒක සෛලික ජීවී කාණ්ඩයට අයත් බව පැවැසෙයි. මෙම ජීවියා මෙතරම් දීර්ඝ කාලයක් සුරැකිව සිටියේ ක්‍රිප්ටෝබියෝසිස් (Cryptobiosis) නමැති විශේෂ තත්ත්වයක් හරහා යැයි ටියුමන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පැහැදිලි කරති. 

මෙහිදී ජීවියාගේ පරිවෘත්තීය ක්‍රියා සම්පූර්ණයෙන්ම පාහේ නතර වී, ශරීරය වටා ආරක්ෂිත සිලිකා කටුවක් නිර්මාණය වන බැවින් දහස් ගණන් වසර නිරුපද්‍රිතව සිටීමට මින් අවස්ථාව ලැබී ඇත. විද්‍යාඥයන් පවසන පරිදි මෙම සොයාගැනීම අතිශය වැදගත් වන්නේ, මෙවැනි ක්ෂුද්‍ර ජීවීන්ට අප සිතුවාට වඩා බොහෝ කාලයක් ජීවී තත්ත්වයේ රැඳී සිටිය හැකි බව මින් තහවුරු වන බැවිනි. 

සයිබීරියාවේ හිම මිදුණු පොළොව ස්වභාවික ශීතකරණයක් ලෙස ක්‍රියා කරමින් මෙවැනි පුරාණ ජීවීන් රැසක් සුරක්ෂිතව තබාගෙන සිටින බව දැන් පැහැදිලි වී තිබේ. විශේෂම කරුණ වන්නේ, මෙම ජීවී පොසිලය මිනිසාට කිසිදු හානියක් නොකරන, රෝගකාරක නොවන සරල ජීවියෙකු වීමය. 

Live Science ඇසුරිනි
තව කියවන්න

විශ්වයේ ගඳම ග්‍රහයා

May 17, 2026
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 34ක් ඈතින් පිහිටි L 98-59 d නමැති ග්‍රහලෝකය මෙතෙක් හමුවුණු අප්‍රසන්නම, නැතිනම් ගඳම ග්‍රහලෝකය ලෙස විද්‍යාඥයන් හඳුන්වයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් ලබා ගත් දත්තවලට අනුව, මෙම ග්‍රහලෝකය පුරා පැතිරී ඇති හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුවය. 

ඒ අනුව, විද්‍යාඥයන් පවසන්නේ, කුණු බිත්තර ගඳ මෙම ග්‍රහලෝකයෙන් විහිදෙනු ඇති බවය. දැඩි දුර්ගන්ධයට අමතරව, මෙම ග්‍රහලෝකය සැබෑ අපායක් බඳු අතිශය උණුසුම් ලෝකයකි. රතු වාමන තාරකාවකට ඉතා සමීපව පිහිටීම නිසා මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,500 ඉක්මවන අතර මුළු ග්‍රහලෝකයම දියවී ගිය ලාවා හෙවත් මැග්මා සාගරයකින් වැසී පවතී. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ පෘථිවිය මෙන් නොව, මෙයට ස්ථිර පෘෂ්ඨයක් හෝ ස්ථර නොමැති වීමය. එය මුළුමනින්ම තනි ගැඹුරු, මෘදු මැග්මා තට්ටුවකින් සමන්විත යැයි අනුමාන කෙරේ. L 98-59 d ග්‍රහලෝකය සොයාගැනීම විද්‍යාඥයන්ට වැදගත් වන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පරිබාහිරව හමු වූ සම්පූර්ණයෙන්ම වෙනස් වර්ගයක ග්‍රහලෝකයක් නිසාවෙනි. 

එහි අසාමාන්‍ය අඩු ඝනත්වය සහ අභ්‍යන්තරයේ තැන්පත් වී ඇති විශාල සල්ෆර් ප්‍රමාණය, විශ්වයේ පවතින ග්‍රහලෝකවල විවිධත්වය පිළිබඳ අලුත් තොරතුරු රැසක් අනාවරණය කරයි. ඔබ එහි ගියහොත් තත්පර කිහිපයකින් මිය යන බැවින්, එහි ඇති අප්‍රසන්න ගන්ධය විඳීමට නම් කිසිවකුට අවස්ථාවක් නොලැබෙනු ඇත. 

ලුසිත ජයමාන්න 
ස්තුතිය - NASA ආයතනයට
තව කියවන්න

අන්දීස් හන්ටා වයිරසය

May 17, 2026
‘එම්.වී. හොන්ඩියුස්’ නමැති සුඛෝපබෝගී සංචාරක නෞකාවේ හන්ටා වයිරස ව්‍යාප්තිය විදෙස් මාධ්‍ය වල ප්‍රමුඛ පුවතක් විය. මිටර් 107 ක් දිග ‘එම්.වී. හොන්ඩියුස්’ යනු නෙදර්ලන්ත සංචාරක නෞකාවකි. මගීන් 170 දෙනකුට මෙහි ඉඩ පහසුකම් ඇත. නැවේ කැබින් කාමර 80 කි. නැවට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 57 කි. මඟ පෙන්වන සහායකයන් ගණන 13 කි. ඊට අමතරව, එක් වෛද්‍යවරයෙක් ද නැවේ සේවය කරයි.

ඉකුත් අප්‍රේල් 1 වැනිදා මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 147 දෙනකු සමග ආජන්ටිනාවේ සිට අප්‍රිකාව බලා ‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාව යාත්‍රා කරමින් තිබියදී, නෙදර්ලන්ත ජාතික වැඩිහිටි යුවළක් හදිසියේ දරුණු ලෙස රෝගී වූහ. තවත් මරණයක් නැවේ සිදුවිය. ඊට අමතරව, බරපතල ලෙස රෝගී වූ බ්‍රිතාන්‍ය ජාතිකයකු ගුවන් මගින් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකට රැගෙන යෑම සිදුවිය. 

 තවත් බොහෝ පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කළහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අවධානය ‘එම්.වී. හොන්ඩියුස්’ කෙරෙහි යොමු විය. ‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාව මුහුද මැද හුදෙකලා කෙරුණි. නෞකාවේ සිටි වැඩි දෙනා යුරෝපීය ජාතිකයන්ය. ඉන්දියානුවන් දෙදෙනකු ද සිටි බව පැවැසෙයි. 

එය කැනේරි දූපත් බලා ගිය පසු, නෙදර්ලන්ත බලධාරීන් මැදිහත් වී කුඩා ගුවන් යානා භාවිතයට ගනිමින් ආසාදිත සියලු දෙනා නෙදර්ලන්තය ඇතුළු සෙසු යුරෝපා රටවලටත් කැනඩාවටත් යැවීම සිදුවිය. ‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාවේ පැතිරෙන්න වූයේ හන්ටා වයිරස ප්‍රභේදයකි. 

හන්ටා යනු වයිරස පවුලකි. දකුණු කොරියාවේ හන්ටා නමැති ගංගාව ආශ්‍රිතව 1978 දී පළමු ආසාදිතයන් සොයා ගැනුණු නිසා ඊට හන්ටා යන නම යෙදී ඇත. වයිරස මුලින්ම හොයාගත්තේ ඒ ගඟ ආශ්‍රිතව හිටපු මීයන්ගෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හන්ටා වයිරස වර්ග 20 ක් පමණ මේ වනවිට හොයාගෙන ඇත. 

මේවා ප්‍රධාන කොටස් දෙකකි. ඒ, පැරැණි ලෝකයේ හන්ටා වයිරස සහ අලුත් ලෝකයේ හැන්ටා වයිරස ආදී වශයෙනි. පැරැණි ලෝකයේ හන්ටා වයිරස අතරට අයත් වෙන්නේ, ආසියාව සහ යුරෝපය වගේ රටවල්වලින් වාර්තා වන හන්ටා වයිරස් ප්‍රභේදයන්ය. නව ලෝකයේ හන්ටා වයිරස යනු ඇමෙරිකානු මහද්වීපයෙන් වාර්තා වන හන්ටා වයිරස ප්‍රභේදයන්ය. හන්ටා වයිරසවල ප්‍රධානම වාහකයා මීයන්ය. 

ඒත්, මේ වයිරසය බෝ වන්නේ, මීයකු සපා කෑමෙන් පමණක්ම නොවෙයි. වයිරසය ඇති මීයන්ගේ මළ මුත්‍ර හරහා මනුෂ්‍ය අපට මෙය බෝ වෙයි. පැරැණි නිවාසවල, ගබඩා කාමරවල දූවිලි සමග වියලුණු මී බෙටි සහ මුත්‍ර කුඩු දුවිල් ආදී වශයෙන් අප ශ්වසන පද්ධතියට ඇතුළු විය හැක. එවිට ද අප රෝගී වෙයි. 

එයින් අදහස් වන්නේ හන්ටා වයිරසය වාතයෙන් ද ව්‍යාප්ත වෙනවා යන්නය. මීයන්ගෙන් බෝ වන නිසා හන්ටා වයිරසය ගැන බිය විය යුතු නැත. එහෙත් ‘එම්.වී. හොන්ඩියුස්’ සිද්ධිය තරමක් බරපතල එකකි. නෞකාවේ ව්‍යාප්ත වූ බවට හඳුනා ගැණුනේ අන්දීස් හන්ටා වයිරස ප්‍රභේදයයි. 

මෙහි ඇති විශේෂත්වය මෙය මීයන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ වුණු පසු, මනුෂ්‍යයන් අතරේ හෙම්බිරිස්සාවක් ආකාරයට පැතිරීමය. හන්ටා වයිරසයට ප්‍රතිකර්මයක් නොමැත. තද උණ, හිසරදය ආදිය රෝග ලක්ෂණ වෙයි. රෝගය උත්සන්න වෙද්දී ශ්වසන පද්ධතිය, වකුගඩු ආදිය අඩපණ කරයි. මරණ සිදුවන්නේ එවිටය. පිරිසුදුව සිටිනවා නම්, හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් හන්ටා වයිරසයෙන් පමණක් නොව, ඕනෑම වයිරසයකින් ආරක්ෂා විය හැක. 

ලුසිත ජයමාන්න 
ස්තුතිය - WHO
තව කියවන්න

ප්‍රංශ ජනපතිගේ හුටපටය

May 17, 2026
ඔබට මතකද ඒ සිද්ධිය? ඔබ විදෙස් පුවත් ගැන විමසිල්ලෙන් පසුවන කෙනකු නම්, ඔබට එය අමතක වීමට හේතුවක් නැත. ඒ, 2025 මැයි 26 වැනිදාය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, වියට්නාමයේ නිල සංචාරයක් සඳහා පැමිණියේ බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් සමගය. ප්‍රංශ ජනාධිති සහ බිරිඳ රැගත් නිල ගුවන් යානය, හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑවේ රාත්‍රියේය. 

ගුවන් යානය රතු පලස ආසන්නයේ නතර වෙද්දී, රැස්ව සිටි මාධ්‍යවේදින් සියලු දෙනාගේම කැමරා එල්ල වී තිබුණේ ගුවන් යානයේ කුඩා දොර වෙතටය. සජීවීව පුවත් නාළිකා ඔස්සේ ලොව පුරා විකාශය විය. රතු පාලසකින් අලංකාර වූ රෝද සහිත පඩිපෙළ ගුවන් යානයේ දොරට ළං කෙරුණි. වියට්නාම් රජයේ බලධාරීන්, වියට්නාමයේ ප්‍රංශ තානාපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් ද පහළ සූදානමින් සිටියේ මැක්රොන් සහ බ්‍රිජෙත් උණුසුම් ලෙස පිළිගැනීමටය. 
යානයේ සිටි ගුවන් සේවකයෙක් ඇතුළතින් දොර විවර කළේය. පිටතින් වියට්නාම ගුවන් සේවිකාවක ඔහුට සහාය දුන්නාය. තවත් ගුවන්තොටුපොළ සේවකයෙක් ද එහි විය. වීඩියෝ කැමරාවල සියල්ල පටිගත වුණු බැවින්, දොර විවර කළ සැණින් ප්‍රංශ ජනාධිපති මැක්රොන් සිටිනු දකින්න ලැබුණි. 

කිසිවකු ඔහුට අතුල් පහරක් දෙනු පෙණුනි. අතුල් පහරත් සමග එක් අතක් මැක්රොන්ගේ මුහුණින් අල්ලා, තල්ලු කරනවා ද දකින්න ලැබුණි. ගුවන් යානය තුළ සිදුවුණු මෙම සිදුවීම් පිටතට පෙනෙනු ඇතැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් එම අවස්ථාවේදී සිතන්නට නැත. අතුල් පහර එල්ල කළේත්, මුහුණ අල්ලා තල්ලු කළේත් වෙන කවුරුවත් නොව, මැක්රොන්ගේ බිරිඳ බ්‍රිජෙත්ය. 

එයින් විනාඩි කීපයක් යද්දී, යුවල ගුවන් යානයෙන් පිටවී, සෙමින් පඩි බැස පහළට පැමිණියහ. මැක්රොන්, බිරිඳගේ අත අල්ලා ගෙන යෑමට උත්සාහ කළ ද ඇය ඊට ඉඩ නොදුන්නේ අත ගසා දමමිණි. ප්‍රංශ ජනාධිපතිවරයා විවාහ වී සිටින්නේ ඇගේ පාසල් ගුරුවරිය සමගය. බ්‍රිජෙත් උපත ලැබුවේ 1953 අප්‍රේල් 13 වැනිදා ප්‍රංශයේ අමියන්ස් නගරයේය. ඇය ධනවත් පවුලක තැනැත්තියකි. 

ඇගේ පවුල පරම්පරා ගණනාවක සිට ප්‍රසිද්ධ, ත්‍රොග්නෝව් චොකලට් ව්‍යාපාරය පවත්වාගෙන යයි. මැක්රොන් සමග විවාහ වීමෙන් පසු එම ව්‍යාපාරයේ නම වෙනස් විය. ඒ, ත්‍රොග්නෝව් සහ මැකරොන් චොකලට් යනුවෙනි. මැක්රොන් සමග විවාහ වීමට පෙර, ඇය බැංකුකරු ඇන්ඩ්‍රේ-ලුවී ඕසියර් සමඟ විවාහ වී සිටි අතර, එම විවාහයෙන් ඇයට දරුවෝ තිදෙනෙකි. ඒ, පුතකු සහ දියණියන් දෙදෙනෙකි. 

දරුවන් තිදෙනාගෙන් පුතා ඉංජිනේරුවකු වන සෙබස්තියන් ඕසියර්ය. ඔහු මැක්රොන්ට වඩා වැඩිමල්ය. දියණියන් දෙදෙනා මැක්රොන්ට වඩා වයසින් අඩුය. එක් දියණියක ලෝරන්ස් ඕසියර් ය. ඇය හෘද රෝග විශේෂඥවරියකි. අනෙක් දියණිය නීතීඥවරියක වන ටිෆනි ඕසියර්ය. මැක්රොන් සහ බ්‍රිජෙත්ගේ වයස් පරතරය අවුරුදු 24 කි. 

1993 දී මැක්රොන් ප්‍රංශයේ අමියන්ස් නගරයේ පිහිටි පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන විට බ්‍රිජෙත්, මැක්රොන්ට ප්‍රංශ සාහිත්‍යය සහ නාට්‍ය කලාව ඉගැන්වූ ගුරුවරිය වූවාය. මැක්රොන්ට අවුරුදු 15 ක් වෙද්දී, බ්‍රිජෙත් 39 හැවිරිදි තිදරු මවක වූවාය. මෙම සබඳතාවට මැක්රොන්ගේ මාපියන් දැඩි ලෙස විරුද්ධ විය. කෙසේ නමුත්, බ්‍රිජෙත් සැමියාගෙන් දික්කසාද වීමෙන් පසු, 2007 දී මැක්රොන් සහ බ්‍රිජිට් විවාහ වූහ. 

මැක්රොන් 2017 වසරේදී ප්‍රංශයේ ළාබාලම ජනාධිපතිවරයා ලෙස පත්වන විටත්, ඉන්පසු 2022 වසරේදී නැවත ජනාධිපති ධුරයට තේරී පත්වන විටත් ඇය ප්‍රංශ ජනාධිපති ආර්යාව ලෙස ඔහුට ශක්තියක් වූවාය. මැක්රොන් සහ බ්‍රිජෙත්ට දරුවන් නොමැති වුවද, මැක්රොන් බ්‍රිජෙත්ගේ දරුවන් මෙන්ම මුණුබුරු මිණිබිරියන් සමඟ ද ඉතා සමීප පවුල් සබඳතාවක් පවත්වයි. 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු (බීබී) ද සමග එක් වී, ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරානයට පහර දුන්නේ ඉකුත් පෙබරවාරි 28 වැනිදාය. යුද්ධය ඔඩුදුවද්දී, ඉරානය ඔවුන්ගේ තුරුම්පුව අතට ගත්තේය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීය. හෝමූස් යනු ලෝක දේශපාලනයේ සහ ගෝලීය ආර්ථිකයේ අතිශය තීරණාත්මකම මෙන්ම සංවේදීම මුහුදු මාර්ගයයි. 

මෙය පිහිටා ඇත්තේ මැදපෙරදිග කලාපයේය. උතුරින් ඉරානයත්, දකුණින් ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් යා කරමින් පිහිටි මෙය, පර්සියානු ගල්ෆ් බොක්ක සහ ඕමාන් බොක්ක හරහා සාගරයට සම්බන්ධ වෙයි. සමුද්‍ර සන්ධියේ, නැව් ගමනාගමනය සඳහා ආරක්ෂිතව භාවිත කළ හැකි සාගර තීරුවේ අයිතිය ඇත්තේ ඉරානයටය. 

හෝමූස් වසා දැමුණු අවස්ථාවේ, ඉරාන විප්ලවීය බලකායේ නාවික බලඇණිවලට පහර දී, බලහත්කාරයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බව ට්‍රම්ප් පැවසීය. ට්‍රම්ප් මේ සඳහා බ්‍රිතාන්‍යයෙන්, ප්‍රංශයෙන් මෙන්ම සෙසු නේටෝ සාමාජිකයන්ගෙන් ද උදවු ඉල්ලුවේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ට්‍රම්ප්ට ‘බැහැ’ කීහ. 

ඒ අනුව, ස්ටාර්මර් සහ මැක්රොන් ට්‍රම්ප්ගේ උදහසට ලක් වූහ. කෝපයට පත් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ඔවුන් දෙදෙනාට අපහාස කරන්න විය. මැක්රොන් යනු බිරිඳගෙන් ගුටි කන ජනාධිපතිවරයකු බවත්, එය කනගාටුවට කාරණාවක් බවත් ට්‍රම්ප් චෝදනා නැගුවේය. 

එදා වියට්නාම් ගමනේ දී බ්‍රිජෙත්, මැක්රොන්ට අතුල් පහරක් එල්ල කළේ ඇයිදැයි මේවනවිට අනාවරණය වී ඇත. ඒ, ප්‍රංශ මාධ්‍යවේදියකු වන ෆොරියොන් තාල්දිෆ් එළිදැක්වූ ඔහුගේ නවතම පොත හරහාය. ෆොරියොන් තාල්දිෆ් යනු ප්‍රංශයේ දේශපාලන රහස්, ඕපාදූප හොඳින් දන්නා මාධ්‍යවේදියෙකි. 

තාල්දිෆ්ගේ පොත, ප්‍රංශ බසින් Un couple (presque) parfait යන නමින් නම් කර ඇත. ඉංග්‍රීසියෙන් එහි අරුත An (Almost) Perfect Couple යන්නය. මේ පොත මැක්රොන් සහ බ්‍රිජෙත් ගැනය. මැක්රොන් සහ බ්‍රිජෙත්ගේ පෞද්ගලික ජීවිතයේ හැල හැප්පීම් ගැනය. පොතේ සඳහන් වන ආකාරයට මැක්රොන්, ප්‍රංශ ඉරාන නිළියක සමග හාදකමක් පවත්වයි.
මේ නිළිය ගොල්ෂීෆේ ෆර්හානීය. එදා වියට්නාම සංචාරයේ දී මැක්රොන් ගුටි කෑවේ ෆර්හානීගෙන් ආ කෙටි පණිවුඩ, බ්‍රිජෙත්ට හසුවුණු බැවින් යැයි තාල්දිෆ්ගේ පොතේ සඳහන් වෙයි. ෆර්හානී සහ මැක්රොන් අතරේ රහස් සම්බන්ධයක් ඇති බවත්, මැක්රොන්, ෆර්හානීට කීකරු බවත් තාල්දිෆ් සිය පොතෙන් අනාවරණය කර තිබේ.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, හෝමූස් විවෘත කරන්න උදවු දෙන්නැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගෙන් උදවු ඉල්ලද්දී, මැක්රොන් එය ප්‍රතික්ෂේ කළේ මෙම ප්‍රංශ නිළියගේ බල කිරීමට යැයි ද පොතේ සඳහන් වෙයි. ඉරානයට එරෙහි වෙන්න එපා යැයි මැක්රොන්ගෙන් ෆර්හානී ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත්, මේ කිසිවක් මැක්රොන් හෝ බ්‍රිජෙත් හෝ ඉලීසේ මාලිගාව හෝ සත්‍යයක් යැයි තහවුරු කර නැත. 
ඉලීසේ මාලිගාව යනු ප්‍රංශ ජනාධිපති මන්දිරයයි. ප්‍රංශ ජනපතිට කෙටි පණිවුඩ එවන සහ ප්‍රංශ ජනාධිපති සමග රහස් සම්බන්ධයක් පවතවනවා යැයි කියන ගොල්ෂීෆේ ෆර්හානීය ප්‍රංශයේ ජනප්‍රිය නිළියකි. ඇය සම්මානනීය නිළියක ද වෙයි. ඇගේ වයස අවුරුදු 42 කි. ඇය උපන්නේ 1983 ජූලි 10 වැනිදා ඉරානයේ තෙහෙරාන් අගනුවරදීය. අද ඇය ඉරාන ප්‍රංශ පුරවැසිභාවය හිමි තැනැත්තියකි. 

නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුණු ක්‍රිස් හෙම්ස්වර්ත් ප්‍රධාන චරිත නිරූපණය කරන එක්ස්ට්‍රැක්ෂන් 1 සහ 2 ක්‍රියාදාම චිත්‍රපවලින් ඇය දැක ගත හැක. ඉන්වේෂන් රූපවාහිනී ටෙලි කතාමාලාවට ද ඇය රංගනයෙන් දායක වී ඇත. ෆර්හානී දෙවරක් විවාහ වූ තැනැත්තියකි. ගොල්ෂීෆේ ෆර්හානී නමින් රංගනයට පිවිසියත්, ගල්ෂිෆ්තේ ෆර්හානීගේ උපන් නම රහවාද් ෆර්හානී ය. ඇගේ පවුලේ සාමාජිකයන් ජීවත් වන්නේ තෙහෙරාන් අගනුවරය. 

ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි
තව කියවන්න

Classified_Ad