මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

mawitha

Classified_Ad_Above_All_News

Stay Safe

Classified_Ad_News_Top

Aug 17, 2025

ඇපල් ගෙඩියේ විස්මිත කතාව

August 17, 2025
ලෙඩ නොවී ඉන්න නම්; දිනපතා ඇපල් ගෙඩියක් ගන්න. (Eat an apple a day; keeps the doctor away) මේ බටහිර වැසියන් අතරේ පවතින කියමනකි. ඇපල් යනු විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකවලින් පිරුණු පෝෂණ ගුණයෙන් ඉහළ පලතුරකි. එහි අඩංගු ගුණාංග නිසා එය අපගේ ශරීරයට විවිධ ආකාරවලින් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. ඇපල් ගැන කියද්දී අපේ සිහියට නැගෙන්නේ ඇමෙරිකාව සහ යුරෝපා බටහිර රටවල්ය. 

ඒත් ඔබ දන්නවාද? ඇපල් ආරම්භය සිදුවූයේ බටහිර රටවලින් නොව, ආසියාවෙනි. හරියටම කීවොත්, මධ්‍යම ආසියාවේ කසක්ස්තානයෙනි. ලොව පුරා සිටින මිලියන ගණනක් මිනිසුන්ගේ ප්‍රියතම පලතුරක් වන ඇපල් ගෙඩිය, එහි මූලාරම්භය සහ ව්‍යාප්තිය පිළිබඳ අතිශය රසවත් කතාවකට උරුමකම් කියයි. අද අප දකින විවිධ ඇපල් වර්ග බිහිවීමට පෙර, මෙම පලතුරේ මූලයන් ඈත අතීතයට දිව යයි. 

ඇපල් ගෙඩියේ මූලාරම්භය මධ්‍යම ආසියාව ලෙස සැලකෙයි. විශේෂයෙන්, වර්තමාන කසක්ස්තානයේ ටියැන් ෂාන් කඳුකරය, වල් ඇපල් විශේෂයක් වන මැලස් සීවර්සියායි (Malus sieversii) ශාඛයේ උපන් ස්ථානය ලෙස හඳුනා ගෙන ඇත. මෙම වල් ඇපල් වර්ගය, අද අප භුක්ති විඳින සියලුම ගෘහස්ථ ඇපල් වර්ගවල පොදු මුතුන්මිත්තා ලෙස විශ්වාස කෙරේ. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ, මිනිසුන් වසර දහස් ගණනකට පෙර සිට මෙම වල් ඇපල් වර්ගය පරිභෝජනය කර ඇති බවය. 

මෙම ප්‍රදේශයේ සිටි පුරාණ සංචාරකයන් සහ වෙළෙන්දන්, සේද මාවත ඔස්සේ ගමන් කරද්දී ඇපල් බීජ රැගෙන ගොස් ඇති අතර, එමගින් ඇපල් ගෙඩිය ක්‍රමයෙන් බටහිර දෙසට ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. ඇපල් ගෙඩියේ ව්‍යාප්තියට විවිධ සංස්කෘතීන් සහ අධිරාජ්‍යයන් දායක විය. ක්‍රි.පූ. 4 වැනි සියවස වන විට ඇපල්, ග්‍රීසියට සහ පසුව රෝමයට පැමිණියේය. රෝමවරුන් ඇපල් වගාව වැඩි දියුණු කළ අතර, විවිධ ප්‍රභේද වර්ධනය කිරීමට උනන්දු විය. ඔවුන් යුරෝපය පුරා තම අධිරාජ්‍යය ව්‍යාප්ත කරන විට, ඇපල් ගස් ද ඒ සමඟම ව්‍යාප්ත විය. 

රෝමවරුන් ඇපල් බද්ධ කිරීමේ තාක්ෂණය ද හඳුන්වා දුන් අතර, එමගින් රිසි පරිදි සහිත ඇපල් වර්ග බෝ කිරීම පහසුවක් විය. මධ්‍යතන යුගයේදී, යුරෝපයේ ආරාම සහ ගොවිපළවල් වල ඇපල් වගාව තවදුරටත් ව්‍යාප්ත විය. ඇපල් යුරෝපීය ආහාර වේලෙහි වැදගත් අංගයක් බවට පත් වූ අතර, අමු ආහාරයට ගැනීමට අමතරව, සයිඩර් සෑදීම සඳහා ද බහුලව භාවිතා විය. 17 වැනි සියවසේදී යුරෝපීය පදිංචිකරුවන් සමඟ ඇපල් උතුරු ඇමරිකාවට පැමිණියේය. මුලින් ඔවුන් යුරෝපයෙන් බීජ ගෙන ආ නමුත්, ඇමරිකානු දේශගුණයට අනුවර්තනය වෙමින් නව ප්‍රභේද බිහි විය. ඇමරිකාවේ ඇපල් ව්‍යාප්තියට ජොනී ඇපල්සීඩ් ලෙස ප්‍රසිද්ධ වූ ජෝන් චැප්මන් වැන්නන්ගෙන් විශාල දායකත්වයක් සැපයීය. 

චැප්මන්, 18 වැනි සියවසේ අගභාගයේ සහ 19 වැනි සියවසේ මුල් භාගයේදී ඇමරිකාව පුරා ඇපල් බීජ රෝපණය කළේය. 19 වැනි සහ 20 වැනි සියවස් වන විට, කෘෂිකාර්මික තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇපල් වගාව ගෝලීය වශයෙන් ව්‍යාප්ත විය. ශීතකරණ තාක්ෂණය සහ ප්‍රවාහන පහසුකම් දියුණු වීමත් සමඟ, ඇපල් ගෙඩිය ලොව ඕනෑම ප්‍රදේශයකට පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි විය.

අද වන විට, ඇපල් ලොව පුරා රටවල් රැසක වාණිජමය වශයෙන් වගා කරන අතර, ගෝලීය වෙළඳපොළේ ප්‍රමුඛ පලතුරක් බවට පත්ව ඇත. අප එක රටකින් ගෙනා ඇපල් ගෙඩියක් වෙනත් රටක වෙනත් පරිසරයක පැල කළොත්, සෑදෙන ඇපල් ගෙඩි මවු ගෙඩිය මෙන් නොව, සම්පූර්ණයෙන් වෙනස් රසක් ඇති ගෙඩියක් බවට පත් වෙයි. ඇපල්වල විශේෂත්වය වන්නේ මෙයයි. අද වන විට, ලොව පුරා ඇපල් වර්ග 7,500කට අධික ප්‍රමාණයක් පවතින බව ගණන් බලා ඇත. මෙම විවිධත්වය, ඇපල් ගෙඩියේ දීර්ඝ ඉතිහාසය, අනුගත වීමේ හැකියාව සහ මිනිසා විසින් සිදු කරන ලද වගා කිරීමේ උත්සාහයන්ට සාක්ෂියකි. මධ්‍යම ආසියාවේ කසක්ස්තානයේ වල් ගසක සිට ලොව පුරා රටවල් ගණනාවක ප්‍රධාන වාණිජ බෝගයක් දක්වා ඇපල් ගෙඩියේ ගමන, සොබාදහමේ සහ මිනිසාගේ අන්තර්ක්‍රියාවේ අපූරු කතාව බවට සැකයක් නැත. 

ඇපල් වල ද්‍රාව්‍ය තන්තු (soluble fiber) අඩංගු වන අතර, එය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. ඇපල්වල පෙක්ටින් (Pectin) නම් තන්තු වර්ගය අඩංගු වන අතර, ඒවා අප සිරුරේ නරක කොලෙස්ටරෝල් (LDL) අඩු කිරීමට උපකාරි වෙයි. ඇපල් වල ඇති පොලිෆෙනෝල් (polyphenols) රුධිර පීඩනය අඩු කිරීමටත්, ආඝාතය ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් උපකාරී වේ. ඇපල් වල ග්ලයිසමික් දර්ශකය (Glycemic Index - GI) අඩු වන අතර, එය රුධිර සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වෙයි. ඇපල් වල අඩංගු තන්තු සහ පොලිෆෙනෝල්, ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමටත්, දෙවන මට්ටමේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් දායක වන බව අධ්‍යයනවලින් හෙලි වී ඇත. 

ඇපල් වල තන්තු අධික වන අතර ජලය ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩංගු වෙයි. ශරීරයේ බර පාලනය කර ගැනීමටත්, බර අඩු කර ගැනීමටත් ඇපල් උදවු වෙයි. ඇපල් වල ඇති තන්තු, විශේෂයෙන් පෙක්ටින්, ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමට ඉතා වැදගත්ය. එය බඩවැල්වල ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වා ගැනීමටත්, මලබද්ධය වැනි ගැටලු අවම කිරීමටත් උපකාරී වෙයි. පෙක්ටින්, බඩවැල්වල ඇති හිතකර බැක්ටීරියා වර්ධනයට ද උපකාරී වන පෙරබයෝටික් (prebiotic) ලෙස ක්‍රියා කරයි. ඇපල්වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඇත. පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් ඇපල් දායක වෙයි. 

විශේෂයෙන්, පෙනහළු, මහා බඩවැලේ සහ පියයුරු පිළිකා අවදානම අඩු කිරීමට ඇපල් වලට හැකියාවක් ඇති බව වෛද්‍ය අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත. ඇපල්වල ඇති විටමින් C ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ආසාදනවලින් සහ රෝගවලින් ශරීරය ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය වෙයි. ඇපල් වල ඇති ප්‍රතිඔක්සිකාරක, මොළයේ සෛල ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කිරීමට උපකාරී වෙයි. සමහර අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ ඇපල් පරිභෝජනය ඇල්සයිමර් රෝගය වැනි ස්නායු ආබාධ ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී විය හැකි බවය.

ඇපල් වල අඩංගු ෆ්ලේවොනොයිඩ් (flavonoids) සහ අනෙකුත් සංයෝග අස්ථි ඝනත්වය වැඩි කිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) වැනි අස්ථි රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. ඇපල් ආහාරයට ගැනීමෙන් දත් සහ විදුරුමස් පිරිසිදු වෙයි. ඇපල් සපා කෑමෙන් කෙල නිෂ්පාදනය උත්තේජනය වන අතර, එය දත්වල බැක්ටීරියා වර්ධනය අඩු කිරීමට දායක වෙයි. 

ලුසිත ජයමාන්න 
ලයිව් සයන්ස් ඇසුරිනි
තව කියවන්න

බලවතුන්ගේ සාම හමුව

August 17, 2025
මුළු ලොවම පුලපුලා බලා සිටි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව, පසුගිය 15 වැනිදා පැවැත්විණි. ඒ, ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ් - රිචර්ඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය. මෙය ඉතා සුවිශේෂී ඓතිහාසික හමුවකි. ලෝක බලවතුන් දෙදෙනා වන ට්‍රම්ප් සහ පුටින් අතර සබඳතාව මැනවින් පිළිබිඹු කළ හමුවකි. 

 ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, පසුගිය ජනවාරියේ, සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේ පටන් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බව පවසන්න විය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේ, යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවේ එදිරිවාදිකම්වලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාවේ අසල්වැසියා යුක්රේනය වන අතර, යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

එබැවින්, පුටින් යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේය. ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු, අවස්ථා කීපයකදී රුසියන් ජනාධිපති පුටින් ඇමතුවේය. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවිය. සාමය ගැන කතා කළත් යුද්ධය අවසන් කිරීමට කැමැති යැයි කීවත්, පුටින්ගේ අණ පරිදි දිගින් දිගටම රුසියන් හමුදා යුක්රේනයට පහර දෙන්න විය. දින 12 ක් ඇතුළත වහා සටන් විරාමයකටත්, සාම වැඩපිළිවෙළකටත් නොයන්නේ නම්, රුසියාවට පනවා ඇති සම්බාධකවලට අමතරව, සියයට 100 ක තීරු බදු පනවන බවට ද ට්‍රම්ප්, තර්ජනය කළේය. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා ඇත්තේ ද රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය නිසාය. 

පසුගිය 15 වැනිදා (ශ්‍රී ලංකාවේ වේලාවෙන් 16 වැනිදා අලුයම) ලෝක බලවතුන් දෙදෙනා වන ට්‍රම්ප් සහ පුටින් එකිනෙකා හමුවූයේ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. ඇලස්කාවේදී එම හමුව පැවැත්වීමට කටයුතු ලහිලහියේ සැලැසුම් කෙරුණි. ඇලස්කාව යනු ඇමෙරිකාවේ කොටසකි. ඇමෙරිකාවට අයත් විශාලතම ජනපදය ඇලස්කාවය. ඒ අනුව ට්‍රම්ප් පුටින් හමුව පැවැත්වූයේ ඇමෙරිකාවේය. ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් හමුදා කඳවුරට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැමිණියේ ඔහුගේ එයාර් ෆෝස් 1 නිල ගුවන් යානයෙනි. 

රුසියන් ජනාධිපති පුටින්, ගුවන් කඳවුරට පැමිණියේ ඔහුගේ නිල ගුවන් යානයෙනි. ඊට ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් එෆ් 35 ප්‍රහාරක යානාවල ආරක්ෂාව ද හිමිවිය. ට්‍රම්ප්ගේත් පුටින්ගේත් ගුවන් යානා ගුවන් කඳවුරේ, එකිනෙකට ආසන්නයේ, ඒවාට නියමිත ස්ථානවල නතර කෙරුණු අතර, නායකයෝ දෙදෙනා රතු පලස මතින් එකිනෙකා හමුවූයේ ඉතා උණුසුම් ලෙස අතට අත දෙමිනි. මුලින් ගුවන් යානයෙන් බිමට බැසගත්තේ ට්‍රම්ප්ය. ඉන්පසු ඔහු ප්‍රධාන රතු පලස දිගේ පැමිණ නතර වී, පුටින් ගුවන් යානයෙන් බැස පැමිණෙන තුරු බලා සිටියේය. 
දෙදෙනා එකිනෙකාට අතට අත දුන්නේ සුවදුක් විමසමිනි. එදිරිවාදිකම් පසෙකට දමා, ලෝක නායකයන් දෙදෙනකු මේ අයුරින් සුහදව එකිනෙකා හමුවීම සුවිශේෂී අවස්ථාවක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී පවා පුටින් සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යෑමට උත්සාහ කළේය. ට්‍රම්ප් පවසන්නේ තමන් දිගටම බලයේ සිටියා නම්, රුසියාවත් යුක්රේනයත් අතරේ යුද්ධයක් හට ගන්නේ ද නැති බවය. ට්‍රම්ප් සහ පුටින් හමුවෙද්දී, නායකයන් දෙදෙනාගේ අභිනය අනුව, දෙදෙනා අතරේ කුළුපඟ මිත්‍රත්වයක් ඇති බව පෙන්නුම් කෙරුණි. ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මෙවැනි හිතවත්කමක් නැත. 

හේතුව, ට්‍රම්ප්, සැමවිටම සෙලෙන්ස්කී සලකන්නේ ඔහුට වඩා පහළ තැනැත්තකු ලෙස වීම නිසාය. පුටින්, ඇලස්කාවට පැමිණෙද්දී, ඇලස්කා වැසියන් විරෝධතා පෙළපාළි පවත්වනු දකින්න ලැබුණි. ඒ, පුටින් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිවය. රතු පලස මතින් ඇවිද එද්දී, ලෝක බලවතුන් දෙදෙනාට ඉහළින් ඇමෙරිකාවට අයත් අති ප්‍රබල බී2 යානා සහ එෆ් 35 ප්‍රහාරක යානා පියාසර කරන්න විය. ඇමෙරිකාව සතු ප්‍රබලතම බෝම්බ හෙලන ගුවන් යානය ලෙස සැලකෙන්නේ බී2 යානයයි. ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් බෝම්බ දැම්මේ ද බී2 යානාවක් භාවිතයට ගනිමිනි. 

ඉන්අනතුරුව නායකයන් දෙදෙනා නතර වූයේ මාධ්‍යවේදීන් ඉදිරියේය. ‘ඔබ යුක්රේනයේ සිවිල් වැසියන් අමු අමුවේ මරන්නේ ඇයි?’ යැයි මාධ්‍යවේදීන් කෑගසමින් පුටින්ගෙන් ප්‍රශ්න කරද්දී, කිසිවක් නෑසුණු අයුරින් පුටින් සහ ට්‍රම්ප් දෙදෙනා ට්‍රම්ප්ගේ නිල රථයට ගොඩවුණු අතර, ඔවුන් කඳවුර තුළට ගියේ එම රථයෙනි. කඳවුර තුළදී සාකච්ඡා සඳහා ජනපතිවරුන් දෙදෙනාට අමතරව, දෙරටේ රාජ්‍ය නිලධාරීහු ද එක් වී සිටියහ. රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද එහි සිටියහ. 

රාජ්‍ය නායකයන් දෙදෙනා සහ සෙසු පිරිස අසුන් ගත් තැනට ඉදිරියෙන් රැස්ව සිටි මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පින්ය. ඔවුන් ට්‍රම්ප්ගෙන් සහ පුටින්ගෙන් ප්‍රශ්න කිරීම් කළත් නායකයන් දෙදෙනා ඒවාට පැහැදිලි පිළිතුරු ලබා දුන්නේ නැත. සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන් හමුවේ කයිවාරු ගසන ට්‍රම්ප්, අනවශ්‍ය ලෙස කිසිවක් පැවැසුවේ ද නැත. ඉන්පසු මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් තොරව පැය 3 කට ආසන්න කාලයක් තිස්සේ ට්‍රම්ප් පුටින් සාකච්ඡාව පැවැත්විණි. 

ට්‍රම්ප් සහ පුටින්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වූයේ ඉන් අනතුරුවය. ඉතා හොඳින් සාකච්ඡා පැවැත්වුවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට හෝ සටන් විරාමයකට යෑමට හෝ නොහැකි වූ බව පුටින් මෙන්ම ට්‍රම්ප් ද මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

පුටින් අදහස් දැක්වීම කළේ රුසියන් බසිනි. තමන් නේටෝ සාමාජිකයන් සමඟත්, මෙම අර්බුදයට අදාළ පාර්ශ්වකරුවන් සමඟත්, විශේෂයෙන්ම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙසන්ස්කී සමඟත් සාකච්ඡා කරන බව මාධ්‍ය හමුවේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසීය. තමන්ට රුසියන් ජනාධිපති පුටින් හමුවීමට ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝටත්, ස්ටීව් විට්කොෆ්ටත් ට්‍රම්ප් ස්තුති කළේය.

අවසන් වශයෙන් තමන් සමඟ සාකච්ඡා කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ට්‍රම්ප්, රුසියන් ජනාධිපතිවරයාට ස්තුති කළේය. ඒ, ව්ලැදිමීර් යනුවෙන් ඔහු අමතමිනි. ට්‍රම්ප් සහ පුටින්ගේ ළෙන්ගතුකම කොතරම්දයි එයින් පැහැදිලි විය. 'ස්තුතියි මම ඉක්මනින් ආයේ ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා' යැයි ට්‍රම්ප් කියද්දී, ට්‍රම්ප්ට ස්තුති කරමින් පුටින් ඉංග්‍රීසියෙන් පිළිතුරු දුන්නේ, 'මීළඟ වතාවේ මොස්කව් නුවරදී හමුවෙමු' යැයි කියමිනි. 

'ඒක නම් ඇත්තටම මා බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි. අපි බලමු' යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා ඊට පිළිතුරු දුන්නේය. ට්‍රම්ප් සහ පුටින් අතරේ හමුව අවසන් වූයේ එලෙසිනි. යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හේතුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, ඇමෙරිකාව පමණක් නොව, සෙසු යුරෝපා රටවල් ද සම්බාධක පනවා ඇත. පුටින් යුද අපරාධකරුවකු යැයි චෝදනා කර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද නිකුත් කර ඇත. මෙවැනි තත්වයක් යටතේ පුටින්ට විදෙස් ගමන් බිමන් කළ නොහැකිය. පුටින්ට, යුරෝපා රටවලට ඉහළින් ගුවනින් ගොස් ට්‍රම්ප් හමුවිය නොහැකිය. ඇලස්කාව යනු, පුටින්ට, ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවීමට පහසුවෙන්ම ළඟා වීමට හැකි වූ ස්ථානයයි. 

ඇලස්කාව ඇමෙරිකාවේ කොටසක් වුවත්, ඇමෙරිකාවේ ප්‍රධාන භූමියට සම්බන්ධ වන්නේ නැත. අතීතයේ ඇලස්කාව අයිතිව තිබුණේ රුසියානු අධිරාජ්‍යයටය. 1853 සිට 1856 දක්වා කාලයේ පැවැති ක්‍රිමියානු යුද්ධය හේතුවෙන්, රුසියාව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. ඔවුන් සතු වූ ඇලස්කාව පාලනය සහ නඩත්තු කිරීම ගැටලුවක් විය. බ්‍රිතාන්‍යය ඇලස්කාව ගැන ඇස ගසාගෙන සිටියේය. 

ඇලස්කාව කැනඩාවට සමීපව පිහිටි නිසා, රුසියානු-බ්‍රිතාන්‍ය යුද්ධයක් ඇති වුවහොත් ඇලස්කාව බ්‍රිතාන්‍ය හමුදා විසින් පහසුවෙන් අල්ලා ගනු ඇතැයි රුසියාව බිය විය. එබැවින්, එය ප්‍රතිවාදියකුට යටත් වීමට ඉඩ නොදී, එදා මිත්‍රශීලී රටක් වූ ඇමෙරිකාවට විකුණා දැමීම වඩාත් බුද්ධිමත් තීරණයක් බව එදා රුසියානුවෝ සිතූහ. ඒ අනුව, 1867 දී රුසියානු සාර් (රජු) දෙවැනි ඇලෙක්සැන්ඩර්, රජු, ඇලස්කාව නැමති භූමිය රුසියාවට විකිණීමට තීරණය කළේය. 

ඇමරිකාවේ එවකට රාජ්‍ය ලේකම්වරයා වූ විලියම් එච්. සෙවර්ඩ් මෙම ගනුදෙනුව සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. 1867 මාර්තු 30 වැනිදා ඇමෙරිකානු ඩොලර් මිලියන 7.2 කට රුසියාව, ඇමෙරිකාවට ඇලස්කාව විකුණා දැමීම සිදු කළේය. 

ඇලස්කාවේ භූමිය වර්ග කිලෝමීටර් 1,518,800 ක් වන අතර, අක්කරයක් විකුණා දැමීම සිදුවූයේ ඩොලර් සත දෙකක මුදලකටය. ලෝක සිතියම ගත් විට ඇලස්කාව වඩාත් සමීප ඇමෙරිකාවට නොව රුසියාවටය. ඇලස්කාව සහ රුසියාව බෙරිං සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙයි. අන්තර්ජාතික දින රේඛාව වැටී ඇත්තේ ද මේ අතරිනි. 

ඇලස්කාව සහ රුසියාව අතර පිහිටි දූපත් දෙක ඩයොමීඩ් දූපත් ලෙස හැඳින්වෙයි. ඒ අතරින්, බිග් ඩයොමීඩ් දූපත අයිති රුසියාවටය. ලිට්ල් ඩයොමීඩ් දූපත අයිති ඇලස්කාවටය. දූපත් දෙක පිහිටා ඇත්තේ බෙරිං සමුද්‍ර සන්ධියේය. දූපත් දෙක අතරේ දුර කිලෝමීටර් 4ක් පමණයි. 

ජාත්‍යන්තර දින රේඛාව මෙම දූපත් දෙක අතරින් ගමන් කරන බැවින්, මුලින්ම හිරු උදා වෙන්නේ බිග් ඩයොමීඩ් දූපතට වන අතර, අවසානයේ හිරු බැස යන්නේ ලිට්ල් ඩයොමීඩ් දූපතෙනි. බිග් ඩයොමීඩ් දූපත ලිට්ල් ඩයොමීඩ් දූපතට වඩා පැය 21ක් ඉදිරියෙන් පිහිටයි. ශීත කාලයට දූපත් දෙක අතරේ මුහුද අයිස්වලින් මිදෙයි. එවිට, රුසියාවේ සිට පයින් ඇමෙරිකාවට (ඇලස්කාවට) යෑමට හැකිය. 

ලුසිත ජයමාන්න 
බීබීසී ඇසුරිනි
තව කියවන්න

Aug 10, 2025

සිල්වර් ෆෙසන්ට් සැවුලා

August 10, 2025
සිල්වර් ෆෙසන්ට් (Lophura nycthemera) යනු ප්‍රධාන වශයෙන් අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර හා දකුණු චීනයේ කඳුකර ප්‍රදේශවල පිහිටි වනාන්තරවල දක්නට ලැබෙන පක්ෂි විශේෂයකි. සැවුලෙකි. තවත් පැහැදිලි කළොත් වළිකුකුළු විශේෂයකි. 

 අග්නි දිග ආසියාවේ සහ නැගෙනහිර සහ දකුණු චීනයේ ප්‍රධාන වශයෙන් කඳුකරයේ වනාන්තරවලත්, ආජන්ටිනාවට අයත් වික්ටෝරියා දූපතේ යෙල් හුවාපි විල ආශ්‍රිතවත් මොවුන් ජීවත් වෙයි. පිරිමි සතා කළු සහ සුදු වන අතර ගැහැණු සස්තා ප්‍රධාන වශයෙන් දුඹුරු වෙයි. 

ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම, රතු මුණක් සහ රතු පාද ඇත. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 120 ක් 125ක් පමණ වේ. ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා දිගින් හා උසින් අඩුය. ආයු කාලය වසර 15-25 පමණය.

 ලංකාවට ආවේණික පක්ෂියෙක් නොවූවත් දෙහිවල සත්ව උද්‍යානයේ සහ හන්තාන ජාත්‍යන්තර පක්ෂී උද්‍යානයේ දී ද සිල්වර් ෆෙසන්ට් සැවුලන් දැකිය හැක. 

මනීෂි මංජරී
National Geographic ඇසුරිනි
තව කියවන්න

රුවලක් ඇති නදී රකුසා

August 10, 2025

ටයිරැනසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් ටී රෙක්ස් මෙන්ම බිහිසුණු ඩයිනසෝරයකු ලෙස සැලකිය හැකි තවත් දැවැන්තයකු වන්නේ ස්පයිනෝසෝරස්ය. ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් චිත්‍රපටයේ දකින්න ලැබෙන ඩයිනසෝරයන් අතරින් කැපී පෙනෙන ඩයිනසෝරයකු වන්නේ නදී රකුසකු ලෙස ද සැලකෙන ස්පයිනෝසෝරස්ය. 

ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් චිත්‍රපටයේ, ස්පයිනසෝරස් රංචුවක් දකින්න ලැබෙන අතර, උන් දඩයම් කරන්නේ මුහුදේ කිමිදෙමිනි. ස්පයිනෝසෝරස් ජීවත් වූයේ, ක්‍රිටෙයිසීය යුගය අවසානයේ එනම්, වසර මිලියන 112 ත් 97 ත් අතර කාලයේ යැයි පොසිල විද්‍යාඥයෝ පවසති. 

විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වූ ස්පයිනෝසෝරස් පොසිල අස්ථි හමුවී ඇත්තේ උතුරු අප්‍රිකාවෙනි. අතීතයේ ස්පයිනෝසෝරස් ජීවත් වූයේ වගුරු ආශ්‍රිතවය. පොසිල විද්‍යාඥයන් ස්පයිනෝසෝරස් විශේෂ දෙකක් මේ වනවිට හඳුනාගෙන ඇත. ඒ, ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් Spinosaurus aegyptiacus සහ ස්පයිනෝසෝරස් මැරොක්කානුස් Spinosaurus maroccanus යනුවෙනි. 

ස්පයිනෝසෝරස් යන වදනෙහි අරුත කටුස්සා යන්නය. පොසිලි විද්‍යාඥයන්ට ස්පයිනෝසෝරස් පොසිල අස්ථි කොටස් විටින් විට හමුවෙද්දී, ඔවුන්ට ප්‍රහේලිකාවක් වූයේ කශේරුකාවේ ඇති කටු වැනි අස්ථිය. මෙතෙක් විද්‍යාඥයන්ට සියයට 100 ක් සම්පූර්ණ ස්පයිනෝසෝරස් අස්ථි හමුවී නැත.

එබැවින්, ස්පයිනෝසෝරස් මොන වගේදැයි හඳුනා ගැනීමට වසර ගණනක් ගත විය. කශේරුකාවේ ඇති අඩි 7 (මීටර් 2.1) ක් තරම් කටු වැනි අස්ථි අනුව, ස්පයිනෝසෝරස්ගේ පිටේ රුවලක් තිබුණු බව විද්‍යාඥයන් දැන් තහවුරු කරගෙන ඇත. කිඹුලකුගේ වැනි මුහුණක්, වල්ගයක් සහ රුවලක් ඇති බැවින් සත්වයකු බැවින් ස්පයිනෝසෝරස්, අනෙක් ඩයිනසෝරයන් අතරින් කැපී පෙනෙන ඩයිනසෝරයෙක් ලෙස සැලකෙයි. 

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි
තව කියවන්න

ජංජාලයයි: පෘථිවිය වෙනස් වෙලා

August 10, 2025
පෘථිවියේ අක්ෂය, අඟල් 31.5 කින් වෙනස් වී ඇතැයි විද්‍යාඥයෝ බිය පළ කරති. ඉතිං  සාමාන්‍ය දෙයක්ද? විද්‍යාඥයන් බිය පළ කරන විදියට නම්, එය සාමාන්‍ය දෙයක් නොවෙයි; අසාමාන්‍ය දෙයකි.

විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, පෘථිවියේ අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) වෙනස් වී ඇති බවය. මෙම වෙනස්වීම සිදුවී ඇත්තේ ස්වාභාවික හේතු නිසා නොවන බව ද ඔවුහු පවසති.

විද්‍යාඥයන්ට අනුව, වෙනස්වීමට ප්‍රධානතම හේතුව පෘථිවියේ භූගත ජලය අධික ලෙස නිස්සාරණයයි. ජලය නිස්සාරණය (ජලය අධික ලෙස ලබා ගැනීම) කර ඇත්තේ වෙන කවුරුවත් නොව, අපය. පෘථිවියේ රජ කරන අප මනුෂ්‍ය සත්වයාය.

අප භූගත ජලාශවලින් ඉවක් බවක් නොමැතිව, ජලය පොම්ප කර කරමින් සිටින බවත්, එය අප ග්‍රහලෝකයේ එසේත් නැතිනම් පෘථිවියේ සමතුලිතතාවය වෙනස් කිරීමට හේතුවක් වී ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. පෘථිවියේ අක්ෂය අඟල් 31.5 කින් වෙනස් වී ඇත්තේ මේ නිසාය.

සාමාන්‍යයෙන් මෙවැනි වෙනස්වීමක් සිදුවන්නේ වසර දහස් ගණනකින් පුවත්, දැන් දකින්න ලැබෙන මෙම වෙනස සිදුවී ඇත්තේ දශක කීපයක් ඇතුළත බවත් විද්‍යාඥයෝ පහදති. මෙම වෙනස, කාලගුණික රටාවලට, සාගර ජල මට්ටම වෙනස් වීමට සහ දේශගුණික ස්ථාවරත්වයට දීර්ඝ කාලීනව බලපෑම් එල්ල කරනු ඇතැයි ද විද්‍යාඥයෝ පවසති.

ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි
තව කියවන්න

චාල්ස් රජුගේ සිතුවම

August 10, 2025
ඉතිහාසය පුරාවටම රජවරුන්, රැජිනියන්, කුමාරවරුන් සහ කුමාරිකාවන්ගේ රූප සිතුවමට නැගුවේ අති දක්ෂ කලාකරුවන්. සිත්තරුන්. ඒත් පසුගිය දා ඉතිහාසය වෙනස් විය. 

කෘත්‍රිම බුද්ධියකින් පණ ගැන්වෙන, සැබෑ කාන්තාවකගේ පෙනුම ඇති Ai-Da (අයිඩා) රොබෝවරිය, තෙවන චාල්ස් රජුගේ රෑපය සිතුවමට නැගුවාය. එය සැබැවින්ම අපූරු කලා නිර්මාණයක් බවට පත්වී ඇත. 

2019 දී නිර්මාණය කළ Ai-Da බ්‍රිතාන්‍යයේ කැපී පෙනෙන කෘත්‍රිම බුද්ධි මානවරූපී රොබෝවරියයි. ඇගේ නිරුමාණකරු වන්නේ ඒයිඩන් මෙරල්ය. 

 කෙසේ නමුත්, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයකුගේ රූපයක් Ai-Da විසින් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. 2023 දී Ai-Da චාල්ස් රජුගේ මව වූ දෙවන එලිසබෙත් රැජිනගේ රූපය ද මේ අයුරින්ම සිතුවට නැගුවාය. 

BBC ඇසුරිනි
තව කියවන්න

රත්තරන් බෙටි දාන දතා

August 10, 2025
රත්තරන් බිත්තර දමන කිකිළියගේ සුරංගනා කතාව දන්නවා නේද? එහෙම කිකිලියක් සිටිනවා නම් කොතරම් අපූරුද? මේ කියන්න හදන්නේ රත්තරන් පිට කරන සතෙකු ගැනයි. නැහැ. මේ සතා රත්තරන් බිජු දමන්නේ නම් නැත. රත්තරන් පිට කරන මේ ජීවියා පුංචිම පුංචි ඇසට නොපෙනෙන ක්ෂුද්‍රජීවියෙකි. මේ සතාගේ දමන්නේ රත්තරන් බිත්තර නොව, රත්තරන් බෙටිය. කොහොමද එහෙම වෙන්නේ? මේ ක්ෂුද්‍රජීවීයා මොකාද? ඇත්තටම රත්තරන් බෙටි දමනවද? මේ කියන්න හදන්නේ ඒ ගැන තමයි. 

නොයෙක් විදියේ බැක්ටීරියා අතරේ, රත්තරන් බෙටි දමන මේ අපූරු බැක්ටීරියාව හැඳින්වෙන්නේ කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් Cupriavidus Metallidurans යනුවෙනි. අප ලෝකයේ ඇසට නොපෙනෙන, පුංචිම පුංචි ජීවීන් සිටී. බැක්ටීරියා විදියට හැඳින්වෙන්නේ එම ජීවීන්ය. බැක්ටීරියා යනු ඒක සෛලී ජීවීන් විශේෂයකි. බැක්ටීරියා අප ශරීරයේ පමණක් නොවෙයි, පොළොවේ, වතුරේ, වාතයේ පමණක් නොවෙයි සෑම තැනකම සිටී. 

ඇතැම් බැක්ටීරියා ලෙඩ රෝග ඇති කරයි. ඒත් සමස්ථයක් විදියට බොහෝ බැක්ටීරියා අපට බොහෝසෙයින් ප්‍රයෝජනවත්ය. අපේ පැවැත්මට ප්‍රයෝජනවත්ය. අප සිරුරේ හොඳ බැක්ටිරියා බොහෝය. සිරුරට අවශ්‍ය විටමින් සෑදීමට බැක්ටීරියා උදවු වෙයි. සිරුර නිරෝගීව තබා ගැනීමට බැක්ටීරියා උදවු වෙයි. 

අසනීප වූ විට, අප වෛද්‍ය උපදෙස් නොමැතිව, හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයට ගනිද්දී සිදුවන්නේ ද නරක බැක්ටීරියා සමඟ හොඳ බැක්ටීරියා ද විනාශ වීමය. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිජීවක ඖෂධ භාවිතය කළ යුතුය. අප යෝගට් කන්න ආසයිනේ. යෝගට් හදන්න උදවු වෙන්නෙත් බැක්ටීරියා තමයි.

බැක්ටීරියා ප්‍රධාන වශයෙන් ආකාර තුනකට වෙන් කරන්න පුළුවනි. ගෝලාකාර (Cocci) බැක්ටීරියා යනු එක් වර්ගයකි. මේවා ගෝලයක හැඩය ගනී. දඬු හැඩැති (Bacilli) බැක්ටීරියා දෙවැනි වර්ගයයි. මේවා සිලින්ඩරාකාර හෝ දඬු කැබැල්ලක් වැනි හැඩයක් ගනී. සර්පිලාකාර Spirilla) බැක්ටීරියා යනු තෙවැනි වර්ගයයි. මේවා සර්පිලාකාර හෝ කැරකුණු හැඩයක් ගනී. බැක්ටීරියා ගැන සරල අවබෝධයක් ලැබුණු නිසා දැන් අපි යමු මේ කතාවේ කතා නායකයා දිහාවට. 

රත්තරන් බෙටි දමන කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් බැක්ටීරියාව, අයත් වන්නේ දඬු හැඩැති බැක්ටීරියා වර්ගයටය. මේ බැක්ටීරියා බහුලව වාසය කරන්නේ බර ලෝහ ඇති පස්වලය. රත්තරන් ඉතා වටිනා දෙයක්. ඒත් පරිසරයේ ඇති රත්තරන් සංයෝග (gold ions) ඇතැම් විට අනකුත් ජීවීන්ට විෂ විය හැකිය. 

කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් බැක්ටීරියාවට නම් මේ විෂ රත්තරන් සංයෝග රසවත් කෑමකි. මේ විදියට විෂ රත්තරන් කෑමට ගනිමින්, කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් පරිසරයට කරන්නේ ලොකු මෙහෙවරකි. එය ඇත්තටම වීර ක්‍රියාවකි. 

කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් බැක්ටීරියාව පරිසරයේ (පස්වල) ඇති විෂ සහිත රත්තරන් සංයෝග උරා ගැනීමක් නැතිනම් ආහාරයට ගැනීමක් කරයි. ඒවා බෙටි ලෙස පිටවන්නේ, අපට හුරු පුරුදු, අපට කිසිම හානියක් නැති, ඝන රත්තරන් (Metallic Gold) බවට පත් කරමිණි. 

අප රත්තරන් යැයි හදුනන්නේ මේ ඝන රත්තරන්ය. මෙලෙස නිර්මාණය වන රත්තරන් ඉතාම කුඩා අංශු ලෙස බැක්ටීරියාවේ පිටත පෘෂ්ඨයේ එකතු වෙයි. මේ නිසා රත්තරන් තැන්පත් වී තියෙන තැන් වල, මේ බැක්ටීරියා බහුල වශයෙන් දැකගත හැකිය. පරිසරයට හානි කරන විෂ සහිත සංයෝග, වටිනා ලෝහයක් වන රත්තරන් බවට පත් කිරීමට කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් සතු හැකියාව සැබැවින්ම පුදුමසහගතය. 

රත්තරන් යනු රසායනික මූලද්‍රව්‍යයකි. එහි රසායනික සංකේතය Au වන අතර, පරමාණුක ක්‍රමාංකය 79 ලෙස සටහන් වෙයි. ස්වභාවිකව පොළොවේ හමුවෙන මේ ලෝහය, කහ පැහැයක් ගන්නා අතර, එය ඉතා වටිනා ලෝහයක් ලෙස ලොව පුරා පිළිගෙන අවසන්ය. 

රත්තරන් වල විශේෂ ලක්ෂණ කීපයකි. රත්තරන් ඉතා මෘදු ලෝහයකි. ඒ නිසා පහසුවෙන් එය විවිධ හැඩතලවලට සකස් කළ හැකිය. මෙය ආභරණ සෑදීම වැනි දේ සඳහා ඉතා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේදී රත්තරන් මල බඳින්නේ නැති බැවින්, එහි දීප්තිය සහ වටිනාකම දිගු කාලයක් පවතී. 

රත්තරන් වටිනා ලෝහයක් පමණක් නොවෙයි, ඉතා දුර්ලභ ලෝහයකි. දුර්ලභ බැවින් රත්තරන් මිල ඉහළ යයි. රත්තරන්වල පිරිසිදුකම මනින්නේ කැරට් (Carat) වලිනි. කැරට් 24 යනු පිරිසුදුම රත්තරන්ය. කැරට් 22 යනු රත්තරන් සියයට 91.6% ක් සහ වෙනත් ලෝහ (තඹ, රිදී වැනි) 8.4% ක් මිශ්‍ර කර සාදාගත් රත්තරන්ය. සාමාන්‍යයෙන් ආභරණ සඳහා 22 කැරට් රත්තරන් භාවිතා කරයි. ඒ එහි ස්ථීරභාවය වැඩි නිසාය. 

ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවීමට, වෛද්‍ය ක්ෂේත්‍රයේදී සහ අභ්‍යවකාශ තාක්ෂණ කටයුතුවලදී පවා රත්තරන් භාවිතයට ගනී. රත්තරන් පෘථිවියේ ස්වභාවිකව සෑදුණු දෙයක් නොවෙයි. රත්තන් සෑදුණේ විශ්වයේ සිදුවුණු ඉතාම බලගතු සිදුවීම් මාලාවක් නිසා යැයි විද්‍යාඥයෝ පවසති. රත්තරන් සෑදෙන්න ප්‍රධාන හේතුව නියුට්‍රෝන තරු දෙකක් එකිනෙක ගැටීම යැයි තාරකා විද්‍යාඥයන්ගේ අදහසය. එසේ සෑදුණු රත්තරන්, පෘථිවිය බිහිවෙද්දී ග්‍රහක සහ උල්කා හරහා පෘථිවියට පැමිණෙන්න ඇතැයි පැවැසෙයි. එසේනම් අප පළඳින රන් ආභරණ ඈත අභ්‍යවකාශයේ සිදුවුණු බලවත් සිදුවීමක ප්‍රතිඵලයක්. පුදුමයි නේද? 

ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි
තව කියවන්න

ජිම් ලොවෙල්ගේ අභාවය

August 10, 2025
ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ 11 මෙහෙයුම ගැන දන්නවානේ. ඇපලෝ 11 මෙහෙයුම යටතේ තමයි නීල් ආම්ස්ට්‍රෝංග්, එඩ්වින් බස් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් සඳ බලා ගොස් ආපසු පැමිණය‍ේ. මයිකල් කොලින්ස්, මවු යානයට වී සඳුගේ කක්ෂයේ බලා සිටිද්දී, නීල් ආම්ස්ට්‍රෝංග් සහ එඩ්වින් බස් ඕල්ඩ්‍රීන්, ඊගල් චන්ද්‍ර යානයෙන් ගොස් සඳ මතට පය තැබූහ. ආම්ස්ට්‍රෝංග් සඳට පය තැබූ පළමු මිනිසා බවට පත් වූයේ ඒ අනුවයි.

ඇපලෝ 11 මෙහෙයුම මෙන්ම සඳට නොගිය ඇපලෝ 13 මෙහෙයුම ද සුවීශේෂී වික්‍රමයකි. මේ සටහන ඇපලෝ 13 මෙහෙයුම ගැනය. ඇපලෝ 13 මෙහෙයුම යනු 1970 දී, නාසා ආයතනය‍ සඳ මතට තුන්වැනි වරටත් මිනිසුන් එසේත් නැතිනම් ගගනගාමීන් ගොඩබස්වන්නට සැලැසුම් කළ අභ්‍යවකාශ මෙහෙයුමය. අසාර්ථක වුවත්, ඇපලෝ 13 වීරත්වය පෙන්නුම් කළ මෙහෙයුමක් බවට පරිවර්තනය විය. 

ඇපලෝ 13 මෙහෙයුම ආරම්භ වී, පැය 56 ක් යද්දී, පෘථිවියේ සිට සැතපුම් 200,000ක් (කිලෝමීටර් 320,000ක්) පමණ දුරින් තිබියදී, ඇපලෝ 13 යානයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා ගියේය. පිපිරීම නිසා යානයට අවශ්‍ය විදුලිය, ඔක්සිජන් සහ ජල සැපයුම බරපතළ ලෙස අඩාල විය. 

ඇපලෝ 13 යානයේ සිටි ගගනගාමීන් තිදෙනා, හූස්ටන් පාලන මැදිරිය අමතමින් පැවැසුවේ “හූස්ටන්, අපට කරදරයක්” (Houston, we've had a problem here) යනුවෙනි. අද මෙම ප්‍රකාශය ඇමෙරිකානුවන් අතරේ ප්‍රකටය. කුමක් හෝ අලකංචිකදී පවා Houston, we've had a problem යනුවෙන් පැවැසීම සිදුවෙයි. ඒ, ඇපලෝ 13 මෙහෙයුම සිහිගන්වමිනි. 

සිදුවුණු අකරතැබ්බ හේතුවෙන් යානයේ සිටි නාසා ගගනගාමීන් තිදෙනාගේ ජීවිත අවදානම් තත්වයකට පත්විය. 

ගගනගාමීන් තිදෙනා සහ පෘථිවි පාලන මැදිරියේ ඔවුන් සමඟ සම්බන්ධ වූ ඉංජිනේරුවන් කණ්ඩායම එක්ව කතාබහ කිරීමෙන් පසු තීරණය කෙරුණේ, මවු යානයට අයත් චන්ද්‍ර යානය (මොඩියුලය) ගගනගාමීන් තිදෙනා සඳහා ජීවිතාරක්ෂක යානයක් ලෙස භාවිතා කිරීමටය‍. ඒ අනුව ඒය ඒසේ සිදුවිය.

චන්ද්‍ර යානය නිර්මාණය කර තිබුණේ ගගනගාමීන් දෙදෙනකුට දින දෙකක් පමණ රැඳී සිටීමට හැකි ආකාරයට පමණි. ගගනගාමීන් තිදෙනකු සිටි අතර, අවසානයේ ඔවුන් තිදෙනාම ඒ තුළට රිංගා ගත්තේ සිවු දිනක කාලයක් එහි සිරවී පණ රැක ගැනීමේ අරමුණින්ය. 

පණ බේරාගෙන ආපසු පෘථිවියට යෑමේ අභියෝගය ජයගැනීමට නම්, ඔවුන්ට විදුලිය, ජලය සහ තාපය ඉතාම අඩුවෙන් පරිහරණය කිරීම සිදුවිය. යානය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 දක්වා පහත වැටුණු අතර, කාබන් ඩයොක්සයිඩ් පෙරීමේ ගැටලුවක් විය. 

පෘථිවියේ ඉංජිනේරුවන්ගේ උපදෙස් අනුව, යානය තුළ තිබූ උපකරණ සහ ටේප් භාවිතයෙන් ගගනගාමීහු තිදෙනා තාවකාලික කාබන් ඩයොක්සයිඩ් පෙරනයක් සකසා ගත්හ. අවසානයේදී, ගගනගාමීන් තිදෙනාගේ දක්ෂතාවය සහ පෘථිවියේ සිටි නාසා ඉංජිනේරුවන්ගේ උපදෙස් මත, ඇපලෝ 13 යානය, සඳ වටා ගමන් කිරීමෙන් පසු නැවත පෘථිවියට පැමිණීම සිදුවිය. ඒ කාලයේ ගගනගාමීන් රැඳී සිටියේ චන්ද්‍ර යානයේය. 

නාසා ආයතනය මෙම මෙහෙයුම සැලකෙන්නේ අසාර්ථක මෙහෙයුමක් ලෙස නොව, සාර්ථක වූ අසාර්ථක (Successful Failure) මෙහෙයුමක් ලෙසය. හේතුව ගගනගාමීන් තිදෙනාගේ ජීවිත බේරුණු බැවිනි. 

ඇපලෝ 13 ට සම්බන්ධ වූ ගගනගාමින් තිදෙනා වන්නේ, ජිම් ලොවෙල්, ෆ්‍රෙඩ් හයිස් සහ ජැක් ස්විගර්ට් ය. ජිම් ලොවෙල්, ඇපලෝ 8 මෙහෙයමුට එක් වී ඇත. සඳට ගොඩබෑමක් නොකර සඳ වටා ගොස් ආපසු පැමිණි පළමු නාසා චන්ද්‍ර මෙහෙයුම ලෙස සැලකෙන්නේ ඇපලෝ 8 ය. 

ෆ්‍රෙඩ් හයිස් ඇපලෝ 13 චන්ද්‍ර මොඩියුලයේ නියමුවාය. ජැක් ස්විගර්ට් ඇපලෝ 13 මෙහෙයුමේ අණදෙන නියමුවා විය. ස්විගර්ට් ඇපලෝ 13 මෙහෙයුමට සම්බන්ධ කිරීම සිදුවූයේ ඊට පෙර ඒ සඳහා තෝරා‌ගෙන සිටි ගගනගාමියා හදිසියේ අසනීප වූ බැවින් යැයි ද පැවැසෙයි. අකරතැබ්බට මුහුණ පා අභියෝග සාර්ථකව ජයගෙන පෘථිවියට ආරක්ෂිතව ආපසු පැමිණීම නිසා ලොවෙල්, හයිස් සහ ස්විගර්ට් අදටත් වීරයන් ලෙස සැලකෙයි.

ඇපලෝ 13 මෙහෙයුමට සිදුවුණු මෙම අකරතැබ්බ ගැන කීමට සිදුවූයේ පසුගිය දා සිදුවුණු ජිම් ලොවෙල්ගේ අභාවය සැලකිල්ලට ගනිමිනි. 1970 වසරේදී, ඇපලෝ 13 මෙහෙයුම ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒමට මූලිකත්වය ගත්තේ, ගගනගාමී ජිම් ලොවෙල් පසුගිය 9 වැනිදා ඔහු අභාවප්‍රාප්ත විය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 97 කි. 
ලොවෙල් ඇපලෝ 8 නාසා චන්ද්‍ර මෙහෙයුමට ද එක් විය. ඒ අනුව, දෙවරක් සඳට ගොස් එක් වරක් හෝ සඳට ගොඩබෑමට නොහැකි වූ ගගනගාමියා ලෙස සැලකෙන්නේ ජිම් ලොවෙල්ය. 

ඇපලෝ 13 වික්‍රමය සිනමාවට ද නගා ඇත. 1995 වසරේ තිරගත වුණු එම චිත්‍රපටයේ ලොවෙල්ගේ චරිතය නිරූපණය කරන්නේ, ටොම් හෑන්ක්ස් ය. ජැක් ස්විගර්ට් දිවියෙන් සමුගත්තේ 1982 දීය. ෆ්‍රෙඩ් හයිස් තවමත් ජීවතුන් අතර සිටින අතර ඔහුගේ වයස අවුරුදු 91 කි. ලුසිත ජයමාන්න බීබීසී ඇසුරිනි
තව කියවන්න

Aug 5, 2025

වාර්තා පොතට ගිය දිගම අකුණ

August 05, 2025
ලෝක වාර්තා අතරට ගිය අකුණක් එසේත් නැතිනම් විදුලි කෙටීමක් ගැනයි මේ කියන්න හදන්නේ. පුදුම හිතේවි; මේ අකුණ කිලෝමීටර 829 (සැතපුම් 515) ක් දිගින් යුක්තය.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ අකුණ ගැන ලොවට හෙළි කළේ පසුගියදාය. ඒත්, මේ අකුණ හටගෙන ඇත්තේ 2017 ඔක්තෝබර් 22 දිනයේය. 

තාක්ෂණයේ දියුණුවත් සමඟ ලබාගත් දත්ත සහ ඡායාරූප පාදක කර ගනිමින්, එය ලෝකයේ මෙතෙක් වාර්තා වූ දිගට අකුණ යැයි තීරනය කිරීමට කාලගුණ විද්‍යාඥයන්ට වසර අටක් පමණ ගතවිය.
කාලගුණ විද්‍යාඥයන් විසින් මෙගාෆ්ලෑෂ් (megaflash) යන නමින් නම් කළ මෙම අකුණු සැරය, 2017 ඔක්තෝබර් 22 වන දින ඇමරිකාවේ ටෙක්සාස් සහ කැන්සාස් ජනපද අතර හටගෙන ඇත. ඒ, ප්‍රචණ්ඩ කුණාටුවක් පැවැති අතරතුරේදීය.

ශ්‍රී ලංකාවේ දිග පළල මනිද්දී, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දිග වන්නේ කිලෝ මීටර් 432 කි. එසේ නම්, මෙගාෆ්ලෑෂ් (megaflash) මෙම අකුණ අප ශ්‍රී ලංකාව මෙන් දෙගුණයත් දිගය.

මීට පෙර වාර්තා වී තිබූ දීර්ඝතම අකුණු සැරය කිලෝමීටර 768ක් (සැතපුම් 477) ක් දිග යැයි පැවැසෙයි. එය ද හටගෙන ඇත්තේ ඇමෙරිකාවේය. ඒ, 2020 අප්‍රේල් 29 වැනිදාය. එම අකුණ මිසිසිපි සහ ටෙක්සාස් ජනපද අතරේ ඇති වූ බව පැවැසෙයි.

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

තව කියවන්න

ලොව වයස්ගතම බාබා

August 05, 2025
ලෝකයේ වයස්ගතම බබා ලෝකයේ වයස්ගතම බබා උපත ලැබුවා. අලුත උපන් බිලිඳකු වයස්ගතම බබා වෙන්නේ කොහොමද? මේ බබා උපන්නේ ඇමෙරිකාවේය. මෙයා පුංචි පුතෙකි. නම තේඩස් ඩැනියෙල් පියේර්ස්. 

තේඩස් උපන්නේ පසුගිය ජූලි 26 වැනිදාය. 1994 වසරේදී ශීත කරණයට ලක් කර, මුදවා තැබුණු, කලලයකිනි තමයි; තේඩස් බබා පසුගිය ජූලි 26 වැනිදා උපත ලබන්නේ. මේක නල දරු උපතකි. තේඩස් බබාගේ අම්මා තාත්තා අයිඩහෝ පදිංචි, ලින්ඩ්සි සහ ටිම් පියර්ස් ය. 
ලින්ඩ්සි සහ ටිම් පියර්ස්
ලින්ඩ්සි සහ ටිම් පියර්ස් යුවළට වසර 18 ක් තිස්සේ දරුවන් සිටියේ නැත. තේඩස්, ලෝකයේ වයස්ගතම බබා වෙන්නේ කොහොමදැයි දැන් බලමු. මේ කතාවේ ඉන්නවා තුන්වැන්නෙක්. ඇය ලින්ඩා ආචඩ් ය. දැන් ඇගේ වයස අවුරුදු 62 කි. 

විවාහ වී, වසර 7 ක් ගතවුවත්, ලින්ඩා ආචඩ් සහ ඇගේ සැමියාට දරුවන් නොසිටි අතර, ඔවුහු නළ දරු තාක්ෂණය ඒ සඳහා භාවිත කළහ. එම ක්‍රියාවලියේ දී නිරෝගී කලල හතරක් ලබා ගැනීම සිදුවිය. එක් කලලයක් ලින්ඩාගේ ගර්භාෂයට ඇතුළු කෙරුණු අතර, ලින්ඩාට දියණියක ලැබුණි. එම දියණියගේ වයස අවුරුදු 30 කි. එම දියණියට ද අවුරුදු 10 ක පුතෙක් සිටී. 

ඉතිරි කළල වෛද්‍ය පර්යේෂණාගාරයක් තුළ ආරක්ෂිතව ශීතකරණයට ලක් කර තැන්පත් කෙරුණි. ඒ ලින්ඩා ට යළි දරු සුරතල් බැලීම සඳහාය. කෙසේ නමුත් ලින්ඩා සහ සැමියා දික්කසාද වූහ. කලලවල අයිතිය ලින්ඩාට හිමිවිය. එදා සිට මේ දක්වා මුදවා තැබුණු එම නිරෝගී කලල තුනෙන් එකක් ලින්ඩ්සි සහ ටිම් පියර්ස් යුවලට හිමිවිය. 

ඒ අනුව, වසර 30 ක් මුදවා තැබුණු කලලයකින් තේඩස් පුතා උපත ලැබුවේය. “ඇත්තටම ඒක හරිම පුදුම දෙයක්. අපේ බබාට ඉන්නවා අවුරුදු 30 ක් වයස අක්කා කෙනෙක්.” තේඩස්, ආදරයෙන් තුරුළු කරගත් ලින්ඩා ආචඩ් පවසන්නේ ඉමහත් සතුටිනි. 

ලුසිත ජයමාන්න 
එන්.ඩී.ටීවී. ඇසුරිනි
තව කියවන්න

Classified_Ad

Classified_Ad_News_Bottom